2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

රිදී තිරයේ කුඹුරු කොටන ගොවි තාත්තා

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

සංගීතවේදී දර්ශන රුවන් දිසානායක මහතා විසින් නිර්මාණ කෙරෙන ගොවි තාත්තා නම් සිනමාපටයේ මුහුරත් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම ප්‍රරිශ්‍රයේදී පසුගියදා දිනෙක පැවැත්වුණි.
පොළොන්නරුව උණුගලාවෙහෙර ගම්මානය ඉතා සුන්දර ගම්මානයක් විය. ගැමියෝ ගොවිතැනින් ජීවත් වූහ. නමුත් අද වනවිට උණුගලාවෙහෙර ගම්මානයේ ජීවත් වන බොහෝ ගැමියෝ වකුගඩු තර්ජනයට මුහුණ දෙති.

මට මතකයි මගේ කුඩා කාලෙදී ගමේ හිටිය ගොවියෝ අපි දැක්කේ යෝධයෝ විදිහටයි. ඒ ගමේ යෝධ මිනිස්සු හිටියේ. ඒත් අද වෙද්දි ඒ යෝධ ගොවියෝ අපේ ගමේ නැහැ. බොහෝ දෙනෙක් වකුගඩු රෝගයට ගොදුරු වෙලා. අවුරුදු පහේ දරුවනුත් වකුගඩු රෝගයට ගොදුරු වෙලා කියලා ආරංචි වෙලා තියෙනවා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ දර්ශන රුවන් දිසානායක දේශයට පැවසීය.

ගොවි තාත්තා සිනමා නිර්මාණයට පදනම් වූ ගොවියා අඳ ගොවියෙකි. ඔහුට උණුගලාවෙහෙර ගම්මානයේ එකදු කුඹුරක්වත් අයිතිව නොතිබුණි. උණුගලාවෙහෙර වර්ග කිලෝමීටර් ගණනාවක වෙල් යායකින් සමන්විත වූ ගම්මානයකි. ඒ වෙල් යායේ හැම ලියද්දකම මේ අඳ ගොවියා වැඩ කර තිබුණි. වරෙක ඔහු තම ආදරණීය පුතණුවන්ට මෙසේ කියයි.

පුතේ මගේ එක දහඩිය බිඳුවක් මේ හැම ලියැද්දකම ඇති. හැබැයි මට එක ලියැද්දක්වත් අයිති නැහැ

ඔහු සමාජ අසාධාරණයට විරුද්ධව කතා කළේය. බොහෝම යුක්තිගරැකව ජීවත් විය. ඔහු සංගීතයට ලැදි විනෝදකාමී බොහෝ අව්‍යාජ මිනිසෙක් විය.

එක්දාස් නවසිය හැත්තෑ නවය අගභාගයේදී නව කෘෂිකාර්මික ප්‍රතිපත්තීන් ලංකාවට හඳුන්වා දෙනු ලැබීය. ඒ තුළින් ගොවීන් වගා කළ හීනටි, කළු හීනටි, සුවඳැල් වැනි වී වෙනුවට වෙනස් වී වර්ග ගොවීන්ට හඳුන්වා දුනි. එපමණක්ම නොව ඒවාට රසායනික තෙල්, පොහොර භාවිත කිරීමට ද අපේ ගොවියන්ට යෝජනා වුණි. ඒ හරහා ගමේ ගොවීහු අලුත් පොහොරවලට හුරැ වූහ. එහි ප්‍රතිඵලයක් වූයේ මේ විවෘත ආර්ථිකයත් සමඟ ගොවීන්ට ද ඒ ජීවන ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදුවීමය. අවසානයේදී මේ ගොවි තාත්තා ද වකුගඩු රෝගයෙන් ජීවිතක්ෂයට පත්විය.

ගොවි තාත්තා කුඹුරැ වැකඩවලට පුදුමාකාර දක්ෂයෙක් විය. ඔහු තරම් දක්ෂ ගොවියෙක් එකල පොළොන්නරුව උණුගලාවෙහෙර ගම්මානයේ නොසිටියේය. ඔහු අපූරු ගොවියෙක් විය. ඔහුගේ නම ප්‍රේමරත්න දිසානායක වුවද ගමේ කවුරැත් ඔහුව හැඳින්වූයේ උක්කුං මහත්තයා යනුවෙනි. ඔහු අඳ ගොවියකු වුවද කිසිම දවසක කුඹුරේදී කම්මැලියෙක් නොවීය. දිනකට ගොවියකු කරනා වැඩ කොටසකට වඩා වැඩි කොටසක් ඔහුගේ උදැල්ලෙන් සිදුවිය. මේ නිසාම ගමේ කුඹුරැ හිමියෝ මේ අඳ ගොවියාට තම කුඹුරැ භාර දීමට කැමැත්තක් දැක්වූහ.

