2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

පාසල් වෑන් රියේ දරුවන්ගේ ගමන කොහොමද?

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

වාහනවලින් පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී දරුවන් අනාරක්ෂිත වීමත් ඒ හරහා ඔවුන් අපයෝජනයට ලක්වීම, මත්ද්‍රව්‍ය වෙළෙඳාමට යොමුකරගැනීම හා මුදල් හම්බකරගැනීමේ ආසාව ඇතිකරවීමත් සිදුවන බව සඳහන් වෙයි. එනිසා පාසල් වෑන්රිය තුළදී දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද සඳහන් පුවත් වරින්වර පළවෙයි.

පසුගිය කාලයේ  මාධ්‍ය වාර්තා අනුව පෙන්නුම් කෙරෙන්නේ ඇතැම් අවස්ථාවලදී පූජ්‍ය පක්ෂයේ කිහිපදෙනකු ද ළමා අපයෝජන ඇතුළු ළමයින්ගේ අනාරක්ෂිත බවට වගකිවයුතු බවයි. විශේෂයෙන් සැලකිය යුතු ළමුන් පිරිසක් සිටින ළමා නිවාසවලදී පවා ආරක්ෂාව සහතික වී නැතැයි ද කියති. 

ළමයකු භෞතිකව, ලිංගිකව හා මනෝවිද්‍යාත්මකව අපයෝජනයට ලක්කිරීම, නොසලකාහැරීම හා අනාරක්ෂිත කිරීම දෙමාපියන් ඥාතීන් භාරකරුවන් විසින් සිදුකෙරෙමින් පවතී. ළමා නිවස්නවල, පාසල්වල හා භාරකාරීත්වයේ පවතින ස්ථානවලින් ද එවැනි සිදුවීම් වාර්තාවන අවස්ථා තිබේ.

අනිත් අතින් දරුවන් මෙහෙකාර සේවයේ යොදාගැනීම ද අප රට තුළ ඉතා රහසිගතව සිදුවෙමින් පවතී. පෞද්ගලිකව මා දන්නා මිතුරකු විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පාඩම් කටයුතු සිදුකරනු ලැබ තිබුණේ සිය ඥාතියාගේ නිවසේ සිට ඉතා දුෂ්කරව හා අසීරුවෙනි. ඔහුට ඥාතියාගේ දරුවාගේ සේවාවන් සැපයීමට සිදුවී තිබිණි. ඔහුගේම වයසේ පසුවන ඥාතී පුත්‍රයාගේ සටහන් ගෙන රහසින් විභාගය සඳහා මුහුණ දීමට ඔහුට සිදුවී තිබුණි. සිය නැන්දණිය ඔහුව තබාගෙන තිබුණේ මෙහෙකාරයකු ලෙසය. කතන්දරවල සඳහන් ආකාරයේ ළමා මෙහෙකාර සේවය මෙතරම් දියුණු නූතන ලෝකය තුළද සුලබව පවතී.

අනිත් අතින් පාසල් ප්‍රවාහනය හා අධ්‍යාපනය ලැබීමට යන අවස්ථාවන්වලදී ළමුන් අපහරණය හා අපයෝජනයට ලක්වීමේ සිදුවීම් අසා දැනගන්න අවස්ථා බොහෝය. විශේෂයෙන් ඇතැම් කුඩා ගැහැනු ළමුන් කුඩා අවදියේ අපයෝජනයට ලක්වීමේ අවදානම වැඩි වී ඇත්තේ මාපියන්ගේ වැඩ අධික රාජකාරීන් නිසා දරුවන්ට රැකවරණය දීමට නොහැකි වීමෙනි.

අනිත් අතින් කුඩා ළමුන් මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ කරවීමද අද සීඝ්‍රයෙන් පැතිර යන ව්‍යාධියක් බවට පත්ව තිබේ. සැර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බොහෝ විට කුඩා ළමුන් යොදාගැනීමේ ප්‍රවණතාවක්ද තිබේ.

