2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පුංචි වී මෝල්වලට ඉබි යතුරු වැටිලා!

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 132

මේ දිනවල වී අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් පවතී. පසුගිය වසර පහක පමණ කාලයක් තුළ අධිකතම අස්වැන්න මෙම මහ කන්නයේ හිමිකර ගත හැකිවීම සතුටට කරුණකි. එහෙත් මේ සා විශාල අස්වැන්න කළමනාකරණය කරගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැත. ඒ නිසාම පෙර වසරවලදී මෙන් ගොවියාත් පාරිභෝගිකයාත් අසාධාරණයට පාත්‍ර වී මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකුගේ කරල පැහෙන තත්ත්වයක් උද්ගතව ඇත.

මෙම අහිතකර වාතාවරණය තවත් උග්‍ර වී ඇත්තේ මේ වනවිට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් වඳ වී යාමේ අවදානමකට ලක්වෙමින් පවතින නිසාය. මේ වනවිට දිවයිනේ කුඩා සහල් මෝල්වලින් සියයට 80කටත් වැඩියෙන් වැසී ගොස් ඇත. ඇතැම් මෝල්වලට බැංකු ණය ගෙවාගත නොහැකිවීම නිසා බැංකු මගින් දේපළ අත්පත් කර ගැනිමේ ක්‍රියාදාමයකට ගොදුරැවීම හේතුවෙන් ඉබියතුරු වැටී ඇත. සෙසු මෝල් හිමියන්ට විශාල මෝල් සමඟ තරග කළ නොහැකිවීමෙන් ස්වකීය ව්‍යාපාරවලින් සමුගන්නට සිදුව තිබේ.

නිසි කළමනාකරණයකින් සහල් ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කළ හැකිනම් ගොවියාට වැඩි මිලකට තම නිෂ්පාදන අලෙවිකර ගැනීමටද, ව්‍යාපාරිකයාට සාධාරණ ලාභයක් උපයා ගැනීමටද රටේ පාරිභෝගිකයාට අඩුමිලට සහල් කිලෝවක් ලබා ගැනීමටද අවස්ථාවක් උරැම වනු ඇත. එහෙත් අද සිදුව ඇත්තේ මේ අංශ තුනටම කෘත්‍රිම මිලකට නතුවීමට සිදුවීමේ ඛේදවාචකයකි.
මේ තත්ත්වය පිළිබඳ අපි අංශ කිහිපයක් සමඟ සාකච්ඡා කළෙමු.

රාජාංගණය නාච්චදූව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.පී.එම්. පුංචිබණ්ඩා -

මේ වනවිට මේ පළාතේ නාඩු ගොයම පීදෙනවා. සම්බා ගොයම බණ්ඩි තත්ත්වයේ. තව කෙටි කාලයකදී වී අස්වැන්න වෙළෙඳපොළට එනවා. වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මිලට ගැනීමට සූදානම් වන බවත් පෙනෙන්නට තිබෙනවා. වී ගබඩා පහසුකම් ඇති තරම් තිබෙන බව කිවයුතුයි. නාච්චදූවට ශ්‍රාවස්තිපුර ගබඩාව, අනුරාධපුරයට සේනානායක ගබඩාව, රාජාංගණයට තඹුත්තේගම හා මහවැලියට තලාව ගබඩාව තියෙනවා. කොතරම් ගබඩා පහසුකම් තිබුණත් ගොවියා ආණ්ඩුවට වී දීමට මැලිවෙනවා. එයට හේතුව සහතික මිල අඩුවීමත්, ඉල්ලන ප්‍රමිතියේ වී දීමට නොහැකිවීමයි.