පොහොර හඳුන්වා දුන් කාලේදීත් ඔහු ගොවි සංගම් සමඟ ඒ වෙනුවෙන් ගැටුණේය. නමුත් ඔහු අඳ ගොවියකු වූ හෙයින් ඒ සෑම මොහොතකම ඔහුට සිදුවූයේ පරාජය පිළිගැනීම පමණි.

මට මතකයි තාත්තා යූරියා පොහොර අරගෙන කුඹුරට යනකොට අපිට ඒවා අතින් අල්ලගන්න හිතෙනවා. ඒ හැම මොහොතකම තාත්තා අපිට කිව්වේ ඒවා අල්ලන්න එපා. ඒවා විස කියලයි.

දර්ශන ඒ අතීතය නැවතත් මතක් කළේය.

අඳේට කුඹුරු ගෙන ගොවි තාත්තා වැඩ කරද්දී ඔහුට ද මේ අලුත් ක්‍රමවේදයට නතු වෙන්නට සිදුවිය. අකමැත්තෙන් හෝ ඒ ක්‍රමවේදයට කුඹුරැ වැඩ කිරීමට සිදුවිය. ඔහු වක්කඩෙන් වතුර පානය කිරීමට බොහෝ කැමති ගොවියෙකි. එකල බාල්දියකින් කුඹුරට පොහොර ඉසූ ගොවි තාත්තා කල්යත්ම ට්‍රැක්ටරයකින් ඒ කුඹුරටම පොහොර ඉසිනා තත්ත්වයටම ඒ ගම පරිවර්තනය විය. වර්තමානයේදී වක්කඩකින් වතුර ගෙන බලද්දී ඒ වතුරේ තෙල් තට්ටුවක් දැකගත හැකි විය. නමුත් එකල ගොවි තාත්තා වතුර බීවේ ඒ වක්කඩවලිනි.

දර්ශන රැවන් දිසානායක යනු සංගීතඥයෙකි. සමනල සංධ්වනිය ඇතුළු බොහෝ නිර්මාණවලදී ඔහු සංගීතයෙන් සහය විය. ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙකි. ඔහු මේ ගොවි තාත්තාගේ ආදරණීය පුතණුවන්ය. ඒ නිසාම ගොවි තාත්තාගේ ඉතා සංවේදී හැඟීම් දැන සිටින්නේ දර්ශනම පමණි.

මගේ ජීවිතේ තියෙන අත්දැකීම් එක්ක ගොවි තාත්තා අධ්‍යක්ෂණය විය යුත්තේ මගෙන්මයි කියලා මට හිතුණේ. මුලින්ම මේ සඳහා අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක් ගැනම මට අදහස් පහළ වුණා. නමුත් ගොවි තාත්තා අධ්‍යක්ෂණය කරන්න මමම තීරණය කළා. මම මෙතෙක් කරපු සමහර නිර්මාණවලදී මගේ හිතේ කැමැත්තට අනුව සංගීතය සපයන්න බැරි වුණා. අනුන් යටතේ කරපු බොහෝ නිර්මාණවලදී මට ඕන දේ කරන්න බැරි වුණා. ඒ හැම දෙයක්ම කල්පනා කරලා මම ගොවි තාත්තා අධ්‍යක්ෂණය කරන්නත් සංගීත නිර්මාණ කරන්නත් තීරණය කළා. ඒ හරහා මගේ තාත්තාට සාධාරණයක් කරන්න පුළුවන් වේවි. සංගීත අධ්‍යක්ෂවරයා සමාජය ගැන, ලෝකය ගැන යම් ප්‍රමාණයක අවබෝධ කරගන්න ඕනෑ. සංගීත නිර්මාණකරැවකුට අනිත් විෂයන් හරහා විනිවිදව ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඔහුගේ සිතීමේ ශක්තිය ආලෝක ශක්තියට වඩා වැඩියි. සංගීත අධ්‍යක්ෂකවරයකුට මේ ලෝකේ එතෙක් මෙතෙක් බිහිවුණ හැම විෂයක් හරහා ගමන් කිරීමට පුළුවන්කම තියෙනවා. ඒ නිසා සිනමාව තුළ සංගීතය කියන්නේ ප්‍රබල මාධ්‍යයක්. යැයි දර්ශන රුවන් දිසානායක පැවසීය.

