2019 ජනවාරි 26 වන සෙනසුරාදා

මාවිල්ලුවේ රත්තරන් සෙවූ කට්ටිය වැටලූ මෙහෙයුම

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 77

“මාවිල්ලු රක්ෂිතයේ නරිකලච්චන් වැව දැකලා තියෙනවද? අන්න ඒ වැව් රක්ෂිතයේ සොරොව්ව කිට්ටුව කට්ටියක් හෙට පාන්දරට වළදාපු රත්තරන් තොගයක් ගොඩගන්න හදනවා. සමහරවිට ඩොලර් සහ අවි ආයුධ තියෙන්නත් පුළුවන්ලු. යුද්ධය කාලේ කොටි වලදාපුවා කියලයි ආරංචිය.”

පරියානංකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්. බී. එම්. ජීවක බණ්ඩාර මහතාට මේ තොරතුර දන්වා තිබුණේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසිනි.

පොලිස් පරීක්ෂක ජීවක බණ්ඩාර මහතාට හිතවත් තොරතුරු සැපයීමේ දක්ෂයකු වන පෞද්ගලික ඔත්තුකරුගේ තොරතුර ගැන සැකයක් නොවීය. මීට ඉහතදී ඔහු විසින් ලබාදුන් සියලුම තොරතුරු සාර්ථක වීම ඊට හේතුවය. වැඩිදුරටත් ඔත්තුකරු දන්වා තිබුණේ දැනටමත් පිට පළාත්වල පුද්ගලයන් කිහිපදෙනකු මාවිල්ලු රක්ෂිතයට ඇතුළු වීම සඳහා පැමිණ සූදානමින් සිටින බවය.

ඔත්තුකරුගේ තොරතුරු පිළිබඳව තවදුරටත් විස්තර දැනගත් අණ දෙන නිලධාරී ජීවක බණ්ඩාර මහතා අවශ්‍ය පියවර සූදානම් කළේය.

“කලින් තොරතුරැ දීලා විශ්වාසයක් තියෙන මගේ පෞද්ගලික ඔත්තුකරුගේ තොරතුරැ පිළිබඳව මම විශේෂ කාර්ය බලකායේ මන්නාරම ප්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර මහතාට දැන්වූවා. ඒත් එක්කම යාපනය හා වව්නියාව කලාප බාර සහකාර පොලිස් අධිකාරී පැට්‍රික් සිල්වා මහතාට දැන්වූවා. ඒ සමඟම විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාටත් දැනුම් දුන්නා. ඔහුගේ ක්ෂණික උපදෙස වුණේ වැටලීම සඳහා අවශ්‍ය පියවර ගන්න. කිසිම බාහිර බලපෑමකට ඉඩක් ලැබෙන්නේ නෑ කියන එකයි. ඒත් සමඟ මම ක්‍රියාත්මක වුණා”

යැයි ජීවක බණ්ඩාර මහතා පැවසීය.

වැටලීම සඳහා අණ දෙන නිලධාරීවරයා සමඟ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් සැරයන්වරු හය දෙනෙක් හා පොලිස් කොස්තාපල් රියදුරු දෙදෙනෙක් එක්වූහ.

ඔත්තුකරුගේ තොරතුර ලැබී තිබුණේ පසුගිය 19 වැනිදාය. මාවිල්ලු රක්ෂිතයේ රත්රන් ගොඩ දමන බවට ආරංචිය තිබුණේ 20 වැනිදා අලුයම කාලයේදීය. ඔත්තුකරුගේ විස්තර අනුව සූදානම් වූ නිලධාරීන් සමඟ ඔත්තුකරු ද එක්ව සිටියේය.

පරයානංකුලම් කඳවුර සිට අදාළ ස්ථානය වෙත දුර කිලෝමීටර් දහයක් පමණය. තලේමන්නාරම මාර්ගයේ මඩු හන්දියට පෙරාතුව හමුවන මාර්ගයකි. එය සිලාවතුර පාරය. වන සංරක්ෂණ පාර යනුවෙන් ද හඳුන්වන එම මාර්ගයේ මාවිල්ලු රක්ෂිතය පිහිටා තිබේ. විශේෂ කාර්ය බලකා කඳවුරෙන් පිරිස වැටලීම සඳහා පිටත්ව තිබුණේ 20 වැනිදා අලුයම 3ට පමණය. ඒ සඳහා කඳවුරට අයත් වාහන දෙකක් යොදාගෙන තිබිණ. පෙර කී මාර්ගයේ ධාවනය කළ රථ දෙක ඔත්තුකරුගේ මාර්ග සලකුණු දැනුම්දීම් මත සහ අණ දෙන නිලධාරීවරයාගේ උපදෙස් අනුව නවත්වා තිබුණේ අදාළ ස්ථානයට කිලෝ මීටර් 2ක් පමණ දුරිණි. වාහනවල ආරක්ෂාව සඳහා නිලධාරියකු යෙදවූ සැණින් සෙසු පිරිස පිටත්ව ගියේය.