මේ වනවිට පවතින සහතික මිල වන්නේ සම්බා වී කිලෝව රුපියල් 41 හා නාඩු 38 වශයෙන්. අපි මෙවර සහතික මිල රැපියල් 45-50 කරන්න කියලා ඉල්ලුවා. එහෙත් ලැබෙයිද දන්නේ නැහැ. මිල වැඩිකරනවා නම් ලබන මාසය වනවිට ඉහළ දැමිය යුතුයි. කෘෂිකර්ම ඇමැතිත් අනුරාධපුරේ කෙනෙක් නිසා අපි හිතනවා යම් ප්‍රගතියක් ලැබෙයි කියලා. මෙයට පෙර සිද්ධවුණේ ගන්නා තීරණ ඇමැති මණ්ඩලයට - පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනුමත වෙලා එනවිට පෙරහැර ගිහින් හමාරවීමයි. මෙවර හෝ එම තත්ත්වය නැතිවෙනවා නම් හොඳයි.

ගොවීන් මණ්ඩලයට වී දෙන්න අකමැති ප්‍රමිතිය තදින් බලන නිසයි. බොහෝ වෙලාවට බාලයි කියලා බාරගන්නේ නැහැ. සියයට 14 ප්‍රමිතියට සාමාන්‍ය ගොවියකුට වි නිෂ්පාදනය කරන්න අපහසුයි. ඒත් පෞද්ගලික මෝල් හිමියන් එහෙම නැහැ. ඒ අය තෙත වී අරගෙන &ඩයල්* එකේ දාලා වේලනවා. ඩයල් කියන්නේ මැෂිමක් යොදා වියලීමයි. ඒ මැෂිමෙන් පැය 4කින් කිලෝ 6000ක් වේලන්න පුළුවන්. වියදමත් අඩුයි. ඒ නිසා මෝල් හිමියන්ට ගොවියන්ගෙන් තෙත වී අඩු මිලට අරගෙන ඩයල් කරලා වේලලා ලොකු ලාභයක් ගන්න පුළුවන්.

ගිය කන්නයේ මේ ප්‍රදේශයේ එක වී ඇටයක්වත් ආණ්ඩුවට ගියේ නැහැ. කුඹුරුවලටම ඇවිල්ලා මුදලාලිලා අරගෙන ගියා. එවේලේම සල්ලි ගෙවලයි ගත්තෙ. ආණ්ඩුවෙන් ගත්තාම මුදල් ගන්න රස්තියාදු වෙන්න සිදුවෙනවා.

අනිත් ගැටලුව තමා පුංචි සහල් ව්‍යාපාරිකයන්ට බැංකුවලින් ණය ගන්න තියෙන අපහසුව. සුරැකුම් නැහැ ආදී විවිධ හේතු කියලා ණය දීම ප්‍රතික්ෂේප කරනවා. ඒත් විශාල ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ණය ගන්න පුළුවන්. ඉහතදී ණයගත් පුංචි ව්‍යාපාරිකයන් ණය ගෙවන්න බැරිකමින් අද අමාරැවේ වැටිලා. සමහරැන් මෝල් පවා කෑලි ගලවලා විකුණලා. සම්පූර්ණයෙන්ම ව්‍යාපාරවලින් ඈත්වෙලා. මේ තත්ත්වය මත විශාල මෝල් හිමියන්ගේ අධිරාජ්‍යය ජයටම ගොඩනැගිලයි තියෙන්නේ. ඒ කිහිපදෙනා හැරැණුවිට කාටවත් මේ ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් නැහැ. කුඩා මෝල් හිමියන් දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. ඒ නිසා සහල් මිල තීරණය කිරීමේ බලය විශාල මෝල්හිමියන් කිහිප දෙනෙකුට හිමිවෙලා.

