2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ආයෙත් ජාතික ආණ්ඩුවක්!

2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:31198

දේශපාලන හා සමාජ විද්‍යාඥායන්ගේ අර්ථ දැක්වීමට අනුව, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ (අඩුම තරමින් ප්‍රධාන දේශපාලන පක්ෂ) අතර ඇතිකර ගන්නා පුළුල් සම්මුතියක් හරහා පිහිටුවා ගනු ලබන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් ලෙස හඳුන්වනු ලැබේ. මෙබඳු ආණ්ඩු හැඳින්වීමට “ජාතික ඒකබද්ධ ආණ්ඩුව,'' “ජාතික සමගි ආණ්ඩුව,'' “ජාතික සභාග ආණ්ඩුව'' යන නම්ද භාවිත කළහැකිය. සාමාන්‍යයෙන් රටේ ක්‍රියාත්මක වන සෙසු කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නියෝජනයක් නොමැති අවස්ථාවන්හීදී මෙම ආකාරයේ ජාතික ආණ්ඩු බිහිවීමේ ඉඩකඩ වැඩිය. එවන් අවස්ථාවන්හීදී, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සිය ප්‍රතිවිරුද්ධ මතවාද තාවකාලිකව පසෙකලා පොදු ඉලක්කයන් හෝ ඉලක්ක කිහිපයක් සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ද මෙවැනි ජාතික ආණ්ඩු පිහිටුවා ගනු ලැබේ. 

2015 අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මෙරට ක්‍රියාත්මක වූයේ ජාතික ආණ්ඩුවකි. කාලයත් සමඟ අවුල් වියවුල් රාශියක් එම ජාතික ආණ්ඩුව මත ඇතිවීම නිසා පසුගිය 2018 වසරේදී තම ජාතික ආණ්ඩුව බිඳ වැටිණි. කෙසේ වෙතත් නැවත මේ වනවිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව දේශපාලන වේදිකාවේ කතාබහක් මතුවී තිබේ.

බහුතර ආසන සංඛ්‍යාවක් නොලැබීම නිසා අනෙක් පක්ෂ කිහිපයක් එකතු කරගෙන රජයක් පිහිටුවීම සිදුවූයේ 1965 වසරේදීය.

ඒ අයුරින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සිදුවූයේ 1965 මාර්තු 22 වැනිදා පැවති මහ මැතිවරණයේදීය. එවර මැතිවරණයේදී දේශපාලන පක්ෂ දහතුනක් තරග කිරීමට ඉදිරිපත්වී සිටියේය. ප්‍රබල දේශපාලන පක්ෂ දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය නමින් නව පක්ෂය ද බිහිවී තිබිණි. තරග කළ අනෙකුත් දේශපාලන පක්ෂ වූයේ ෆෙඩරල් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, ද්‍රවිඩ සංගමය, මහජන එක්සත් පෙරමුණ, ජාතික විමුක්ති පෙරමුණ, විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂය, ඊළාම් තමිල් ඔට්රුමෛ මුන්නි, වාමාංශික පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂය (චීනපිල) යනුවෙනි. 

එවර මැතිවරණයේදී ආසන එකසිය හතලිස් පහක් විය. මන්ත්‍රීවරු 151ක් පත්වීමට නියමිත විය. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1,579,181 ලබා ආසන 66ක් හිමිවූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 1,226,833ක් ලැබී හිමි වූයේ ආසන 41කි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් එකතු කරගෙන ආසන සංඛ්‍යාව වැඩි කර ගනිමින් ජාතික රාජ්‍යයක් බිහිකිරීමට කටයුතු කළේය. එහිදී එ.ජා.ප.ය හා එකතු වූ අනෙක් පක්ෂ වූයේ ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, මහජන එක්සත් පෙරමුණ සහ ජාතික විමුක්ති පෙරමුණය.
සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩු පිහිටුවනු ලබන්නේ නිශ්චිත කාල සීමාවකට වන අතර එම කාලසීමාව අවසානයේ ජාතික ආණ්ඩුව විසුරුවා හරිනු ලබන්නේය. ලෝකයේ මෙතෙක් පැවති ජාතික ආණ්ඩු වැඩි හරියක ආයු කාලය වසරකට හෝ දෙකකට වඩා වැඩි වී නැත. ඊට ප්‍රධාන හේතුව වන්නේ, විවිධ මත දරන දේශපාලන පක්ෂ කිහිපයක සාමාජිකයන් දීර්ඝ කාලයක් එකම ආණ්ඩුවේ රඳවා ගැනීමට අපහසුවීමය. පසුගිය කාලය තුළ මෙරට පැවතුණු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූයේ එජාප, ශ්‍රීලනිප මැති ඇමැතිවරැන්ගේ අභ්‍යන්තරය තුළ පැවති ගැටලු බව දේශපාලන විචාරකයන් පැවසීය.