සියලු වයස්වල ළමුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවන් ලෙස ජීවත් වීමේ අයිතිය, ඉගනීමේ හා වර්ධනය වීමේ අයිතිය තිබිය යුතුම අතර ඒවා ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, නොසලකා හැරීම, සූරාකෑම හා වෙන්කොට සැලකීම යන කාරණා නිසා සීමා නොවිය යුතුවේ. නමුත් මානසික, භෞතික හා ලිංගික හිංසන තවම ලංකාව තුළ වාර්තා වෙයි. නමුත් මේවා මාධ්‍ය හරහා වාර්තා වුවද දෙමාපියන්, දරුවන් හා භාරකරැවන් ළමා රක්ෂණය ගැන නොදැනුවත්වීම සහ ඒ සඳහා වන ප්‍රවේශයේ පැටලිලිසහිත ගතිය ළමා හිංසනය ඔඩු දිවීම සඳහා බලපා තිබේ.

ලංකාව තුළ ජාතික, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් ළමයින්ගේ ආරක්ෂාව සඳහා වන සම්බන්ධීකරණය ඉතා අවුල් සහගත තත්ත්වයක පවතී. UNICEF වාර්තාව පවසන පරිදි ශ්‍රී ලංකාවේ ළමා රක්ෂණය සඳහා වෘත්තිකයන්ගේ හිඟය, සම්පත් පැවතියත් ඒ සඳහා ප්‍රවේශවීමේ දුර්වලතාව සහ හිංසනයට ලක්වූ දරුවන් සඳහා වන කැපවීම අඩු මට්ටමක පවතී. ලංකාවේ දරුවන් සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ ඌනතාවක් ද පවතින බව එම වාර්තාව කියයි. බිම් මට්ටමින් ළමා හිංසනයක් කෙතෙක් සිදුවුණත් ඒවා සංස්කෘතිකමය හා සමාජමය සාධක නිසා අනාවරණය නොවීම ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිවැරදි දත්ත සඳහා පිවිසීමේ අවස්ථාව අහිමිකරන අතර එය නිවැරදි තක්සේරුවක් සඳහා වන ඉඩද අවම කර ඇත.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආරක්ෂාව ද ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බව අපට වාර්තා වේ. බොහෝ දියුණු රටවල්වල මෙවැනි දරුවන්ගේ රැකවරණය සඳහා ඉතා කඩිනමින් ක්‍රියාකළ ද අප තුළ ඒ තත්ත්වය අවමය.

ළමුන්ගේ ආරක්ෂාව සඳහා අපට සිදුකළ හැකි දේවල් බොහෝය. මේ සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන හා මානව සම්පත් කළමනාකරණය කිරීම ඉතා ඉක්මනින් කළ යුතුව ඇත. රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන හා පෞද්ගලික ක්ෂේත්‍ර සම්බන්ධීකරණයෙන් ළමා හිංසනය, අපයෝජනය හා ප්‍රචණ්ඩත්වයට දරුවන් යොමුවීමෙන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතුවේ. ජාතික මට්ටමින් ළමා හිංසනය පිළිබඳව වග දත්ත ඒකරාශී කිරීමට ඉතා ඉක්මන් හා ක්‍රමවත්ව කළයුතුව ඇත. සියලු ආකාරයේ සෑම තරාතිරමක පුද්ගලයකුට විරුද්ධව නීතිමය පියවර ගතහැකි වන ලෙස වගකීම් සහගත භාවයක් ඇති කිරීම ද නීතිමය බාධක පවතින්නේ නම් ඒවා ඉවත්කිරීම ද ඉක්මනින් කළයුතුව ඇත.

