2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

පටිබිම්බ වාර්ගික ගැටුමේ ඉතිහාසයට පෙරවදනක්

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

ලිඛිත ඉතිහාසය යනු හැමවිටම ප‍්‍රබන්ධයකි. එහෙයින් මහාවංශය, දීපවංශය, ථූපවංශය, බෝධිවංශය ආදී සියලු වංශකතාවන් ප‍්‍රබන්ධයන්ම වෙයි. මහානාම දුනුමාලගේ පටිබිම්බද සිංහල ජනවංශයෙන් උපුටාගත් කිසියම් කොටස් ගොඩනැඟීම් ද්‍රව්‍යයන් ලෙස භාවිත කරමින් ගොඩනඟනු ලබන රසාලිප්ත ප‍්‍රබන්ධයකි. එය ජනවර්ගයන් අතර ගැටුම් පිළිබඳ ඉතිහාස කතාවක් නොවේ. සිංහල ජනවංශයෙන් තෝරාගත් කිසියම් චරිතයක් වීරයෙකු වශයෙන් උහා තැබීම සඳහා ලියන ලද සිංහල සාහිත්‍යය තුළ බහුල චරිත සහතිකයක් ද නොවේ. තමන් වටා වන මහා මනුෂ්‍ය ජීවිතය තුළ සවිඥානිකව සැරිසැරීමේදී තමන් විසින් පසක්කර ගන්නා ලද සමාජ ධර්මතාවන් උද්ධරණය කොට දැක්වීම සඳහා වංශකතාකරුවකු විසින් අනුගමනය කරනු ලබන ක‍්‍රමවේද නවකතාකරුවකුට කැප නැත. ඉතිහාස ප‍්‍රබන්ධකයාගෙන් පාඨකයා සිදුවීම් සහ චරිත නිරෑපණයන්හි හේතුඵල සම්බන්ධයන් ඉල්ලා නොසිටිය ද නවකතාකරැවාගෙන් ඔවුහු ඒ සියල්ල ඉල්ලා සිටිති. එහෙයින් තමන් විසින් උද්ධරණය කරනු ලබන සමාජ ධර්මතාවන් ලෝකය හමුවේ විදාරණය කිරීමේදී මහානාම දුනුමාලට මෙතෙක් නවකතාකරැවන් විසින් අනුගමනය කරන ලද්දා වූ රටාවන්හි පිහිටා සිටීමට අමතරව එම රටාවන් අතික‍්‍රමණය කිරීමටද සිදුවීම අමුතු දෙයක් නොවේ. එය සියලුම නවකතාකරුවන්ට පොදු වූවකි. කිසියම් නවකතාවක් සැබැවින්ම නවකතාවක් වන්නේ උක්ත අතික‍්‍රමණයන් අත්‍යන්තයෙන් සාර්ථක වන කල්හිය.