“වාහනය නවත්වපු තැන ඉඳලා අපි පාගමනින් කළුවරේ යන්න පිටත් වුණා. මම නිලධාරීන්ට උපදෙස් දුන්නා සමහරවිට සැකකරුවන් ආයුධ සන්නද්ධ වී ඉන්නට ඉඩ තියෙනවා, ඒ නිසා පරිස්සම් වෙන්න, නොදන්නා පරිසරයේ අනතුරක් වෙන්න ඉඩ තියෙන බවත් කියලා හෙමින් ප්‍රදේශයට ළං වුණා.

රූට යමක් සිද්ධ වෙනවා කියලා තේරැම් ගන්න සද්දේ විතරයි තිබෙන්නේ. අපි කල්පනාවෙන් කිට්ටු වුණා. පොළව කොටන ශබ්දයක් ඇහුණා. මේ කියන්නේ ඔත්තුකරුගේ තොරතුරට අනුව කියපු ස්ථානයේ. අපි මීටර් 150ක් විතර ඈතින් අදාළ භූමිය වට කළා. යන්තම් ඡායාවක් වගේ පේනවා කළුවරේ. එතන ගිනි මැලයක් තිබෙනවා දැක්කා. පුද්ගලයන් කීපදෙනකුත් ඉන්න බව දැක්කා. සුළු මොහොතක් යද්දි එක සංඥාවකට නිලධාරීන් භූමිය වටකර හමාරයි. කවුරුත් දුවන්න එපා වටකරලයි තියෙන්නේ කියලා මම හැමෝටම ඇහෙන්න කීවා”

බයෙන් බිරන්ත වූ සැකකරුවන් පිරිසට දුවන්නට හෝ යමක් හිතන්නට අවස්ථාවක් නොවුණි. ක්ෂණයකින් සැකකරුවන් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ග්‍රහණයට නතු කරගෙන තිබුණි. එක් අයකු අත කුඩා විද්‍යුත් උපකරණයකි. (Gold Hunter) ලෙස එහි සඳහන්ව ඇති අතර එය ජර්මනියේ නිෂ්පාදනයක් බව දක්වා තිබිණ. එය සෙන්සරයක් සහිතය. ඉහළ කොටසේ ඇන්ටනා තුනකි. එක් අතකින් මෙහෙයවිය හැකිය. පොළොවට සමාන්තරව තබා ක්‍රියා කිරීමේදී පොළවේ රත්රන් තිබේනම් ඒ දෙසට උපකරණයේ ඇන්ටනාව ක්‍රමයෙන් හැරී නවතී. මෙය නවීන තාක්ෂණික උපකරණයකි. මෙය පොළොවේ යට අඩි 20ක් හා වට අඩි 200ක් දක්වා පරික්ෂා කළ හැකි විශේෂ ස්කෑන් යන්ත්‍රයකි. මෙය අත දරා සිටියේ ජාවාරමේ ප්‍රධාන සැකකරුය.

ඔහු කැකිරාව ප්‍රදේශයේ ආපන ශාලාවක සේවකයෙක් බවට ද හඳුනාගනු ලැබීය. සෙසු පිරිස ද එක්කෙනා බැගින් පරික්ෂාවට ලක්කර ප්‍රශ්න කෙරුණි.

ඔවුහු අනුරාධපුර, කැකිරාව, සාලියපුර, ඇඹිලිපිටිය, වව්නියාව හා මඩු ප්‍රදේශවල පදිංචිකරුවෝය. ඔවුන් සතුව යකඩ ඉනි, උදලු, සවල හා තාච්චි වැනි උපකරණ ද තිබී අත්අඩංගුවට ගෙන ඇත. පිරිස හාරමින් සිටි ස්ථානයට ආසන්නව ඊට පෙර හැරූ වලක් ද දකින්නට ලැබී ඇති අතර එම භූමියේ සිට නරිකලච්චන් වැවේ සොරොව්වට තිබී ඇත්තේ අඩි කිහිපයක් පමණි.

ප්‍රශ්න කිරීමේදී පිරිස පැමිණි ක්‍රමයක් ගැන නිශ්චිතව ප්‍රකාශ කර නොතිබූ අතර බස් රථවලින් එකිනෙකා පැමිණි බව කියා තිබුණේ උපක්‍රමශීලිවය. මෙසේ අත්අඩංගුවට පත් පිරිස 8 දෙනෙකි. ඔවුන් අවුරුදු 25 – 68ත් අතරය. ඔවුන් මෙවැනි ක්‍රියාවල පළපුරුදු අය බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් එදින අලුයම 5ට පමණ මඩු පොලිස්ථානය වෙත බාර දීමට කටයුතු කළේය.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් මත යාපනය, වව්නියාව බාර පොලිස් අධිකාරී පැට්‍රික් සිල්වා මන්නාරම ප්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී කේසර රත්නවීර මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පරයනකුලම් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්. බී. එම්. ජීවක බණ්ඩාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ආර්. එම්. කේ. ඩී. විමලරත්න, කේ. පී. අනුරසිරි, පොලිස් සැරයන්වරුන් වන 14235 සුබසිංහ, 53454 ආනන්ද, 32533 චන්දන, 53488 නිමල්, 8687 ජීවානන්ද, 36014 කුමාරසිංහ, පොලිස් කොස්තාපල් රියදුරු 13563 ජයසිංහ සහ 39611 ප්‍රියන්ත යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර