වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේදී එවැනිම ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරනා සත්තු බොහෝමයක් ජීවත් වෙති. ඒ බොහෝ සත්තු එකල වනාන්තරයේ තවත් ගෙදරක් වෙනුවෙන් සටන් කළෝ වෙති. තවත් ජීවිතයක් ගෙන තම කුස පුරවාගන්නට මාන බැලූ සත්තු වෙති. අහසේ පියඹා යද්දි පොළවේ එහා මෙහා යන කුඩා සතකු ඩැහැගැනීමට මාන බැලූ සත්තුය. නමුත් අද ඔවුන් ඉතා අසරණව තවත් දිනකට ජීවිතය ඉල්ලන ජීවිතයත් මරණයත් අතරේ සටන ගෙන යන අහිංසක සත්තු වෙති.
වනජීවී කලාප ලංකාවේ දහයක් පිහිටා ඇති අතර එයින් බස්නාහිර වනජීවී කලාපයට අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය අයත් වේ. එබැවින් බස්නාහිර වනජීවී කලාපයේදී තුවාල වන සත්තු ප්‍රධාන වශයෙන් මෙම ස්ථානයේදී ප්‍රතිකාර ලබති. මීට අමතරව හොරගොල්ල ප්‍රදේශයේ ද මෙහි අනු. මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබේ. බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියට ඉතා ආසන්න භූමි ප්‍රදේශයක පිහිටි මෙම රැකවරණ මධ්‍යස්ථානයේ මේ වනවිටත් විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලබමින් පසුවන සතුන් විශාල ප්‍රමාණයක් සිටින බව එහි ගිය අපට දැකබලා ගත හැකි විය. වරින් වර රථවාහනවලින් ද මෙම රැකවරණ මධ්‍යස්ථානයට සතුන් ගෙන එනු අපි දුටුවෙමු.
ඒ අතර අපේ නෙත ගැටුණු ඉතා සංවේදී සිදුවීමක් ද විය. ත්‍රිරෝද රථයකින් මවක් සහ දියණියක් ඉතා පරිස්සමට රෙදි කැබැල්ලකින් ඔතා සතකු රැගෙන ආහ. ඒ කළු වඳුරෙකි. නිවස අසල විදුලි රැහැනක පැටලුණු මෙම කළු වඳුරා එක්වරම නිවසේ මිදුලට ඇද වැටී තිබිණි. ඒ සැණින් ක්‍රියාත්මක වූ නිවසේ සුනඛයා වඳුරා අල්ලාගෙන ඇත. නිවසේ හිමියන් සහ අසල්වැසියන්ගේ උදව්වෙන් වහාම කළු වඳුරා බේරාගත් ඒ මව සහ දියණිය මහරගම සිට අත්තිඩියට වඳුරා රැගෙන ඇවිත් තිබිණි. ඒ අවස්ථාවේ සියල්ල පසෙකලා වනජීවී රැකවරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරයා සහ කාර්යමණ්ඩලය කළු වඳුරා පිළිබඳව සොයා බැලූ නමුත් ඒ වනවිටත් ජීවිතයත් මරණයත් අතර සිටි වඳුරා මරණය වැළඳගෙන හමාරය.
“ඔහොම තමයි ඉතින් සතුන්ගේ ජීවිතේ. කොහොමත් දවසකට අඩුම තරමේ හතරදෙනෙක්වත් ආබාධ වෙලා, අසනීප වෙලා මෙතනට ගේනවා. අපි ඒ සතුන්ට ප්‍රතිකාර කරලා ඇතැමුන් මේ අවටම මුදා හරිනවා. හැබැයි සමහර සතුන් අපි මෙතනම මුදාහරින්නේ නැහැ. ජනතාවට ප්‍රශ්නයක් ඇතිවන සතුන් මුදාහරිද්දි අපි ගොඩක් පරිස්සම් වෙනවා. ප්‍රදේශවල ඉතා දරුණු වුණ සතුන් ගැන අපි දැනුම් දුන්නොත් අපේ කණ්ඩායම ඒ ප්‍රදේශවලට ගිහින් නිසි ක්‍රමවේදයන්ට අනුව ඒ සතුන් අල්ලගෙන මෙතනට අරගෙන එන වෙලාවලුත් තියෙනවා.”