මේ දිනවල නැවත වරක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමුවී ඇති බවට දේශපාලන වේදිකාව තුළ ඇතිවී තිබෙන කතාබහ පිළිබඳව දේශයේ අප මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු. 

ජාතික ආණ්ඩුව අසාර්ථකයි
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා:-

අනෙකුත් දේශපාලන පක්ෂ එකතුකරගෙන ජාතික ආණ්ඩුක් හදලා පාර්ලිමේන්තුව තුළ බලය ගන්න නිත්‍යනුකූල ගැටලුවක් නැහැ. නමුත් පසුගිය කාලය තුළ ජාතික ආණ්ඩුව කියන සංකල්පය අසාර්ථකයි. මගේ පෞද්ගලික මතය එජාප පාක්ෂිකයන් තුළ වුවත් මෙම ජාතික ආණ්ඩුව පිළිබඳව ලොකු පැහැදීමක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි අපි කල්පනා කළයුතුයි ඊළඟ ජනාධිපතිවරණයට සහයෝගය ලබාදෙන සියලු දෙනා එක්කර ගැනීමට. ඒ වගේම තමයි අපිට ස්ථිර ආණ්ඩුවක් හදාගැනීමට අවශ්‍යයි. පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් හිතනවානම් ඒ සඳහා ජාතික ආණ්ඩුවක උවමනාවක් තියනවා කියලා ගම් මට්ටමේ ජනතාවගෙන් විමසීමක් කරලා ඒ කටයුතු සිදුකළාට කිසිදු වරදක් නැහැ. මේ දිනවල දේශපාලන කරළිය තුළ යම් කතාබහක් වෙනවානම් වෙන්නේ ඉදිරි වැඩපිළිවලක් යටතේ කියලා කියන්න පුළුවන්.

මොකටද එහෙම ආණ්ඩුවක්
පාර්ලිමේන්තු මන්ත්‍රී  අතුරලියේ රතන හිමි:-

ජාතික ආණ්ඩුවක් හදන්නේ කුමකටද? මොකක් සඳහා ද කියන එක තමයි පළවෙනි කාරණය. ඒ වගේම තමයි නැවත ජාතික ආණ්ඩුවක් හදනවා නම් සියලුම දෙනා එකතුවෙලා මැතිවරණයක් තැබිය යුතුයි. එහෙම නැතුව ජාතික ආණ්ඩුවක් හදනඑකේ කිසිම තේරුමක් නැහැ. මේ අවුරුද්දේ තවත් මාස දහයකින් විතර ජනාධිපතිවරණයක් එනවා. ඊට කලින් පළාත් සභා මැතිවරණය එනවා. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හදන්න කලින් වහාම මේ මැතිවරණ පැවැත් වියයුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන යහපාලනය ගැන කතා කරනවා. දැන් අවුරුදු ගණනාවක් පළාත් සභා මැතිවරණයක් නැහැ. ඒ නිසා දෙපාර්ශවයම එකතුවෙලා ජාතික ආණ්ඩුවක් අවශ්‍යයි රටේ සම්පත් විකුණන එක නවත්වන්න. නමුත් දැන් මේ මැති ඇමැතිවරු කරන්නේ ඉක්මනින් තමන්ට අවශ්‍ය දේවල් කරගන්න එක. මේ තත්ත්වයෙන් රට නිදහස් වෙන්න ඕන අන්න ඒවා කරන්න කෙටි කාලයකට යම්කිසි භාරකාර ආණ්ඩුවක් එනවානම් ප්‍රශ්නයක් නැහැ. මැතිවරණයක් තැබීම ඉලක්ක කරගෙන තමයි භාරකාර ආණ්ඩුවක් සෑදිය යුත්තේ. එහෙම නැතුව ආපහු ජාතික ආණ්ඩුවක් ගොඩනගන එක කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ.

