2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

උපාධි ගන්න සල්ලි දෙන අලුත් කඩේ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 672

රැකියා විරහිත උපාධිධාරී සංගම් රාශියක් රට පුරා පවතී. කඳුළු ගෑස් බැටන් ප්‍රහාරවලට ලක්වෙමින් කරනා ඔවුන්ගේ උද්ඝෝෂණවලින් ද අඩුවක් නැත. රජය ද විවිධ අවස්ථාවලදී රුකියා විරහිත උපාධිධාරින්ට රුකියා ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එහෙත් විශ්විද්‍යාලවලට යාමට අවස්ථාව නොලැබූ උසස් පෙළ සිසුන් ලක්ෂ ගණනක් වාර්ෂිකව රටේ ඉතිරි වෙති. ඔවුන්ට උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික උපාධි අධ්‍යාපන ආයතනවලට එක්වීමට මුදල් දුෂ්කරතා එමටය. රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පළකරන වර්ණවත් දැන්වීම් දෙස බලා පමණක් සැනසීමට වැඩි දෙනෙකුට සිදුව ඇත.

එලෙස උසස් අධ්‍යාපනයෙන් හැලෙන සිසුන්ගේ යහපත සඳහා 2017 අයවැය යෝජනා අනුව ආරම්භ වූ යෝජනා ක්‍රමයකි. පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය. “එමගින් රටට අවශ්‍ය තාක්ෂණික හා වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීම හා ක්‍රමවත් කිරීම කරනු ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සඳහා අවස්ථා නොමැති තරැණ පිරිස සුදුසු විෂයයකට අදාළව තාක්ෂණික අධ්‍යාපනයක් ලබාගැනීම සඳහා දිරිමත් කරනු ඇත. දේශීය හා විදේශීය රුකියා වෙළෙඳපොළ උදෙසා තරුණ පිරිසට තාක්ෂණික කුසලතා පුහුණුව ලබාදෙන තාක්ෂණික ආයතනයන්ට ඇතුළත්වීමට විවිධ ණය පහසුකම් ක්‍රම හඳුන්වා දෙනු ඇත. යැයි රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.

මේ වනවිට ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අපි බඳවාගෙන තිබෙනවා. දැන් තුන්වැනි ශිෂ්‍ය කණ්ඩායමට තමයි ණය යෝජනා ක්‍රමයට අයඳුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙන්නේ. මේ සඳහා මේ වාර්ෂිකව සිසුන් 5000ක් බඳවා ගැනීමට යෝජිතයි. වර්ෂයේදී සිසුන් වැඩි උන්න්දුවකින් අයදුම් කර මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනීවියයි අපි සිතනවා.

අප සමඟ එලෙස අදහස් දැක්වූයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම අංශයේ අධ්‍ය එච්.ඩී. චන්දිමා ජානකි මහත්මියයි.

මෙවර ණය වැඩසටහන යටතේ 2017 වර්ෂයේ උසස් පෙළ සමත් වූ රාජ්‍ය විශ්වවිද්‍යාලට ඇතුළත්වීමට ලකුණු මට්ටම අඩු සිසුන් (සාමාන්‍ය සාමාර්ථ තුනක් සහිතව පොදු පරීක්ෂණයේදී අවම වශයෙන් ලකුණු 30ක් ලබාගත් සිසුන්ට) බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

“ආර්ථික කටයුතු අමාත්‍යාංශය තමයි මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළේ. එය අනුමතවීමෙන් පසුව තමයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙය ක්‍රියාත්මක කරන්නේ. මුලින්ම මෙයට බඳවාගන්නේ 2015 උසස් පෙළ කරපු දරුවෝ. මෙවර අපි මේ යෝජනා ක්‍රමය ගැන පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු සිසුන් දැනුවත් කරලා තිබෙන නිසා වැඩි සිසුන් ප්‍රමාණයක් ණය යෝජනා ක්‍රමයට අයදුම් කරාවි කියලා බලාපොරොත්තු වෙනවා.” අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පැවසුවාය.

ලෝකයේ බොහෝ රටවල වෘත්තීය අධ්‍යාපනය සඳහා ණය ලබාදීම සිදුවේ. අප රටේ වාණිජ බැංකු මගින්ද එලෙස උසස් අධ්‍යාපන ණය ලබාදේ. නමුත් ඒ ඇප කොන්දේසිවලට යටත්ව පොලියක් යටතේය. මහජන සේවයක් වශයෙන් රජය මෙම වැඩසටහන යටතේ ණය ලබාදෙන්නේ පොලී රහිතවය. ඒ සඳහා නියමිත පොලිය ගෙවනු ලබන්නේ රජය විසිනි. මෙහි මූල්‍ය සහයෝගී ආයතනය ලංකා බැංකුවයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනුමත උසස් අධ්‍යාපන ආයතන 10ක උපාධි පාඨමාලා 50කින් එකක් හැදෑරීමට මේ යටතේ අවස්ථාව ලැබේ. ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NSBM), ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), කොළඹ ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරැ විද්‍යාලය (CINEE), ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sir Lanka) සණස කැම්පස්, SLT කැම්පස්, කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, හොරයිසන් කැම්පස් වැනි උසස් අධ්‍යාපන ආයතන ඒ ලැයිස්තුවේ තිබේ.