ගොවි තාත්තා සිනමා නිර්මාණය රෑගත කිරීම් ළඟදීම ආරම්භ කිරීමට නියමිතය. මෙහි රූගත කිරීම් සිදුවන්නේ ද පොළොන්නරුව ප්‍රදේශයේමය. ගොවි තාත්තා ජීවත් වූ කාලයේදී පොළොන්නරුවේ තිබූ ඒ පාට, හැඩය, ඒ මිනිස්සුන්ගේ රූප ඇත්තේ ද ඒ වටපිටාවේමය. එකල පොළොන්නරුව තිබූ පරිසරය සඳහා මැදිරිගිරි ප්‍රදේශයේ ද පරිවර්තනය වූ පොළොන්නරුව සඳහා වත්මන් පොළොන්නරැ නගරයේද රූගතකිරීම් සිදු කිරීමට නියමිතය.

මේ දිනවල ගොවි තාත්තා ප්‍රධාන භූමිකාව සඳහා නම් කිහිපයක්ම නිර්දේශ  වෙමින් පවතී. ඒ අතරින් ගොවියකුගේ චරිතය නිරෑපණය කිරීමට ඇතැම් කලාකරුවෝ මැලිකමක් දැක්වූහ. ඔවුහු එය මදිකමක් සේ දුටූහ. නමුත් ගොවි තාත්තා වෙනුවෙන් මෙරට ඉතා ජනප්‍රිය මෙන්ම දක්ෂ කලාකරුවකුට ආරාධනා කර ඇත. නොබෝ දිනකින් ඔහු ගොවි තාත්තා වනු ඇත.

ගොවි තාත්තා කැමරාකරණයෙන් නිශාන්ත ප්‍රදීප් සහය දක්වන අතර චිත්‍රපටයේ උපදේශකවරයා ලෙසින් ආචාර්ය සුනිල් රණසිංහ දායකත්වය ලබා දේ. කතාව දර්ශන රුවන් දිසානායක වන අතර තිර රචනය අනුර රත්නවීරගෙනි. මෙම සිනමාපටය නිෂ්පාදනයෙන් දායක වන්නේ කාබනික පොහොර පමණක් භාවිත කරමින් ගොවිතැන් කරනා ගොවියෙකි. ඔහු සතුන්ට වෙනම වගා කරයි. නමින් ඔහු සරත් බණ්ඩාර කොක්වැවය.

ගොවි තාත්තා චිත්‍රපටය මුහුරත් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ජනාධිපතිතුමා මට මේ නිර්මාණයට ආශිර්වාද කරන්නේ දේශපාලනඥයෙක් හැටියට නෙවෙයි. දේශපාලනඥයකු විදිහට එන කිසිම කෙනකු මම මගේ සිනමා නිර්මාණ වෙනුවෙන් භාවිත කරන්නේ නැහැ. මට දේශපාලන පක්ෂයක් නැහැ. එතුමා මේ ගොවි තාත්තාගේ මිත්‍රයෙක්. ඒ වගේම එතුමා ගොවියෙක්. එතුමා මේ උත්සවයට පවා ආවේ බොහෝම අව්‍යාජ ගොවි මහත්මයෙක් හැටියට මිසක් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන නායකයෙක් හැටියට නෙවේ.

දර්ශන රුවන් දිසානායක පැවසීය.

දැන් සියල්ල සූදානම්ය. අවසන් වූ තිරපිටපතක් ද ඇත. තව නොබෝ දිනකින් පොළොන්නරු ප්‍රදේශයේ ජීවත් වූ අව්‍යාජ ගොවි තාත්තා කෙනකුගේ කතාව සිනමා නිර්මාණයක් බවට පෙරළීමට නියමිතය.

 දිශානි ජයමාලි කරුණාරත්න