දැනටත් ජාතික රජයක් තියෙන්නේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක:-

ජාතික ආණ්ඩුවක් හදනඑක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. දැනටත් මම විශ්වාස කරන්නේ ජාතික ආණ්ඩුවක් තමයි තියෙන්නේ කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා තමයි මේ රටේ ජනාධිපති. එතකොට ජනාධිපතුමා තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානියා. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදියට කටයුතු කරන්නේ. ව්‍යවස්ථාවෙන් තියන බලතල අනුව එතුමාට අමාත්‍යාංශයක් අයිතියි. ඒ වගේම මෙවර අලුතින් රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අගමැති වුණාට පස්සේ අලුතින් ආයතන කිහිපයක් නීතියට අනුව පවරාගෙන තියනවා. පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ ආණ්ඩුවට එකතුවෙලා නැහැ. නමුත් පක්ෂයේ සභාපතිවරයා ආණ්ඩුව නියෝජනය කිරීමත් එක්ක මම පුද්ගලිකව විශ්වාස කරනවා මේකත් ජාතික ආණ්ඩුවක් කියලා. ඒ වගේම තමයි අපි තාම පක්ෂයක් විදිහට මන්ත්‍රීවරු ආණ්ඩුවට එනවාද? නැද්ද කියලා තීරණයක් අරගෙන නැහැ. නමුත් අපි කවුරු කැමති වුණත් අකමැති වුණත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. එතකොට කැබිනට් මණ්ඩලය ගන්න සෑම තීරණයකටම ජනාධිපතිතුමා කැමති වුණත් අකමැති වුණත් ජනාධිපතිතුමන් එහි පංගුකාරයෙක් වෙනවා.

පදනමක් නැති කතාවක්
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්කු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල 

මම දැක්කා වර්තමාන රජයේ ඇමැතිවරයෙක් කියලා තිබුණා නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවනවා කියලා. හැබැයි මෙහෙම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මොකද්ද පදනම කියන එකත් අපි බලමු. මොකද තවම මොවුන්ගේ නිසි පදනමක් දැනුම් දීලා නැහැ. ජාතික ආණ්ඩුවක් සැදීම සඳහා. ඒ වගේම තමයි අග්‍රාමාත්‍යවරයා බලයට පත්වීමට පෙර එජාපයේ ඇතැමුන්ට පොරොන්දු වුණා විවිධ වරදාන වරප්‍රසාද ලබාදෙන බවට නමුත් කැබිනට් මණ්ඩලය 30කට සීමාවීමත් සමඟම ඔවුන්ට ඒ අවශ්‍ය තනතුරු ලබාදීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ පදනම යටතේ ඒ අයට නිසි තනතුරක් ලබාදුන්නේ නැහැ. මේ යටතේ මොවුනට මේ මැතිඇමැතිකම් දීම සඳහා මේ විදියට නැවත ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු යොදනවා වෙන්නත් පුළුවන්. 

හැබැයි මේ ජාතික ආණ්ඩු කියන ඒවා අටවගන්නේ සැබෑවටම ද නැත්නම් ඔවුනට කැබිනට් එක වැඩි කරගෙන රාජ්‍ය දේපල අවභාවිතා කිරීමට ද කියලා ප්‍රශ්නයකුත් අපි හමුවේ තියෙනවා. දැනට අපි දන්න විදිහට ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිම කෙනෙක් මේ ජාතික ආණ්ඩු සංකල්පයට සහාය දක්වන්නේ නැහැ. නමුත් පසුගිය කාලයේ මුදලට අලෙවි වුණු මන්ත්‍රීවරුන් අපි ඕනෑ තරම් දැක්කා. ඒ නිසා ඇතැම් මන්ත්‍රීවරු ඒ විදියට අලෙවි වුණත් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මේ පිළිබඳව බොහෝම විමසිලිමත් තැනක ඉන්නවා කියලා අපි දන්නවා.  

