මහනුවර නගරයේ යටිනුවර වීදියේ පිහිටි මහල් පහකින් යුත් වෙළෙඳ ගොඩනැගිල්ල ගිනිගත් දා (ජනවාරි 08) එම ගොඩනැගිල්ලේ ජීවත් වූ බණ්ඩාරවෙල පදිංචි කේ. රාමරාජ් මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු ඔහුගේ දරුවන් තිදෙනාට සියලු දේවල් අහිමි වී ඇදි වත පමණක් ඉතිරි වී අසරණ වී සිටියදී මහනුවර ජනතාව ඔවුන්ට පිහිට වූයේ ජාති ආගම් බේදයකින් තොරවය.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ මහනුවර ද්‍රවිඩ වෙළෙඳ ප්‍රජාව ඇතුළු බොහෝ දෙනකු රාමරාජ් මහතා සහ ඔහුගේ බිරිඳත් දරු තිදෙනාත් මුහුණ දුන් අසරණ තත්ත්වයට පිහිට වූයේ ඔවුනට හැකි අයුරිනි.
ඇඳුම් පැළඳුම් පාසල් උපකරණ හා මුදල් ද පරිත්‍යාගශීලීන්ගෙන් ලැබිණි.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ හා මහනුවර කැප්පෙටිපොළ ශ්‍රී වෛශාඛ දාන සංග්‍රහ සමිතිය ද අවතැන් වූ අසරණ වූ දමිළ පවුලට පිළිසරණට පැමිණියේ ජාතිවාදී උන්මාදයෙන් පෙළෙන ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයන් හා අන්තවාදී සංවිධානවලට මනුෂ්‍යත්වය පිළිබඳව අපූරු පාඩමක් ද උගන්වමිනි.
රන් භාණ්ඩ නිමැවුම්කරුවකු වූ රාමරාජ් මහතා මහනුවරට පැමිණියේ තම දරු තිදෙනාට අධ්‍යාපනය ලබා දී ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම සඳහාය. ඔහු හැකි තරම් උත්සාහ ගත්තේ ද දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සහ තමන්ට කියා ඉන්න හිටින්නට නිවහනක් තනා ගැනීම සඳහාය. එහෙත් දෛවයේ කුරිරු සරදමකට මුහුණ දුන් රාමරාජ් මහතාත් ඔහුගේ තරුණ බිරිඳත් කුජා පුතුන් තිදෙනාත් තමන් නේවාසිකව සිටි ගොඩනැගිල්ලේ දරුණු ගින්නකට මැදි වූයේ නොසිතූ අවස්ථාවකදීය.
තම දිවි පරදුවට තබමින් එදා ඔහු තම දරු තිදෙනාත්, බිරිඳත් ගිනි රකුසාගෙන් බේරා ගත්තේ මහනුවර නගරයේ යටිනුවර වීදියේ එක්රොක් වූ විශාල ජනතාවකගේ විලාප හඬ මැදිනි.
එදා යන්තම් ජීවිතය බේරාගත් මෙම අසරණ පවුලට හිසට නිවසක් තනා ගන්නට, බිම්කඩක් දීමට මහනුවර පදිංචි ව්‍යාපාරිකයකු වන අනුර බමුණුසිංහ මහතාත් ඔහුගේ ආදරණීය බිරිඳ වන ගංඟා බමුණුසිංහ මහත්මියත් එම යුවළගේ පුතුන් දෙදෙනාත් එකතු වීම ජාතිවාදය යටපත් වී මනුෂ්‍යත්වය ඉස්මතු වීමේ ප්‍රවණතාවයක් බව පැවසිය යුතුය.
අනුර බමුණුසිංහ මහතාට අයත් මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ පර්චස් 37ක ඉඩමක් රාමරාජ් මහතාගේ දරු පවුලට හිසට සෙවණක් තනා ගැනීම සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගැනීම මනුෂ්‍යත්වය අගයන බොහෝ මිනිසුන්ගේ ප්‍රසාදයට හේතු විය.
එදා මහනුවර ගින්නට මැදිවුණේ දෙමළ මිනිසෙක් ද, මුස්ලිම් මිනිසකු ද, සිංහල මිනිසෙක් ද, බර්ගර් ජාතිකයකු යන්න අවට රුස්ව සිටි ජනතාව නොසිතූහ. කවර ජාතියක කවර ආගමක වුවද මිනිසුන් ලෙස සිතා ඔවුන්ගේ ජීවිත බේරා ගන්නට උත්සාහ කළ මහනුවර ජනතාව ඒ ලෙස කැපවීම් කරද්දි අසරණ වූ රාමරාජ් මහතාගේ දරු පවුලට නිවසක් තනාගන්නට තමන් සතු ඉඩමක් පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාගශීලී වූ අනුර බමුණුසිංහ මහතා බිම් අඟලකට මිනී මරාගන්නා මිනිස්සුන්ට ද ආදර්ශයක් පෙන්වා දී තිබේ.
