2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පරිවර්තනය කියන්නේ පොඩි ගනුදෙනුවක්

2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30186

සම්මානනීය පරිවර්තක කුමාර සිරිවර්ධන

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කුමාර සිරිවර්ධන ප්‍රවීණ පරිවර්තකයෙක් ද ලේඛකයෙක් ද වේ. මෙරට වැඩිම පොත් සංඛ්‍යාවක් පරිවර්තනය කළ ලේඛකයෙක් ලෙසද ඔහු සැලකිය හැකිය. කුමාර විසින් කෘති 160කට අධිකව පරිවර්තනය කර තිබේ. ඒ අතරින් ජොආනා කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර කොන්කළ දෝණී පරිවර්තනයට ගොඩගේ සම්මානය හිමි විය. සසංකාර නවකතාව බෞද්ධ සාහිත්‍ය උලෙළේ ප්‍රශස්ත කෘතියක් ලෙස ඇගැයිනි. ඔහුගේ අලුත්ම පරිවර්තනය ඇලෙක්ස් මයිකලිඩීස්ගේ හඬ නිහඬ (The Silent Patient) කෘතියයි. එය මියුසස් ප්‍රකාශනයකි.

• ඔබේ නවතම පරිවර්තන කෘතිය ගැන පැවසුවොත්...?

“ද සයිලන්ට් පේෂන්ට්.” මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ශානරයට අයත් නවකතාවක්. එමෙන්ම සිනමා තිරකතා රචකයකු හා මනෝ චිකිත්සකයකු ද වන ඇලෙක්ස්ගේ මුල්ම නවකතාව ද මෙයයි. විශේෂත්වය වන්නේ ලබන පෙබරවාරි 7 දා එහි මුල්කෘතිය එංගලන්තයේදී එළිදැක්වීම සහ ඊට දෙදිනකට පසු එහි පරිවර්තන කෘතිය මෙරටදී එළිදැක්වීමයි. ඊට සමගාමීව චීනය, කොරියාව, ඉන්දුනීසියාව, රුසියාව ඇතුළු රටවල් 43කදී මුල්කෘතියේ පරිවර්තන නිකුත් වනවා.

• ලෝකයේ අනෙක් රටවල මුල් කෘතිය නිකුත් වීමට සමගාමීව ඔබේ නවකතා පරිවර්තනයත් ලංකාවේ නිකුත් කරනවා. මෙය ලංකාවට තරමක් ආගන්තුකයි නේද...?

ඔව් සමහරවිට මෙවැනි නවකතාවක් එළිදකින පළමු වතාව වෙන්නැති. ලෝකයේ අන් රටවල පාඨකයන් ඉංග්‍රීසියෙන් මුල් කෘතිය කියවනවිටම මෙරට පාඨකයන්ට එය සිංහලෙන් කියවීමට ලැබීම හොඳ ප්‍රවණතාවක ආරම්භයක්. එය පාඨකයන්ගේ පැත්තෙන් මා සුබවාදීව දකිනවා. මෙවැනි නවකතාවල කතාරසය මෙන්ම දැනුමද අන්තර්ගතයි. අපට බාහිර ලෝකයේ දැනුම බොහෝවිට ලැබුණේ යම් ප්‍රමාදයකින් පසුවයි. නමුත් නව තාක්ෂණය හා බද්ධව නව දැනුම මේ ආකාරයෙන් ප්‍රමාදයකින් තොරව මෙරට පාඨකයන් වෙත ලබාදෙන්නට දැන් ප්‍රකාශකයන් යුහුසුළු වන බවක් පෙනෙන්නට තිබෙනවා.

• මෑතකදී  කලිඩ් හුසේයිනිගේ පොතකුත් එලෙස එළිදැක්වූවා නේද...?

සමුද්ද යාතිකාව නම් ඒ පොත නවකතාවක් නොවේ. 

• මෙම ශානරයේ පොත් සිංහල සාහිත්‍යයේ අඩු බව පේනව ද...?

ඔබ නිවැරදියි. ලෝකයේත් එම ශානරයේ පොත් සුලබ නැහැ. මා දන්නා තරමට මෙයට පෙර මෙම ශානරයේ පරිවර්තන කෘතීන් දෙකක් පමණක් මෙරට පාඨකයන්ට කියවන්නට ලැබී තිබෙනවා. අනෙක් අතට මනෝවිද්‍යාව පිළිබඳ මෙරට ඇත්තේ ඇල්මැරුණු උනන්දුවක්. තත්ත්වය වෙනස් වියයුතුයි. කාර්යබහුල ලෝකයේ මානසික පීඩාවන්ට ගොදුරු වන අයට මනෝචිකිත්සක ආධාර ලැබියහැකි තැන් මෙරට මීට වඩා පුළුල්ව ඇති වියයුතු කාලය එළඹ තිබෙනවා.

• අද පොත් බහුලව සිංහලට පරිවර්තනය වෙනවා. නමුත් ඒවායේ වැරදි බහුල බවයි පේන්නේ. එය ඔබට නිරීක්ෂණය වුණාද...?