පටිබිම්බ කායික වශයෙන් දීර්ඝ නවකතාවක් නොවූවද එහි අභ්‍යන්තරික කාය පරම්පරා තුනක් නියෝජනය වන දීර්ඝ එකකි. කලක් රත්නපුරය දක්වා විහිදුණු පුංචි කෝච්චි පාරේ කරවනැල්ල දුම්රිය පොළ ගොඩනැගීමේ නියැලී සිට හදිසියේ එගමින් පෙළවාසියක් කරගෙන ගම් බලාගොස් අලුත් ජීවිතයක් පටන් ගන්නා සුරබියෙල්ගේ මරණයෙන් පසු වසරක් ගෙවුණු තැන ඔහුගේ මුනුබුරැ ප‍්‍රභාත් කුසුම්සිරිගේ අතීතාවලෝකනයක් සමඟ නවකතාව ආරම්භ වෙයි. ඒ අනුව එය තම පරපුර ලාංකීය සමාජ දේශපාලන සන්දර්භය තුළ නිරෑපණය කළ චරිතය කවරේදැයි එම පරපුරේ තුන්වන පුරුකක් විසින් කරන ලද ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසින් දුනුමාල පටිබිම්බ සිංහල නවකතා වංශය තුළ ස්ථානගත කරයි. එහෙත් පරපුරේ ඇත්තෙකුගේ ඇස පරපුරේ වීරත්වය මිස යථා ස්වභාවය දකීද, යන ගැටලුව අප තුළ මතුවීම වළකනු වස් ලේඛකයා අපූර්ව කතා උපක‍්‍රමයක් අපට හඳුන්වා දෙයි. ඒ කතාකියන්නා යන අදෘෂ්‍යමාන චරිතයයි. සුරබියෙල්ගේ පරපුරේ කැපී පෙනෙන සහ තීරණාත්මක විභේදනයන් කතා කියන්නා අසල රැකෙක හෝ බැද්දක සිට බලාහිඳ අප වෙත වාර්තා කරයි. නවකතාව උඩරට කඳුකරයේ අලුත් ගම්මානයක් සහ අලුත් පරම්පරාවක් බිහිවීමෙන් ආරම්භව එකී මානව පරම්පරාවට මුහුණ දෙන්නට සිදුවන මානව හා දේශපාලන විපර්යාසයන් තුළ එකී පරම්පරාවන්ගේ හැඩරුව තීන්දුවන ආකාරය පිළිබඳව පාඨකයා ඇසින් දුටු සාක්ෂිකරුවකු බවට පත්කරයි. එහිදී ඇසින් දුටු සාක්ෂිකරැවා හෙවත් කතා කියන්නා නමැති අදෘෂ්‍යමාන චරිතය තුළට පාඨකයා පිවිසුවා ඔහුද කතාව තුළ සක‍්‍රීය චරිතයක් බවට පත්කිරීමට ලේඛකයා සමත් වෙයි. අන් නවකතා හා සසඳා බලන කල්හි පටිබිම්බ තුළ මා දකින සුවිශේෂ බව එයයි. මේ සුවිශේෂත්වය විසින් පටිබිම්බ කියවන පාඨකයා තම තමන්ගේ පරම්පරාවන් සහ තමන් වෙසෙන භූ දේශපාලන සන්දර්භයන් නැවත කියවා බැලීමකට පොළඹවයි. මෙය බොහෝ සිංහල නවකතාවන්ගෙන් අප නොදකින තත්ත්වයකි.

&අවුරැදු අසූ ගණනක් තිස්සේ සුරබියෙල්ගේ පරම්පරාව ඔවුන් ගැවසෙන තැන්වල සිට නිරීක්ෂණය කරන කාලත‍්‍රයේ සැරිසරන්නෙකු වූ කතා කියන්නාද බැදි දෙල් ගසක දෙබලක වාඩි වී සියල්ල බලා හිඳිමින් කරැණු දෙකක් වටහා ගත්තේය. එකක් තමන් නිරීක්ෂණය කරන සුරබියෙල්ගේ පරම්පරාවේ කතාව ඉදිරියේදී වඩා සංකීර්ණ විය හැකි බවයි. අනෙක සුරබියෙල්ගේ පටිබිම්බය (පිළිබිඹුව) සේ ප‍්‍රභාත් කුසුම්සිරි බිහි වනවිට තෝමස් වේරගමගේ පටිබිම්බය සේපාල වේරගම බවයි.” නවකතාවේ මෙම අවසාන ඡේදය විසින් ලේඛකයා අන් සිංහල නවකතාකරැවන්ට වෙනස්ව යමින් කරන්නේ කුමක්ද? පාඨක අපට ‘ගෙදර වැඩක්’ දීමය. මෙතැන් පටන් අපටද උක්ත කාලත‍්‍රයේ සැරිසරන්නාගේ චරිතය භාර ගන්නට සිදුවෙයි. තමන් ජීවත්වන සමාජය පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකරැවකු බිහිවීමට දායකවීම මහානාම දුනුමාලගේ නවකතාවේ ප‍්‍රධානතම නොපෙනෙන ලකුණ සේ මම දකිමි.