යැයි පශු වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මහතා දේශයට පැවසීය.
එවැනි කළු වඳුරන් කිහිපදෙනෙකුම තනි කූඩුවල දක්නට ලැබුණි. ඔවුන් ඉතා දරුණුය. එවැනි දරුණු සතුන්ට ඇතිවන තුවාලවලට බෙහෙත් දැමීම ද ඉතා පරිස්සමට කළයුතු කටයුත්තකි. එක් කළු වඳුරකු මිනිසුන් විසිදෙනකු පමණ හපා කෑ වඳුරෙකි. බස්නාහිර පළාතේදී කළු වඳුරාගේ වාස භූමිය වන්නේ කළුතර සහ ගම්පහය. අද වනවිට වඳවී යන සතුන් විසි හය අතරට මෙම කළු වඳුරා ද අයත් වේ. බස්නාහිර පළාතේ ඇති කැලෑබද ප්‍රදේශ ක්‍රමයෙන් අඩු වී ඉඩකඩ සීමාවීම නිසා කළු වඳුරා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටී. මොවුහු ගහකොළ ආශ්‍රිතව ජීවත් වීමට, ගස්වල දළු කෑමට ප්‍රියතාවයක් දක්වති. නමුත් බස්නාහිර පළාතේ ඉදිවෙන ගොඩනැගිලි හේතුවෙන් කැලෑබද ප්‍රදේශ ක්‍රමයෙන් ඈත්ව යද්දි කළු වඳුරාගේ අවසානය ද සිදුවෙමින් පවතී. කෙසේවුවද මෙම වනජීවී රැකවරණයට කළු වඳුරන් පමණක් වසරකට එකසිය විස්සක් පමණ වාර්තා වන බව දැනගන්නට ලැබිණි.
ඇරැව්වල ප්‍රදේශයේදී ගිය වසර දෙසැම්බරයේදී එවැනිම කළු වදුරකු මුණගැසී තිබුණේ රැහැනක දැවටුණු කළු වඳුරු අම්මා එක්වරම බිම ඇද වැටීම හේතුවෙනි. වැටීමෙන් වඳුරු අම්මාගේ කොන්ද කැඩී ගියේය. එයින් වඳුරු අම්මා පමණක්ම නොව කළු වඳුරු පැටවා ද පත්වුණේ ඉතා අසරණය තත්ත්වයටය. එ වනවිටත් වඳුරු පැටවා ඉපදී සති තුනක් පමණ වන්නට ඇත. අදටත් වඳුරු අම්මාට හරිහැටි නැගිටගන්නට බැරිය. කොඳු ඇට පෙළ ආබාධයකට ලක්වුණු වඳුරු අම්මා තවමත් අසරණ තත්ත්වයෙන් බලා හිඳී. ඉතා සංවේදීම දසුන වන්නේ අදටත් කිරි එරෙන අම්මාගෙන් වඳුරු දරුවා පුංචි කුස පුරවන්නට ගන්නා මහන්සියයි. නොතේරෙන, කියාගන්නට හදන බොහෝ හැඟුම් ඒ අසරණ අම්මාගේ ඇස්වල ගුලි ගැසී ඇත. මවගේ කිරි නොලැබුණොත් වඳුරු පැටවාගේ ජීවිතය අනතුරේය. මව්කිරිවලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය කිසිදු ආහාරයකින්වත්, කිසිදු ආදරයකින්වත් කුඩා පැටවාට දිය නොහැක. මේ නිසාම අනතුරේ ඉන්නා අම්මාගේ ආදරය කැටි වුණ ඒ මව්කිරි පුංචි පැටවාගේ ජීවිතය මේ වනතුරු බේරාගෙන තිබේ.