බොහෝ අය සිතන්නේ භාෂා දෙකේ දැනුම පමණක් සෑහෙනවා කියා. අනෙක් අතට පොතක් ලිවීමේදී මූල්‍ය වාසි හා ජනප්‍රියත්වය පමණක් අරමුණු කරගැනීම වැරදි සහගතයි. මෙය පාඨකයන්ගේ බුද්ධිය හා කරන ගනුදෙනුවක්. එහෙයින්ම එහිදී කැපවීම සහ සද්භාවය අත්‍යවශ්‍යයි. හැබැයි මෙවැනි තත්ත්වයන් හැම කාලයකදීම දැකගන්නට ලැබුණා. වඩාත් කැපවීමෙන් හා සද්භාවයෙන් යුතුව කටයුතුකරන ලේඛකයන් හඳුනාගන්නට තරම් පාඨකයා බුද්ධිමත්. කාලය මේ ක්ෂේත්‍රය විනාශ කරන්නන් ඉතිහාසයේ කුණු බක්කියට ඇද දමාවි.

• එදා ප්‍රවීණ පරිවර්තකයන් වශයෙන් සිටි ඒ.පී. ගුණරත්න, සිරිල් සී. පෙරේරා, කේ.ජී. කරුණාතිලක වැනි අය පොතක් පරිවර්තනය කළේ මුල් කෘතිය හා එය ලියූ ලේඛකයන් ගැන හැදෑරීමෙන්. ඔබත් එලෙස අධ්‍යයනය කරනවාද...?

අනිවාර්යයෙන්ම අධ්‍යයනය අවශ්‍යයි. මුල්කෘතිය හා ලේඛකයා ගැන පමණක් නොව කතාවට පසුබිම්වන සංස්කෘතිය, කාලය, විෂයය ආදී බොහෝ කාරණා අධ්‍යයනයට භාජනය වියයුතුයි. හඬනිහඬ පරිවර්තනය කිරීමට පෙර මා හට මනෝවිද්‍යාව ගැන සුළුවෙන් හෝ හැදෑරීමක් කරන්නට සිදුවූවා. පොතක් පරිවර්තනය කිරීම ඇරඹීමට පෙර එහි පසුබිම ගැන ඊට ලැබීඇති පාඨක හා විචාරක ප්‍රතිචාර ගැනත් අප උනන්දු වියයුතුයි. යම් විෂයයකට අදාළ ඉංග්‍රීසි වචනයන්හි සිංහල පාරිභාෂික ශබ්දමාලා හැකි උපරිමයෙන් භාවිතයට ගතයුතුයි.

• අද පොත් පරිවර්තනය කරන බහුතරයකට එවැනි හැදෑරීමක් නැති බවයි පේන්නේ...?

ඔව්... එය ඉතාමත් කනගාටුවට කාරණයක්. බොහෝ අය සිතන්නේ පොතක් පරිවර්තනය කිරීම් පිටපත් ලිවීමක් හා සමාන පහසු කාර්යක් කියායි. එය වැරුදි ආකල්පයක්. 

• පරිවර්තන පොත්වලට පාඨකයන් බහුලව ඇදීයන්නේ අපේ ස්වතන්ත්‍ර කෘතිවල දුර්වලත්වයක් නිසා කියා ඔබ හිතනවාද...?

එපමණක් නොවෙයි. වඩා පුළුල් හා නව ලෝකයේ නවතම අත්දැකීම්, දැනුම් සම්භාරයක් ලබාගනු පිණිස පාඨකයා පරිවර්තන හා වැඩිපුර එකතුවනවා. අද පාඨකයන් බොහෝ අය සිතනවාට වඩා ඉදිරියෙන් සිටිනා බවයි මගේ අදහස. ඔවුන් සමහර අවස්ථාවන්හීදී අප හා කරන පිළිසඳරවලදී ඒ බව වැටහෙනවා. අපේ ස්වතන්ත්‍ර නවකතා බොහොමයකදී ලේඛකයන් යාවත්කාලීන වී ඇතිබවක් ආකෘතීන්ගෙන් හා අන්තර්ගතයන්ගෙන් පෙනෙන්නේ නැහැ. එයද පාඨකයන් ස්වතන්ත්‍ර නවකතාවලින් ඈත්වීමට හේතුවක් වියහැකියි.

• සසංකාරවලින් පසු ඔබ ලියූ ස්වතන්ත්‍ර නවකතාවක් ආවේ නැහැ නේද...? පරිවර්තනවලටම හිරවෙලා ඉන්නද කල්පනාව...?

නැහැ. වසර ගණනාවක් තිස්සේ මීළඟ නවකතාව සඳහා අධ්‍යයනය කරනවා. අධ්‍යයනයකින් තොරව නවකතාවක් ලිවීමට මා අද පෙළඹෙන්නේ නැහැ. අතීතයේ එසේ ලියුවානම් ඒ පුවත්පත්වලට කොටස් වශයෙන් ලියූ නවකතා. අධ්‍යයනයකින් පසු විවේකය ලද වහා අලුත් ස්වතන්ත්‍ර නවකතාවක් මා අතින් ලියවේවී. සමහරවිට මේ වසරේ සාහිත්‍ය මාසයෙන් පසු එය එක් අපේක්ෂාවක්.

 කුසුම්සිරි
සේයාරුව : සුමුදු හේවාපතිරණ

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00