2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ප්‍රේමයයි මරණයයි එකට වැළඳගත් විශේෂඥ දොස්තරගේ අනියම් බිරිය

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

“සර් මම මගේ නෝනාට පිහියෙන් ඇන්නා. නෝනාට මොනවා වුණාද කියන්න දන්නේ නැහැ.” රාගම පොලිස් ස්ථානයට පසුගිය 23 වැනිදා සවස් කාලයේ පැමිණි අයෙක් පැවසුවේය. “නෝනාට පිහියෙන් ඇන්නා” යැයි පැවසූ පුද්ගලයා අත්අඩංගුවට ගත් පසු පොලිස් කණ්ඩායමක් ඒ මොහොතේම පිටත්ව ගියේ රාගමටය.

නිවසේ කාමරයක් තුළ ලේ ගලන තුවාල සහිතව වැටී සිටි කාන්තාව උතුරු කොළඹ (රාගම) ශික්‍ෂණ රෝහලට ගෙන ගිය අතර කාන්තාව පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇති බව පොලිස් නිලධාරින්ට දැනුම් දී තිබේ. ඇයගේ සිරුරේ පිහි ඇනුමකින් සිදුවූවා යැයි සැක කළ හැකි තුවාල දෙකක් පොලිසියට දකින්නට ලැබී ඇත. ලේ තැවරුණු පිහියක්ද පොලිසිය සොයාගත් අතර එය මෙම කාන්තාව ඝාතනය කිරීමට යොදාගත් පිහිය බවට පොලිසිය සැක කරයි.

මෙසේ ඝාතනය කර තිබුණේ රාගම පොලිස් වසමට අයත් ලේල්වල ගමගේ චන්ද්‍රිකා වසන්ති (35) නමැති දෙදරු මවකි. ඝාතනය කෙරුණු කාන්තාව කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙලේ රෝහලක හෙදියක් ලෙස සේවය කළාය. මෙම හෙදිය ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ ඇය සේවය කරන රෝහලේ චැනල් සේවයේ නියුතු විශේෂඥ වෛදවරයෙකු සමග කාලයක් තිස්සේ සිට පවත්වාගෙන ගිය බව කියන අනියම් ඇසුරකි.

බිරිය මරා පොලීසියට බාර වූ සැමියාද අවුරුදු 35ක පමණ වයසේ පසුවන රජයට සම්බන්ධ රක්‍ෂණ සමාගමක විධායක ශ්‍රේණියේ නිලයක් දරන අයෙකි. 

“සර් මම නෝනාට ඔය දොස්තර මහත්තයා එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න කියලා කොච්චරවත් අවවාද කරලා ඇති ඒත් නෝනා සම්බන්ධය නතර කළේ නැහැ. දරුවෝ දෙන්නා ගැන හිතලා ඔය සම්බන්ධය නතර කරන්න කියා තමා මම ඇයට නිතරම කිව්වේ.” සැකකාර සැමියා පොලිසියට පවසා ඇති බව කියති.

හෙදිය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ යැයි කියන විශේෂඥ වෛද්‍යවරයා රජයේ සේවයෙන් විශ‍්‍රාම ලබා චැනල් සේවයේ නිරතව සිටී. ස්නායු රෝග සම්බන්ධව සුප‍්‍රසිද්ධියක් උසුලන මෙම වෛද්‍යවරයා මේ වනවිට පසුවන්නේ අවුරුදු 75ක තරම් වයසේය. බිරිය ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා සමඟ ලැගුම්හලක ගතකරන බවට ඇයගේ සැමියාට කිසිවකු දුරකතන ඇමතුමක් ලබා දී තිබිණි. මෙයට කෝපයට පත්වූ බව කියන සැමියා බිරිය නිවසට පැමිණි අවස්ථාවේ මේ ගැන විමසා තිබේ. බිරිය සහ සැමියා අතර බහින් බස් වීමක් ඇතිවූ අතර මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇත. අවසානයේ බිරියට මාරාන්තික පිහි පහර දෙකක් එල්ල විය. සැමියා පොලිසියට පැමිණ බාර වී ඇත්තේ ඉන්පසුවය.

රක්‍ෂණ සමාගමේ රැකියාවට යාමට පෙර සැකකරු සේවය කර ඇත්තේද හෙදිය සේවය කළ ප‍්‍රධාන පෙළේ රෝහලේමය. දෙදෙනාගේ හදවත් තුළ ආදරයේ මල් විකසිත වූයේ රෝහලේ සේවය කරන කාලයේ ඇති වූ දැන හැඳුනුම්කම මතය. වයෝවෘද්ධ විශේෂඥ වෛද්‍යවරයා සමඟ හෙදිය අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට පටන්ගෙන ඇතැයි කියන්නේ ඔවුන්ගේ ආදර කැදැල්ලට දරු දෙදෙනෙකුද එක්වූ පසුවය. රෝහලේ සැකකරු සේවය කරන කාලයේ ඔහු රෝහලේ ජනප‍්‍රිය චරිතයක් විය. ඒ නිසාම ඔහුට රෝහලේ බොහෝ මිතුරු මිතුරියෝ සිටියහ. බිරිය විශේෂඥ වෛද්‍යවරයකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ඔහුගේ මිතුරන් කියා තිබුණත් මුල් කාලයේ ඔහු එය එතරම් ගණන් ගෙන නොමැත. ඒ වෙන කිසිවක් නිසා නොව බිරිය කෙරෙහි තබා තිබූ අපමණ විශ්වාසය නිසාය. වයෝවෘද්ධ වෛද්‍යවරයකු සමඟ තරුණ බිරිය අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගනීවිද යන්න ඔහුට ඇය විශ්වාස කිරීමට තවත් ප‍්‍රබල හේතුවක් වී ඇති බව කියති.