මේ පාරත් එහි වෙනසක් සිදුවෙන්න ඇති ඉඩක් නැහැ. ඒ නිසා පරණ විදිහටම සියල්ල සිද්ධ වෙයි. කුඩා සහල් නිෂ්පාදකයන් නැත්තටම නැතිවෙලා අධික මිලකට සහල් ගන්න රටේ පාරිභෝගිකයාට සිදුවෙයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසන්නේ රටේ සහල් මිල තීරණය කිරීමේ අවස්ථාව ආණ්ඩුව විසින් මෝල් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට ලබාදී ඇති බවයි. මේ හේතුවෙන් ගොවියාද, කුඩා සහල් නිෂ්පාදකයාද, පාරිභෝගිකයාද අමාරැවේ වැටි ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ පාර ගොඩ ඉඩම්වලද වී ගැහුවා. මේ වනවිට එම වී වෙළෙඳපොළට එන්න පටන් අරන්. කොහොමත් මේ කන්නයේ වී අස්වැන්න ඉහළයි. ඒ නිසා සහල් මිල පහළ යනවා මිස ඉහළයාමට හේතුවක් පෙන්නේ නැහැ. එහෙත් වි මිල පහළ ගියාට සහල් මිල ඉහළ යනවා මිස පහළ වැටෙන්නේ නැහැ. මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වී කිලෝව රුපියල් 28 දක්වා පහළ වැටිලා. තව ගොයම් හරියට කැපෙන විට කුණු කොල්ලයට යාවි.

ආණ්ඩුව කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ ණයවලට සහන දීමටද ඉදිරියට අඩු පොලියට ණයදීමටද කැබිනට් පත්‍රිකාවක් පසුගියදා අනුමත කර ගත්තා. එහෙත් ඒ තීරණ ක්‍රියාත්මක වීම ප්‍රමාද වෙලා තියෙනවා. අප මේ පිළිබඳව රිෂාඩ් ඇමැති සමග සාකච්ඡා කළා. කුඩා මෝල් හිමියන් සමග උද්ඝෝෂණවල නිරතවුණා. එහෙත් ප්‍රතිඵලයක් ලැබි නැහැ. කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය තිබියදී වෙනත් සංගමයක් තනලා ලියාපදිංචි කරගෙන තිබෙනවා. මේ සංගමය සමුපකාර දෙපාර්තමේන්තුවේ ස.මු.60 යටතේ ලියාපදිංචි කරලා තිබුණත් ස.මු. 62 යටතේ මේ ව්‍යාජ සංවිධානයක් ලේඛනගත කරලා තිබෙනවා. දෙපාර්තමේන්තුව මැදිහත්වෙලා චීනයේ ජුනාඩි යන සමාගමෙන් සියයට 7.3 අඩුපොලියට මෙම ව්‍යාපාර සමාගමට ණය මුදලක් ලබාදීමට කටයුතු කරමින් තිබියදී එය ප්‍රමාද කරන්න අපට හැකිවුණා.

කොහොම වුණත් මේ වනවිට හර්ෂ ද සිල්වා ඇමැතිවරයාගේ මාර්ගයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රැපියල් මිලියන 1500ක ණයක් දීමට තීරණය කර තිබෙනවා. එම ණය මුදල ලැබී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් වුවහොත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමග යම් තරඟයක් දීමට පුළුවන්. එවිට තරඟකාරීත්වය ඇතිවී සහල් මිල පහළ යාවි. මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරීත්වය බිඳ වැට්ටවිය යුතුයි.

හාල් මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

වී කිලෝවක මිල  X 1.6 + රැපියල් 8 = තොග මිල (රුපියල් 8ට බදු, ගෙවිය යුතු බිල් සහ වෙනත් වියදම්ද ලාභයද අඩංගුයි)

සිල්ලර මිල ලැබෙන්නේ මෙයට තවත් රැපියල් 4ක් එකතු කිරීමෙනි.

වී කිලෝවක මිල  X 1.6 + රුපියල් 8 + රුපියල් 4 = සිල්ලර මිල

මේ අනුව වී කිලෝවක මිල රැපියල් 10ක් වූ විට තොග මිල රුපියල් 24ක්ද සිල්ලර මිල රුපියල් 28ක්ද වෙනවා. එහෙත් අද වෙළෙඳ පොළේ සහල් මිල මෙයට 3-4 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. වර්තමාන මහා පරිමාණ මෝල් හිමියන් සහල් කිලෝවකින් රැපියල් 20කට වඩා ඉහළ ලාභයක් ලබනවා. මෙම තත්ත්වය නැවැත්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු වෙනවා. ඇතැම් වගකිවයුත්තන්ට බලගතු ව්‍යාපාරිකයන්ගෙන් අයථා ආදායම් ලැබෙනවා. එසේම සහල් ආනයනය කරනවිටද කොමිස් ලැබෙන නිසා සහල් හිඟයක් මවාපාලා පිටරටින් ගෙන්වන්න උත්සාහ කරනවා. අද පවතින මාෆියා තත්ත්වය පාලනය කිරීමට බලධරයන් මැදිහත් විය යුතුයි.