රාමරාජ් මහතාට ඉඩම පරිත්‍යාග කිරීම සංකේතවත් කරමින් ලේවැල්ලේ ඉතා සාරවත් භූමියකදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා ආශිර්වාද මැද ඉඩම් ඔප්පුව ඉඩම් පරිත්‍යාගශීලියා වූ අනුර බමුණුසිංහ මහතා විසින් පිළිගැන්වූ අවස්ථාවේ එම අවස්ථාවට සහභාගී වූ බොහෝ දෙනකුගේ ඇස්වලට කඳුළු පිරුණේ මනුෂ්‍යත්වය සැමට වඩා අගනා බව පසක් කර දෙමිනි.
එම අවස්ථාවට සහභාගී වූ මහනුවර නාගරික මන්ත්‍රීවරයකු මෙන්ම නගරයේ ව්‍යාපාරිකයකු වන එම්. පී. විග්නේෂ්වරන් මහතා එහිදී අදහස් දක්වමින් මෙසේ කීය.
“අද රටට අවශ්‍ය වන්නේ ජාතික සංහිඳියාවයි. එදා ගිනි අනතුර අවස්ථාවේ මේ නගරයේ සියලු ජනතාව බේදයකින් තොරව රාමරාජ් මහතාගේ දරු පවුල බේරාගන්නට කැපවූවා. එය ලෝකයටම ආදර්ශයක්. එය මනුෂ්‍යත්වයේ නාමයෙන් කළ උතුම් ක්‍රියාවක්. අපේ මේ රට තුළ කිසිම ජාති බේදයක් නැති බව මෙම වැඩසටහන තුළින්ම ඔප්පු වනවා.
අද මෙම දෙමළ ජාතික පියාට ඔහුගේ දරු පවුලට හිසට සෙවනක් තනා ගන්නට මහනුවර නගරයේ ජීවත් වන ව්‍යාපාර කටයුතු කරන දානපතියෙක් තමන්ගේ ඉඩමක් පරිත්‍යාග කළා. අද මේ අසරණ පියා රැකබලා ගන්නේ මහනුවර ජනතාවයි.”
රාමරාජ් මහතාට තම ඉඩමක් පරිත්‍යාග කළ අනුර බමුණුසිංහ මහතා ඉඩම පරිත්‍යාග කළ භූමියේ පැවති කෙටි උත්සවයේදී අදහස් දක්වමින්..
“මම මේ අසරණ පවුල දෙස බැලුවේ මනුෂ්‍යත්වයෙන්. මම ජාතිය, ආගම, කුලයට වඩා හිතුවේ මේ අසරණ දරු පවුල කොහෙද ජීවත් වෙන්නේ කියලයි. මට තිබුණු ඉඩම්වලින් කොටසක් මම මේ මනුස්සයට දුන්නේ මනුස්සකම සළකලයි. එපමණයි මට අවශ්‍යය. මගේ බිරිඳත් පුතුන් දෙදෙනාතේ මේ පරිත්‍යාගයට ඉතාම සතුටින් එකඟත්වය පළකළා. අපි මිනිස්සු ලෙස හැකි අයුරකින් මිනිස්සුන්ට උදව් කළ යුතුයි.”
මෙහිදී අදහස් දැක්වූ කේ. රාමරාජ් මහතා..
“ජාතිවාදයක් මේ පළාතේ ජනතාවගේ සිත් තුළ නැහැ. ඒ බව මම දැනගත්තේ මගේ දරු පවුලත් මාත් ගින්නට මැදි වූ අවස්ථාවේදියි. දෙමළද, සිංහලද, මුස්ලිම්ද කියලා සොයා බලන්නේ නැතිව එදා නුවර මිනිස්සු දෙවිවරුන් වගේ ඇවිත් මගේ දරුවන් බිරිඳගේ ජීවිත බේරාගන්න උදව් කළා. ඒ අය කවුද කියලා මම දන්නේ නැති වුවත් ඔවුන් දෙවිවරු හැටියටයි මම දකින්නේ. මම මෙහිදී කියන්නේ ජාතිවාදයක් කාගෙවත් නැති බවයි. මාධ්‍යය පවා මට උදව් කළේ අපි සේරම මනුස්සයන් ලෙස සළකලයි. ඒ සම්බන්ධව එම සියලු මාධ්‍ය ආයතනවලට, මාධ්‍ය මහත්වරුන්ට ස්තූති කරනවා.
මෙම අවස්ථාවට ආගමික කටයුතුවලින් සහාය දී ආශිර්වාද කළ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ආචාර්ය වටගමුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ උන්හිටිතැන් අහිමි වූ පවුලකට ඉඩමක් පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාගශීලී වූ අනුර බමුණුසිංහ මහතා ඇතුළු සැමදෙනා කරනු ලැබුවේ මහා පිංකමක් බවයි. ජාතිවාදය, ආගම්වාදය පතුරැවමින් රට අවුළුවන අන්තවාදීන් මෙවැනි ක්‍රියාවන්වලින් හෝ පාඩම් ඉගෙනගත යුතු බවද වටගමුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් පැවසූහ. ඉඩමක් ලැබුුණු රාමරාජ්ට එම ඉඩමේ නිවසක් ඉදිකරගන්නට උදව් කළේ ශ්‍රී දලදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාය. දෑල මහතා රාමරාජ්ගේ පවුලේ සාමාජිකයන් මුණගැසී ඔවුන්ට නිවසක් ඉදිකරගන්නට මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ප්‍රතිඥා දුනි.
►ජේ. ඒ. එල්. ජයසිංහ