මේ වැඩසටහනට අයැදුම් කිරීමට නොහැකි පිරිසක් ද සිටිති. ඔවුන් නම් අධ්‍යාපන විද්‍යා පීඨවල තේරී සිටින සිසුන්, ශ්‍රී ලංකා උසස් තාක්ෂණික ආයතනයේ (SLIATE) හෝ ඉංජිනේරු තාක්ෂණික ආයතනයේ (IET) හෝ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ ආයතනයට සුදුසුකම් ලැබූ සිසුන් විශ්වවිද්‍යාලවලට තේරී සිටින සිසුන් දැනටමත් රුකියාවක නිරත අය වෙති. 

ලක්ෂ අටක උපරිමයකට යටත්ව තමයි මේ ණය මුදල ලබාදෙන්නේ. පාඨමාලාවේ අය කිරීම අනුව ණය මුදලේ ප්‍රමාණය වෙනස් වෙනවා. ණය මුදල ගෙවන්න වෙන්නේ වසර තුනක් හෝ හතරක් වන පාඨමාලාව අවසන් වී තමතවත් වසරක සහන කාලයක් ගතවූ පසුවයි. ඊට පසු ණය මුදල ගෙවීමට තවත් වසර 8ක් හෝ 7ක කාලයක් හිමිවෙනවා. සම්පූර්ණ ණය මුදලේ කාලසීමව වසර 12ක් ලෙස තමයි සැලසුම් කර තිබෙන්නේ. රජය වසර 12ක් පුරා බැංකුවට දරුවන් වෙනුවෙන් පොලී ගෙවීම සිදුකරනවා. දරුවන් ගෙවිය යුතු වන්නේ තමන් ලබාගත් මුළු මුදලේ වාරිකය පමණයි.

වර්තමාන රුකියා වෙළෙඳපොළේ රුකියාවක් ලබාගැනීමේ සම්භාවිතාව වැඩි විෂය මාලාවක් මේ සඳහා තෝරාගෙන තිබේ. එය විෂය ධාරා 5ක් යටතේ වර්ග කර ඇත. මානව සහ සමාජ විද්‍යාව, වාණිජ, ජීව විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදනය, ඉංජිනේරැ තාක්ෂණය එම විෂය ධාරාවන් වේ.

මෙම උපාධි පාඨමාලා පිරිනමන ආයතන බහුතරයක් තිබෙන්නේ කොළඹ, මාලබේ වගේ අගනුවර ආශ්‍රිතව. හෝමාගම, කෑගල්ල, මහනුවර, තව කීපයක් තිබෙනවා. මේ නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන සිසුන්ට නවාතැන් ගැනීමේ වියදම් ආදී ගැටලු මතුවෙනවා. මේ නිසා රජය මේ දරුවන්ට තවත් සමාන්තර ණය මුදලක් වශයෙන් රු. 75000ක් වාර්ෂිකව ලබාදෙනවා. ඒක මාසිකව රු. 6250ක් වන පරිදි මාස තුනකට වරක් දරුවන්ගේ අතට ලබාදෙනවා. ඒ පහසුකම කැමතිනම් පමණක් ලබාගත හැකියි.

පෞද්ගලික අංශයේ නිල් කරපටි රැකියාවක් ලබාගැනීමට තල්ලුවක් ලබාදෙන මේ යෝජනා ක්‍රමය උපරිමව ප්‍රයෝජනයට ගැනීමට උසස් පෙළ සමත් වූ සිසුන්ට දැන් අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව NSBM හරිත සරසවියේ SLT කැම්පස් හෝ මාලබේ SLITT කැම්පස් හා තරුණ පෙළ දෙස බලා හූල්ලමින් සිටිය යුතු නැත. NSBMහි බහුමාධ්‍ය විද්‍යාවේදී උපාධියක් හෝ SLT කැම්පස් ඉලෙක්ට්‍රොනික් සහ ඉංජිනේරැ කළමනාකරණය හෝ සණස සරසවියේ බැංකුකරණ සහ කළමණාකාරණ විද්‍යාවේදී උපාධියක් හදාරන සිසුන් අතරට එක්වීමට තවමත් අවස්ථාව තිබේ. ඒ සඳහා වැඩි විස්තර ලබාගැනීමට www.studentloans.mohe.lk වෙබ් අඩවිය යටතේ පහසුකම් සලසා ඇත. අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමුකිරීමට ද අවස්ථාව සලසා දී තිබේ. මේ වනවිට අයදුම්පත් එවූ සිසුන්ට මාර්තු අග සහ අප්‍රේල් මුල උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමේ ලිපි එවීමට නියමිතය. එවැනි දැනුවත් කිරීමක් සිදු නොවුණහොත් දුරකතන අංක 0115115203 හෝ 0112879719 අමතන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටී.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00