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා:

දැනට දිවයින පුරා තිබුණු සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් රාශියක් වැහිලා ගිහින්. පොළොන්නරු දිස්ත්‍රික්කයේ පමණක් මෝල් 100 පමණ වැහිලා. සෙසු දිස්ත්‍රික්කවලටත් අත්වී ඇත්තේ ඒ ඉරණමයි. හම්බන්තොට 50ක්, අනුරාධපුර 40ක්, කුරැණෑගල 40ක්, අම්පාරේ 30ක්, මරදගහමුල මෝල් 25ක් ආදී වශයෙන් ලංකාව පුරා මෝල් 300-400 පමණ වැහිලා තියෙනවා. පොළොන්නරුවේ තියෙනවා මෝල් කොලනිය කියලා ගමක්. එහි තමා හාල් මෝල් රැසක් තියෙන්නේ. එහි තිබූ මෝල් 51න් අද තියෙන්නේ 5ක් පමණයි.

අපේ රටේ සහල් ව්‍යාපාරිකයාට මෙම තත්ත්වයට මුහුණ දෙන්න සිදුව ඇත්තේ ආණ්ඩුවේ කිසිදු ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසයි. දේශපාලන තීරණ තමා ගන්නේ. 2014 ජනාධිපතිවරණය සමයේ ජනතාව සතුටු කරන්න සහල් අසීමාන්තිකව ආනයනය කළා. ඒ කාලයේ වී කිලෝව මිල වූයේ රැපියල් 50ක්. මේ නිසා ගොවියා අසරණ වෙලා. කරගන්න දෙයක් නැතිවුණා.

2008 වසරේ අප්‍රියෙල්වල තමා සහල්වලට උපරිම සිල්ලර මිලක් මුලින්ම පැනවූයේ. එදා සිට අද දක්වා ආණ්ඩුව සිල්ලර මිල තීරණය කළේ ගොවියා සහ මෝල් හිමියන් සමග කතා කරලා නොවෙයි. කොළඹ සීත කාමරවල ඉන්න අය කාගේ හෝ වාර්තාවක් බලලා මිල තීරණය කළා. ඒ ක්‍රමය ප්‍රායෝගික නැහැ. මිල අසාර්ථක වෙන්නේ ඒ නිසයි.

හර්ෂ ද සිල්වා ඇමැතිතුමා හා කෘෂිකර්ම ඇමැතිතුමා පසුගිය 30දා සහල් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කළා. එයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වගේම ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනාද සහභාගී වුණා. එහිදී මිල තීරණය කිරීමට මිල සූත්‍රයක් තැනීමට එකඟ වුණා. අප්‍රියෙල් මස 1දා සිට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට සැමදෙනාම එකඟ වුණා. එහි සාර්ථක වුණේ ගොවියාටත්, ව්‍යාපාරිකයාටත්, පාරිභෝගිකයාටත් යහපතක් සිදුවෙනවා. වෙළෙඳ පොලේ තරගාකාරීත්වය තබාගන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැකගත යුතුයි. මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා නම් මිල ඉබේම තීරණය වන නිසා මිල පාලනයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

එසේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය බරෙන් පීඩා විඳිනවා. මේ පිළිබඳ සලකා බලා 2018.07.18 දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුමත කරගත්තා. එහිදී මෝල් හිමියන් සහ ගොවියන් ගත් ඉතිරි ණය ප්‍රතිලේඛන ගත කරලා, සමුපකාර ක්‍රමයක් හඳුන්වා දී ඔවුන්ට සහනයක් සැලසීමට යෝජනා කර තිබෙනවා. එය ක්‍රියාත්මක කළොත් සැමට සහනයක් වෙනවා. අද කිලිනොච්චියේ වී කිලෝව රැපියල් 24-28ට පෞද්ගලික වෙළෙඳුන් ගන්නවා. ආණ්ඩුවට වී ගන්න තවම වැඩපිළිවෙළක් නැහැ. මේ තත්ත්වය ඉදිරියේදී දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලටත් යයි.

මරදගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ සමස්ත ලංකා මෝල් හිමියන්ගේ සංගමයේ උප සභාපති බී.කේ. රංජිත් පවසන්නේ ආණ්ඩුව ස්වකීය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම නිසා මෙම අහිතකර තත්ත්වය උද්ගත වී ඇති බවයි. මෙම අවාසනාවන්ත තත්ත්වය එදත් අදත් පවතින බව ඔහුගේ අදහසය.

මේ වනවිට ඇතැම් ගොවියන් ප්‍රමිතියෙන් තොර අස්වැන්න නෙලනවා. පැහෙන්න පෙර සහල් තැනිල්ල නිසා අස්වැන්න බාල වෙනවා. එසේම නාස්ති වෙනවා. තවත් හේතුවක් තමා පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරන බීජ වගා කිරීම. අස්වැන්න වැඩිවුණාට පාරිභෝගිකයන් කෑමට අකැමැති සහල් තැනීම වැරදියි. අද වනවිට කන්තලේ, සේරුනුවර ප්‍රදේශවල වගාකරන සම්බා වර්ග ජනතාව කැමට ගැනීමට අකමැති ඒවායි. ආණ්ඩුව රටට ඔබින බීජ ගොවියාට හඳුන්වා දෙන්න ඕනෑ. බලධරයන් ඉන්නේ ඒ රාජකාරියටයි. ගොවියා මෙය දන්නේ නැහැ. තමන්ට ලැබුණු බීජයි ඔවුන් වපුරන්නේ. එවිට අලෙවිය අඩුවීමෙන් මිල පහළ ගිහින් ගොවියා අමාරැවේ වැටෙනවා.

මේ කන්නයේ වී අස්වැන්න ඉතාම සරැයි. පහුගිය අවුරුදු පහකට නැති අස්වැන්නක් ලැබෙමින් පවතිනවා. මඩ මෙන්ම ගොඩද සරැ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකියි. ගොඩ දැන් කැපෙනවා. ඉදිරි මාස 3 දී මුළු අස්වැන්නම වෙළෙඳපොළට එනවා.

අද දිස්ත්‍රික්ක 7කම සහල් මෝල් වැහිලා. ගම්වල නිෂ්පාදනය ගන්නේ කුඩා මෝල් හිමියන් තමා. අද ඒවා අකර්මන්‍ය නිසා ගමේ අස්වැන්න අලෙවි කර ගැනීමට ගොවියන්ට නොහැකි වෙලා. පසුගිය මාස 11 පුරාවට මේ මෝල් විවෘත කරගන්න බලධරයන් සමඟ කතා කළා. එහෙත් අසාර්ථක වුණා. ගමේ සහල් මිලට ගන්න අය නැතිවුණොත් ගොවීන් අසරණ වෙනවා. ආණ්ඩුවට වී ගන්න මෙතෙක් කිසිදු සැලසුමක් නැහැ. වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ගොවි ප්‍රශ්න ගැන සාකච්ඡා කරලා යම් උනන්දුවකින් වැඩ කළා. එහෙත් දැන් ඔහු නැහැ. නැවතත් පරණ තත්ත්වයට ඇවිත්. දිගටම මෙහෙම තිබුණොත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගොවීන්ගෙන් අඩු මිලට වී ලබාගෙන විශාල ලාභයක් තබාගෙන විකුණාවි. ගොවියාත් පාරිභෝගිකයාත් යළිත් අමාරුවේ වැටේවි.

I යසවර්ධන රුද්රිගු

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00