අද වනවිට මෙම රැකවරණ මධ්‍යස්ථානයේ දී අලුත්වැඩියා කිහිපයක්ම සිදුවෙමින් පවතී. ඒ අතර ඉදිවෙමින් පවතින පැටවුන් බලාගැනීමේ මධ්‍යස්ථානය තුළදී කුඩා සතුන් රැකබලා ගැනීමේ හැකියාව ද ඉදිරියේදී ඇති වෙයි. මේ වනවිට සතුන්ට සැත්කම් සිදුකරනු ලබන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක ඇති සීමිත උපකරණවලිනි. නමුත් ඉදිරියේදී සතුන්ට සැත්කම් සිදුකිරීම සඳහා නවීන පහසුකම් යටතේ ශල්‍යාගාරයක් ඉදිවෙමින් පවතී. අද වනවිට බස්නාහිර වනජීවී කලාපයේ වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ පශු වෛද්‍ය නිලධාරීන් තිදෙනකුගේ සහ කාර්ය මණ්ඩල සේවකයන් නවදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මේ සියලු සතුන්ට ප්‍රතිකාර ලබාදීම සිදු කෙරෙයි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් සතුන්ට අවශ්‍ය කරන ආහාරපාන සහ ඖෂධ සැපයේ. කුඩා සතුන්ට සහ අසනීප රෝගී සතුන්ට අවශ්‍ය කරන ආහාරපාන කාර්යමණ්ඩලය විසින් දිනපතා පිළියෙල කරන අතර අනෙකුත් සතුන්ට ස්වභාවික ආහාරපාන සුපුරුදු පරිදි ලබාදෙයි.
මීට අමතරව භයානක දරුණු සතුන් ලෙස හඳුන් දිවියන්, කොළ දිවියන්, පිඹුරන් මෙම රැඳවුම් මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ඇත. මේ වනවිටත් ප්‍රතිකාර ලබන විශාල පිඹුරකු ද අපිට දැකගත හැකි විය. අනෙකුත් සතුන්ට නිසි ප්‍රතිකාර ලබා සුව වූ වහාම සුදුසු ප්‍රදේශවලට මුදාහරින අතර බොහෝ විට එවැනි සතුන් සොයා ගත් ප්‍රදේශයටම ඔවුන්ට හුරුපුරුදු ප්‍රදේශයටම නැවත මුදාහැරීමට උත්සාහ ගනී. හඳුන් දිවියන් වැනි සත්තු එක්තරා සීමා ප්‍රදේශයක පමණක් ජීවත් වෙති. නැවත වෙනත් ප්‍රදේශයකට මුදා හැරීමෙන් බොහෝ විට ඔවුන් අතරමං වී අනෙකුත් සතුන්ට විශාල අනතුරක් සිදුකිරීමට පුළුවන. නමුත් ඒ මුදා ගැනීමේදී ඒ ප්‍රදේශයේ ජනතාව පිළිබඳව ද මධ්‍යස්ථානය සැලකිලිමත් වේ. වනජීවී කලාපයක් ආසන්නයේ හෝ වනජීවී කලාපයත් තුළදී එවැනි සතුන් මුදාහැරීමට පියවර ගනු ලැබේ. බොහෝවිට එවැනි දරුණු සතුන් ලබුගම කලටුවාව රක්ෂිතයට මුදා හැරෙන බව සඳහන් වෙයි.
වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයට ඉතා කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන තරුණ යුවළක් මෝටර් බයිසිකලයෙන් පැමිණියේ අප එහි සිටියදීය. පෙට්ටිය තුළ සිටියේ ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පරවියෙකි. වහා වෛද්‍ය සුහද ජයවර්ධන මහතා එම අසරණ පරවියා දෑතට ගත්තේය. මහා මාර්ගයේ කාණුවක අයිනක ඉතා අසරණව වැටී සිටි මෙම පරවියා අසල තිබූ කඩයකින් ඉල්ලා ගත් කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක බහා රුඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ඒමට තරම් එම යුවළ සංවේදී හදවත් තිබූ දෙපළක් වූහ. පරෙවියාගේ හදගැස්මේ වේගය ඉතා අඩු වනු දක්නට ලැබුණි. ඒ තරමටම දුර්වල වී සිටි පරෙවියාට වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ඉතා ඉක්මන් ප්‍රතිකාර ලැබුණේ අප බලා සිටියදීමය.