රාජ්‍යයක් වශයෙන් ලංකාව තමන්ගේ උණුසුමෙහි වෙසෙන විවිධ ජනවර්ගයන්හි දක්ෂතා සහ කුසලතා නිසිපරිදි කළමනාකරණය කර ගැනීමට අපොහොසත්වීම තුළ අසාර්ථක භාවයට සහ ලෝකාපවාදයට භාජනය වූ රටකි. එපමණක් නොව, එය එකී අසාර්ථකභාවය පවත්වාගෙන යාමට දායකවන්නන් ජාතික වීරයින් බවට උත්ථානය කරන රටකි. එවන් රටක් විසින් ජාතික වීරයින් නිෂ්පාදනය කෙරෙන අන්දම පටිබිම්බ තුළ නිරූපිතය. නිදහසින් පසු සුද්දා අතින් දේශපාලන බලය ලබාගත්තේ ගමින් කොළඹට සංක‍්‍රමණය වී යටත් විජිත යුගයේ විවිධ වෙළහෙළඳාම් මගින් බිහිවූ අලුත් සල්ලිකාරයින්ගේ දරැ පරම්පරාවන්ය. මේ අලුත් නිදහසේ වීරයින්ගේ උත්පත්තිය මෙම නවකතාවේ තෝමස් වේරගමගේ චරිතයෙන් ලේඛකයා නිරෑපණය කරන්නා සේම ඔවුන්ගේ අනාගත වීර ක‍්‍රියාවන් ප‍්‍රාදේශීයව ව්‍යාප්ත කරන බලවේගයන් සේපාල වේරගමගේ චරිතයෙන් නිරෑපණය කිරීමෙන් නගරයේ වීරත්වය ගමට කාන්දුවීමේ හාස්‍යජනක කතාන්තරයද පෙන්නුම් කෙරෙයි. පටිබිම්බ කියවා අවසන් කරන්නා තමන්ටත් නොදැනීම නවකතාව තුළ සාකච්ඡා වූ ඓතිහාසික කරැණුවලට අමතරව තමන් දන්නා කරුණු අතරේ මේ චරිතයන් සෙවීමට පෙළඹීම ස්වභාවිකය. එය සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. එකී සාමාන්‍ය මිනිස් ස්වභාවය ඔස්සේ ඔහු අසාමාන්‍ය ගවේෂණයකට පෙළඹවීමට මහානාම දුනුමාල පටිබිම්බ තුළින් සාර්ථක උත්සාහයක යෙදෙයි. 

පරම්පරා තුනක් යනු දීර්ඝ කාලඡේදයකි. එය ප‍්‍රබන්ධයක් තුළට ගැනීමේදී පරිසර වර්ණනා, සංවාද භාෂාවන් සහ කාලීන සිතුම් පැතුම් ඉතා සියුම්ව සිය අත්උදව්කරැවන් බවට පත්කර ගැනීමට ලේඛකයෙකුට මනා ඉවසීමේ ගුණයක් සහ සංවේදී බවක් පැවතිය යුතුය. බොහෝවිට බොහෝ තැන්වලදී ලේඛකයා ඒ වග පෙන්වූවත් ඇතැම් අවස්ථාවන්හි එකී ගුණයන් හීනව ගිය අවස්ථාවන්ද දක්නට ලැබෙයි. එහෙයින් ශිල්පීය පක්ෂයට දරන ලද අවධානය ඒ පිළිබඳවද යොමු වී නම් යහපතැයි සිතමි.
පටිබිම්බ ෆාස්ට් පබ්ලිෂිංහි සුරස පොතකි.

 ආරියවංශ අබේසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00