හොඳක් වෙනවනම් අපි කැමතී
ශ්‍රී ලංකා මුස්ලිම් ක්‍රොංග්‍රසයේ ලේකම්  නිශාන් කාර්යප්පර්:-

ඉස්සර හිටියා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව එක්ක එකතුවෙලා අමාත්‍යධූර ලබාගෙන මේ අවුරුද්ද තුළ රටේ උපරිම සංවර්ධනයක් කිරීමට සහාය දැක්වීමට වාතාවරණයක් තියනවා නම් ඒ අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළයුතුයි. අවුරුදු තුන හමාරක කාලය තුළ ඒ පදනම යටතේ තමයි අපි මේ වැඩපිළිවෙල හදාගෙන ආවේ. ඒ නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එකතුවෙලා ඒ ඇනහිටි වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවානම් ඒ සඳහා ජාතික ආණ්ඩුවක් යටතේ කටයුතු කරනවා නම් ජනතාවට යම් සහනයක් සුබදායි වැඩක් සිදුවෙනවා නම් අපිත් ඒ පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම්.

කැබිනට්ටුව ලොකු කරගන්න කරන වැඩක්
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක:-

දැන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟ මන්ත්‍රීවරු පිරිසක් ඉන්නවා. ඔවුන් මේ වනවිට අනාථවෙලා ඉන්නේ. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි මේ පසුගිය කාලය තුළ දේශපාලන කුමන්ත්‍රණය නිසා දැන් ඔවුනට ශ්‍රීලනිපය ඇත්තෙත් නෑ. රාජපක්ෂ මහත්තයගේ පොහොට්ටුවට ගිහින් නැවත දිනන්නත් බැහැ. ඒ නිසා දැන් එජාපය උත්සාහ කරනවා වෙනම දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරලා මේ කණ්ඩායම ඒකට එකතු කරගන්න. එතකොට මේ මන්ත්‍රී කණ්ඩායමටත් කැබිනට් ඇමතිකම් ලබා දියයුතු වෙනවා. නමුත් මේ දැන් තියන ක්‍රමය අනුව කැබිනට් මණ්ඩලය 30කට වඩා වැඩි වෙන්න බැහැ. ඉතින් මේ වනවිට කැබිනට් එක සම්පූර්ණයි. ශ්‍රීලනිපයේ සිටින මන්ත්‍රීවරුන් ස්ථිර ලෙසම ජාතික ආණ්ඩුවට එකතුවන බව කියා තිබෙනවා. බොහෝ තැන්වල ඉතින් මේ ජාතික ආණ්ඩුව කියන වංචාව කරේ නැත්නම් ඔවුනට බැහැ. ශ්‍රීලනිපයෙන් එන පිරිසට මන්ත්‍රීධුර ලබාදෙන්න. ඒ නිසා දැන් ඔය කරන්නේ මේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීම සඳහා යොදන උපක්‍රමයක්. 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එකතුවෙලා ජාතික ආණ්ඩුව හැදුවෙත් ඕකටම තමයි.

ජාතික ආණ්ඩුවට වුණු දේ අපි හැමෝම දන්නවා
කම්කරු ජාතික පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා:-

පසුගිය කාලයේ ක්‍රියාත්මක වුණ ජාතික ආණ්ඩුවට මොකද වුණේ කියන කාරණාව අපි හැමෝම දන්නවා. ජාතික ආණ්ඩුව තිබෙනා කාලයේ රටේ සංවර්ධන කටයුතු නිසා ආකාරයෙන් සිදුවුණා. ඒ වගේම ජනතාවට විශාල සහන රාශියක් ලැබුණා. එකිනෙකා හොඳ අවබෝධයකින් කටයුතු කරනවා කියන්නේ. රටේ තියන ප්‍රශ්නවලට ඉක්මනින් විසඳුමක් ලැබෙනවා කියන එක. කොහොම වුණත් නැවතත් ජාතික ආණ්ඩුවක් යටතේ මේ රටේ කටයුතු සිදුවෙනවා නම් හොඳයි කියනඑක තමයි මගේ මතය.

I සටහන :- හසිත් අංජන