ඇමේසන් වනාන්තර ආශ්‍රිතව වැඩිපුර ගැවසෙන හිස අසල රතු පැහැයක් පෙන්නුම් කරන ඉබ්බෙකු අපට දැකගත හැකිවිය. එම ඉබ්බා මාංශභක්ෂක වර්ගයකි. දේශීය ඉබ්බන්ගේ බිත්තර සහ මාළුන් මොවුන් ආහාරයට ගනී. විශාල වද්දි මෙම ඉබ්බා ගල් ඉබ්බෙකුගේ පෙනුම ගනී. ඇස ළඟ ඇති රතු පාට ඉර නිසා මේ ඉබි වර්ගය විශාල ඉබ්බන් අතරේ වුවද හඳුනාගත හැකිය. මොවුන් ඉතා ආක්‍රමණශීලී ඉබි විශේෂයකි.
මේ අතර අතපය අහිමි කැස්බෑවන් තුන්දෙනකු ද මෙම රැඳවුම් මධ්‍යස්ථානයේදී අපට දැකගත හැකිය.
ගෘහස්ත සතුන් සහ සුරතල් සතුන් වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේදී ප්‍රතිකාර සඳහා බාර නොගනී. මෙම රැඳවුම් මධ්‍යස්ථානයේදී රැකබලාගනු ලබන්නේ වනසතුන් පමණි. වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂා කර ඇති වන සතුන් පමණක් මේ මධ්‍යස්ථානයෙන් ආරක්ෂා කෙරේ.
මේ අනුව මේ වනවිට මෙම රැඳවුම් මධ්‍යස්ථානයේදී ගෝනුන්, මුවන්, උකුස්සන්, රාජාලියා, ඌරන්, විවිධ වර්ගයේ කුරුල්ලන්, දඬු ලේනුන්, විවිධ විෂගෝර සර්පයන් ඇතුළු විශාල සතුන් වර්ග කිහිපයකටම ප්‍රතිකාර කෙරේ.
බෙල්ලන්විල අභයභූමි හෙක්ටයාර් තුන්සිය අසූ ගණනකින් යුත් වගුරු බිමකි. එහි ඉතා අඩු ප්‍රමාණයකින් පවතින ගොඩබිම ප්‍රදේශයේ මෙම වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය නිර්මාණය කර ඇති අතර එයින් කොටසක් සතුන්ට නිදහසේ එහා මෙහා ගෙන යාමට හැකි වටපිටාවක් යටතේ සකසා තිබීම ද විශේෂත්වයකි.
වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ සිදුවන්නේ සුවිශෙෂී මෙහෙවරකි. ඇතැම් රෝග සතුන්ට ප්‍රතිකාර කරද්දී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයන්ට හිරිහැර අනන්තවත් සිදුවී ඇත. නමුත් ඔවුන් වෑයම අත්හැර නැත. සැමවිටම සතකුගේ ජීවිතය බේරාගන්නට ඔවුහු මහන්සි ගනිති. ඒ මහන්සියේ ප්‍රතිඵලය අත්විඳිද්දී ජීවිතයත් මරණයත් අතර සටන් වඳින සතකුගේ හද ගැස්ම සාමාන්‍ය රටාවට ගැස්සෙද්දී, කළ සැත්කම සාර්ථක වෙද්දී අත්තටුවලට හානි වූ කුරුල්ලකු නැවත අහසේ පියාසලද්දී ඒ සංවේදී හදවත්වලට දැනෙන සැනසීම වචනවලට පෙරළිය නොහැක.
►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරෑ - සුමුදු හේවාපතිරණ