යුනිසෙෆ් ආයතනය පවසන්නේ ලංකාවේ බිම්මට්ටමේ ජනතාවගේ ආකල්ප වීම වඩා බොහෝ සේ වෙනස් වියයුතු බවයි. ඒ සඳහා රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීමද ඉතා වැදගත් බවත් එයින් ජනතාවගේ ආකල්ප සහ කල්පිත අදහස්වලින් ඈත් කළහැකි බවත් එම වාර්තාව පවසයි.

ළමයා යනු ප්‍රමාණයෙන් කුඩා වැඩිහිටියෙක් නොවේ. ළමයාට ඔහුට හිමි ළමා කාලය හා ළමා මානසිකත්වය නිසි අයුරින් ලබාදීම වැඩිහිටි පරපුරේ කාර්යභාරයයි. ඒ සඳහා ළමා හිංසනය, ප්‍රචණ්ඩත්වය, අපහරණය, අපයෝජනය, නොසළකාහැරීම, වෙන්කොට සැලකීමෙන් මුදා ළමුන්ගේ රැකවරණය සැලසීම සඳහා රාජ්‍ය, පෞද්ගලික, රාජ්‍ය නොවන, ප්‍රජාසහභාගීත්ව ඒකාබද්ධ වැඩපිළිවෙළවල් සැකසීම ද ඒ සඳහා වගවීමේදී වැඩිහිටි පරපුරේ කාර්ය භාරය විය යුතුවේ.

රාජ්‍ය මට්ටමින් ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ළමා පරිවාස දෙපාර්තමේන්තුව ද, ළමා රක්ෂණ අධිකාරිය ද, ළමා ලේකම් කාර්යාලයක් ද පවතී. පරිවාස දෙපාර්තමේන්තුව හරහා ළමා නිවාසවල ළමුන්ගේ රැකවරණය ආශ්‍රිත කටයුතු සිදුකරනු ලැබේ. ළමා රක්ෂණ අධිකාරිය යටතේ ළමා මෙහෙකාර සේවය, ළමුන් මත්ද්‍රව්‍ය සඳහා යොදාගැනීමෙන් වළක්වාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. ළමා ලේකම් කාර්යාලය හරහා මුල් ළමාවිය සංවර්ධනයට අදාළ කටයුතු සිදුකරනු ලැබේ. ඊට අමතරව රාජ්‍ය සංවිධාන ද, රාජ්‍ය නොවන සංවිධානද, ශ්‍රී ලංකා පොලීසිය ද, ප්‍රජා සිවිල් සංවිධානද ළමුන්ගේ රැකවරණය ඉටුකරනු ලැබේ. පෞද්ගලිකව පුරවැසියාගේද වගකීම වන්නේ අනාගතයේ බාරකරුවන්ගේ රක්ෂණය සඳහා කැපවී ක්‍රියාකිරීමේ දැඩි අවශ්‍යතාවයයි.

ශ්‍රී ලංකා ළමා රක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරන පරිදි ගිය වසර තුළ පළමු මාස 2 පමණක් අපයෝජනයට ලක්වූ ළමුන් සම්බන්ධ සිද්ධීන් 1532ක් වාර්තා වී තිබේ. ඒවා මානසික, ශාරීරික, ලිංගික හා නොසලකාහැරීම් ලෙස වර්ග කෙරේ. ඉන් බොහෝමයක් සිදුවීම් වාර්තා වෙන්නේ ශාරීරික හා මානසික අපයෝජනයන් ලෙසිනි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුර හා පුත්තලම යන දිස්ත්‍රික්වලින් මේ සිදුවීම් වාර්තා වෙයි. කෙසේ වුවද යහපත් තත්ත්වයන් වන්නේ ඒ සිදුවීම් දැනුම් දී තිබෙන්නේ 1929 යන විශේෂ දුරකතන අංකයට වීමය.

ළමුන්ගේ අනාගතය සියලු ආකාරයේ උපද්‍රවලින් බේරාගැනීමට තව තවත් ඉදිරියට අප කැපවිය යුතු බව සිත් තබාගැනීම වටී.

►එම්. ඉශාක්