“මගෙත් එක්ක ඉන්න තරහාකාරයෙක් ඔයාට ඔය වගේ බොරුවක් කියන්න ඇති. ඔය වගේ නාකි දොස්තරයෙක් එක්ක යාළුවෙන්න මට පිස්සුද?” කියා බිරිය සැමියා සමඟ පවසා තිබූ වාරද අපමණය. බිරියගේ ඒ කීමද සැමියා විශ්වාස කළේය. මිතුරන් මෙතෙක් කල් කියා ඇත්තේ බොරුවක් නොව ඇත්තක් බව ඒ වනවිට රක්‍ෂණ සමාගමේ සේවය කළ සැමියාට තේරුම් ගොස් ඇත. බිරිය තහනම් ගහේ ගෙඩි කන බව සැකහැර දැනගත් සැමියා ඒ ගැන පවසා අවවාද කළ සෑම මොහොතකම ඇය මොන බොරුද අනේ කියා ප‍්‍රශ්නයෙන් මගහැර ගියාය. සැකකරුද බොහොම ඉවසීමෙන් කටයුතු කර ඇත්තේ දරු දෙදෙනා ගැන සිතාය.

වයෝවෘද්ධ විශේෂඥ වෛද්‍යවරයා සමඟ බිරිය තැන් තැන්වල රවුම් ගසන බව දැනගත් ඇය සැමියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය ඇතැම් අවස්ථාවල දෙදෙනා අතර ඇති වූ අඬදබර නම් අපමණය. ආදර කැදැල්ල දෙදරා නොයාමට සැමියා නොගත් උත්සාහයක්ද නොමැත. ඒ වෙනුවෙන් ඔහු අපමණ කැප කිරීමක් කළත් බිරිය තහනම් ගහේ ගෙඩි කෑම නම් අතහැරියේ නැත.

අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන වයෝවෘද්ධ විශේෂඥ වෛද්‍යවරයා සමග විවේකයක් ලැබුණු සෑම අවස්ථාවකම යහන්ගත වූ බව කියන තරුණ හෙදිය ඔහුත් සමඟ විදේශ ගතවූ අවස්ථාද එමටය. “මම ඉන්නේ රට ගිහින් තව දවස් දෙක තුනක් යයි ආයෙත් ලංකාවට එන්න” යැයි හෙද බිරිය සැමියාට ඇය ගොස් සිටින රටේ සිට දුරකථනයෙන් කතාකර පවසන බවද කියති. ඒ තරමට තරුණ හෙදිය හා විශේෂඥ වෛද්‍යවරයා අතර තද බැඳීමක් තිබී ඇත.

එම විශේෂඥ වෛද්‍යවරයාද අත දිගහැර වියදම් කර ඇයගේ සියලු ඕනෑ එපාකම් ඉටුකරදී තිබෙන බව දැන ගැනීමට ඇත. දරු දෙදෙනාගේ නාමයෙන් බිරියට සැමියා සමාව දුන් වාර අනන්ත අප‍්‍රමාණ වුවත් එයින් ප‍්‍රයෝජනගත් ඇය විශේෂඥ වෛද්‍යවරයා සමග සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ.

“ඔයා හදවත් දෙකකට එක්වර ආදරය කරනවා නම් බොහෝ ඉක්මනට විඳවීමට අනිවාර් යෙන්ම සිදුවනවා ඇත. ආදරෙයි අහස තරම්.” මේ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ යොදා තිබූ සටහන් ගණනාවක් අතරින් එකකි.

මහේස්ත‍්‍රාත් හා පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් පසු හෙදියගේ සිරුර බාරගත්තේ ඇයගේ සහෝදරයෙකි. ඒ සමඟම සිය සහෝදරියගේ දරු දෙදෙනාද බාරගෙන ඇත්තේ එම සොහොයුරාය. හෙදියගේ අනියම් ඇසුර නිසා අවසානයේ දරු දෙදෙනාට මව් සෙනෙහස හා රැකවරණය සදහටම අහිමි වූ අතර පිය සෙනෙහසද අහිමි වී ගියේ ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත්වූ නිසාය.  පොලිසියට බාර වූ සැකකරු මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි මාසයේ 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බස්නාහිර උතුරැ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතා සහ කැලණිය පොලිස් අධිකාරි මධාරා ආරියසේන මහත්මියගේ මෙහෙයවීම යටතේ රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඇත.

►ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය