ලෝකයේ ඉතා සංවර්ධිත බොහෝ නගර තිබුණ ද සංචාරකයන් වැඩියෙන් ඡායාරූප ගැනීම සඳහා ප්‍රියතාවය දක්වන නගරය බවට කොළඹ නගරය පත්ව තිබේ. මේ බව සඳහන් කරන්නේ ලෝක ප්‍රකට හුවාවි ජංගම දුරකතන සමාගමයි.
හුවාවි සමාගම මෙම කාරණාව පැහැදිලි කළේ තමන් විසින් කරන්නට යෙදුණු අධ්‍යයනයක් තුළිනි. මෙම අධ්‍යයනය සිදුකරනු ලැබුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවූ ඡායාරූප හා සටහන් ලක්ෂ 13ක් සලකා බලමිනි. මේ අනුව කොළඹ නගරය 2019 වර්ෂයේදී ඡායාරූපයක් ගැනීමට ඉතාමත් සුදුසු සංචාරක නගරය හෙවත් “ෆොටෝජෙනික්” නගරය ලෙස හැඳින්වේ.
හුවාවි ජංගම දුරකතන සමාගමේ නවතම ජංගම දුරකතනය වන “පී ස්මාර්ට් 2019” දුරකතනය එළිදැක්වීම නිමිත්තෙන් එම සමාගම මෙම සමීක්ෂණය සිදුකර ඇත.
මෙම සමීක්ෂණය අනුව දෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ ජපානයේ සොකෝහොමා නගරයයි. තෙවැනි තැන හිමිකරගෙන ඇත්තේ උගණ්ඩාවේ “මිගහින්ගා හෝරිල්ලා” ජාතික වනෝද්‍යානයයි. ජර්මනියේ ධාඩ්න් නගරය සිව්වැනි තැනට පත්ව ඇත. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම නගරයේ පවතින කළු වනාන්තරයයි. පස්වැනි තැනට පත්ව ඇත්තේ කැරිබියන් දූපතක් වන පුබර්ටෝ රිකෝ හි “ඕලිඩ් සැන් හුවාන්” නගරයයි. සිම්බාබ්වේ හි “වික්ටෝරියෝ ෆෝල්ස්” හයවැනි තැනට පත්ව තිබේ. පකිස්ථානයේ නරේවාල් දිස්ත්‍රික්කයේ “කර්තාර්පුර්” හත්වැනි තැනටත් පත්ව තිබේ. ජෝර්දානයේ ජාතික උද්‍යානයේ “වාඩි රථ” අටවැනි ස්ථානයටත්, ඇලස්කාවේ හුනාන් හි “අයිසි“ සමුද්‍ර සන්ධිය නවවැනි තැනට පත්ව තිබේ. මෙහි අවසන් ස්ථානය වී ඇත්තේ ස්කොට්ලන්තයේ පැරිස් දූපතයි.
බ්‍රිතාන්‍ය ජාතිකයන් සම්බන්ධ කරගෙන ප්‍රශ්න යොමුකරමින් කළ මෙම අධ්‍යයනයේදී තවත් විස්තර හමුවී තිබේ.
එයින් අනාවරණය වන ආකාරයට තරුණ බ්‍රිතාන්‍ය ජාතිකයන් නව ස්ථාන සොයා යාමේ දැඩි උනන්දුවකින් පසුවන බවත්, කවුරුත් නොදන්නා අප්‍රසිද්ධ ස්ථාන සොයා යාමටද ඔවුන් වැඩි උනන්දුවක් දක්වන බවත් එයින් අනාවරණය වේ.
අධ්‍යයනයෙන් තවදුරටත් හෙළි වී ඇත්තේ අවුරුදු 18 – 25 අතර වයසේ පසුවන තරුණ තරුණියන් තම මිතුරන් නොගිය තැන්වලට යාමට වැඩි උනන්දුවක් දක්වන බවයි. පර්ෙය්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් අලුත් සංචාරක ස්ථාන සොයාගත් පළමුවැන්නා වීමටත්, එම ස්ථාන ඡායාරූපගත කර සමාජ ජාලා හා අන්තර්ජාලය ඔස්සේ පළකරන පළමුවැන්නා වීමටත්, ප්‍රසිද්ධියට පත් කිරීමටත්, වැඩි උනන්දුවක් දක්වන බව අධ්‍යයනයේ දත්ත හරහා අනාවරණය වේ.
මෙම අධ්‍යයනයෙන් තවත් පැහැදිලි වී ඇත්තේ එවැනි සංචාරක ස්ථාන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමට නොහැකි නම් තරුණ තරුණියන් මෙම ස්ථාන නැරඹීමට වැඩි උනන්දුවක් නොදක්වන බවයි. අධ්‍යයනයට සම්බන්ධ සියයට 16ක ඡායාරූප පමණක් පළකළ හැකි සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන “ඉන්ස්ටග්‍රෑම්” හා තමන් සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථානවල ඡායාරූප පළකළ හැකි නම් පමණක් එම ස්ථාන තෝරාගන්නා බව එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත.
අධ්‍යයනයට සම්බන්ධ වූවන්ගෙන් තුනෙන් දෙකක්, එනම් සියයට 66ක් ජංගම දුරකතනය සංචාරය සඳහා අත්‍යාවශ්‍ය උපාංගයක් බව පවසා ඇත.
එමෙන්ම මෙම අධ්‍යයනයෙන් තරුණ තරුණියන්ගේ දුරකතන භාවිතය ගැනද කරුණු අනාවරණය වේ. ඒ අනුව වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණ තරුණියන් ජංගම දුරකතන භාවිත කිරීමේ පහසුව, ජංගම දුරකතනවල තිබෙන කැමරාවල නවතම අංගෝපාංග හා ලක්ෂණ මෙන්ම බැටරියේ ආයු කාලය ද සලකා බලන බව හුවාවි සමාගම පවසයි.
කොළඹ නගරය ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වේ. ඉතා ඈත අතීතයේ සිට කොළඹ නගරය වෙළෙඳ, ව්‍යාපාර හා ආර්ථික කටයුතු නිසා ලෝකප්‍රකට වී ඇත. හුවාවි ආයතනයෙන් කළ මෙම නවතම අධ්‍යයනය මගින් කොළඹ නගරය ලෝකයේ සෙසු ප්‍රධාන ආකර්ෂණීය නගර ගොන්නට වැටෙනු ඇත. ඈත පෙරදිග වෙළෙඳ මාර්ගයේ තිබූ සුප්‍රසිද්ධ වරාය නගරයක් ලෙස කොළඹ හැඳින්විය හැක. ඒ අනුව මෙම අධ්‍යයනය ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකි කරැණක් අනාවරණය කරයි.
►එම්. ඉෂාක්