2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

කුඩුවලට එරෙහි යුද්ධයේ සෙන්පතියන්ට ජනපති සම්මාන

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය පිහිටුවා ගතවූ වසර හතර තුළදී ආරක්ෂක බුද්ධි අංශ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ මැදිහත් වීමෙන් විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් හා අත්අඩංගුවට ගැනීම් රාශියක් සිදු කරනු ලැබීය. මේ සඳහා ප්‍රධාන දායකත්වයක් සපයා තිබුණේ ශ්‍රී ලංකා පොලීසිය විසිනි. එවැනි මෙහෙයුම්වලදී ඉතා අවංකව හා දිවිහිමියෙන් කැපවී රාජකාරි කළ පොලිස් නිලධාරීන් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළේය.

ඒ අනුව මත්ද්‍රව්‍ය නිවරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මගින් සංවිධානය කළ ජනාධිපති පොලිස් ප්‍රශංසා සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 28 වැනිදා පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විශේෂ දක්ෂතා දැක්වූ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීහු 1132ක් එහිදී සම්මාන ලැබූහ. මත්ද්‍රව්‍ය මෙහෙයුම් රාජකාරියේදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙනුවෙන් ඔවුන්ගේ බිරියන් දෙදෙනා වෙත ජනාධිපතිවරයා විසින් පොලිස් වීරතා පදක්කම පිරිනැමීම විශේෂිතය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය මෙහෙයවීමෙන් පැවැත්වූ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා පොලීසියේ පාර්ශවයෙන් තොරතුරු ලබාගෙන වැඩසටහන ක්‍රියාත්මක කොට තිබුණි. ඒ අනුව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම යන ප්‍රධාන මෙහෙයුම් දෙකේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නිලධාරීන් ඇගයීමට ලක්කෙරිණ. එසේ දායකත්වය සැපයූ නිලධාරීන්ගේ සුවිශේෂීත්වය අනුව තේමා තුනක් යටතේ සම්මාන ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

විශාල ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකළ නිලධාරීන් සඳහා “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනමනු ලැබීය. තවත් නිලධාරීන් පිරිසකට “පොලිස් දක්ෂතා පදක්කම” සහ සෙසු නිලධාරීන් සඳහා “ජනාධිපති ප්‍රශංසා” සහතික පත්‍ර ප්‍රදානය කෙරිණි. සම්මාන ලැබූ නිලධාරීන් 1132ක් අතරින් නිලධාරීන් 105 දෙනකු ඇගයීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. එම විශේෂ නිලධාරීන් පිරිස රහසිගතව සිටින බැවින් මාධ්‍ය හරහා අනාවරණය නොවිය යුතු නිසා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කර තිබිණ. මෙම රහසිගත නිලධාරීන් 105 දෙනා පෙර සඳහන් කළ කාණ්ඩ තුනම නියෝජනය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන ජනාධිපතිවරයාගේ සංකල්පය අනුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සංවිධානය කළ පළමු වටයේ සම්මාන ප්‍රදානයට පොලීසිය තෝරාගෙන තිබුණි. ඉදිරියේදී ත්‍රිවිධ හමුදාව, වෙරළාරක්ෂක බළකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රජා පොලිස් කමිටු සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ සැලසුමක් ඇති බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පැවසීය.

►සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ : ඉෂාන් සංජීව

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00