2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

බූරුවෙක් මිනී මරයි....

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 173

කිලෝමීටර් 40ක් තරම් දුර කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ මෙම අර්ධද්වීපය හරහාය. ඉන්න හිටින්නට කැලෑ රොදක් හෝ සුදුසු වාසස්ථානයක් නොවන බූරුවෝ දවසේ ඕනෑම වෙලාවක මහමඟ දැකිය හැකිය. මේ නිසා කල්පිටිය ප්‍රදේශයේ රිය අනතුරු රැසකට ප්‍රධාන හේතුව බූරුවන් බව සඳහන් වේ.

රිය අනතුරු රැසකට හේතු සාධක වූ බූරුවන් නිසා ඉකුත් නිදහස් දා (4) පෙරවරුවේ පළමු මාරක අනතුර වාර්තා වූයේ කල්පිටිය වෙල්ලන්කරේ පල්ලිය අසලදීය. එහිදී තරුණයෙක් ගමන් ගත් යතුරුපැදියක් මාර්ගය හරහා ගිය බූරුවකුගේ සිරුරේ ගැටීම නිසා යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන තිබේ. එහිදී බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත් විය.

අනතුරින් මියගිය මොහොමඩ් අල් හම්රා 18 හැවිරිදි වියේ පසු විය. ඔහු නිවසින් පිටත්ව තිබුණේ මිතුරකු මුණගැසීමටය. වෙල්ලන්කරය පල්ලිය පසුකරමින් රෙඩ්බානා අතුරු මාර්ගයේ ධාවනය කළ යතුරුපැදිය ඉදිරියෙන් බූරැවකු පැනීම අනතුරට හේතු වී තිබේ. වේගයෙන් ආ යතුරුපැදිකරුට රථය පාලනය කරගන්නට වේලාවක් තිබී නැත. ක්ෂණයකින් බූරුවාගේ ගැටුණු යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන විසි වී ගොස් තිබුණි. බරපතළ තුවාල ලබා සිටි තරුණයා රෝහල්ගත කළද ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණේ කල්පිටිය අර්ධද්වීපයේ බූරුවෙක් නිසා රිය අනතුරකින් සිදු වූ පළමු මරණය වාර්තා කරමිනි.

මීට ඉහතදී නිදැල්ලේ යන බූරුවන් නිසා කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ හා අතුරු මාර්ග රැසක අනතුරු ගණනාවක් සිදුව තිබේ. පාපැදි, යතුරු පැදි, ත්‍රීවිල් රථවලට අමතරව සෙසු වාහන රැසක් ද එසේ අනතුරට පත්ව ඇත.

දින කීපයකට ඉහතදී ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් හරහා මාර්ගයේ දිව ගිය බූරුවකුගේ ඉදිරිපස කොටස ත්‍රිරෝද රථයට ඇතුළු වීම නිසා ත්‍රිරෝද රථය පෙරළී අනතුරට පත්ව කිහිපදෙනෙක් තුවාල ලැබූහ. ඊට ඉහතදී ද කාර් රථයක් පාර හරහා පැන්න බූරුවකුගේ ගැටීම නිසා එම රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබිණ. මේ අතර ප්‍රදේශයේ රාජකාරි කටයුත්තක් සඳහා යමින් තිබූ පොලිස් ජීප් රථයක ගැටුණු පාර හරහා පැන්න බූරුවෙක් විරුද්ධ පසින් ආ ලොරි රථයකට යට වී තුවාල වී මරණයට පත්වී තිබුණි.

මේ ආකාරයට පාරේ සිදුවන විවිධාකාර අනතුරු නිසා රථවාහනවලට සිදුවන අලාභ හානි විශාලය. තුවාල ලබන මිනිසුන් මෙන්ම බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වන බූරුවන් ගණන ද ඉහළය.

කල්පිටිය ප්‍රදේශයට ආවේණික බූරුවන් පිළිබඳ නියමිත සංගණනයක් කොට නැතත් වාර්තා වන පරිදි මේ වනවිට ජීවත් වන බූරු ගහණය 500ට අඩුය. එබැවින් එම සත්වයන් සංරක්ෂණය කළ යුතු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. කල්පිටිය ප්‍රදේශයේ හදිසි අනතුරු රැසකට හේතු වී ඇති බූරුවන් ප්‍රදේශයේ ජනතාවට, මගීන්ට හිරිහැරයක් බවට පත්ව තිබේ.

මේ අයුරින් ප්‍රධාන මාර්ගයේ සහ ජනාකීර්ණ ස්ථානවල බූරුවන් ගැවසීමට හේතු කීපයකි. වර්තමානයේ කලපු ආශ්‍රිත භූමියේ බූරුවන්ට සුදුසු ඉඩකඩ සීමිතය. බුදින්නට තණකොළ හිඟය. ආහාර සොයා යාමට එන සතුන් මිනිසුන් ආහාරයට ගන්නා සහ ඉවතලන ඕනෑම ද්‍රව්‍යයක් සහ පෝස්ටර් පාප්ප වැනි දෑ ආහාරයට ගනිති. ඉස්සන් කොටු සඳහාත් වෙනත් ධීවර අවශ්‍යතා සඳහා භූමිය වෙන් කිරීම නිසා ඔවුන්ගේ වාසස්ථාන අහිමි වී තිබේ.

විශාල ප්‍රදේශයක් පුරා පැතිරී ඇති නොරොච්චෝල විදුලි බලාගාරය නිසා ද බූරුවන්ට විශාල ඉඩකඩක් අහිමි කර තිබේ. එමෙන්ම ආරක්ෂක අංශ සඳහා භාවිතයට ගන්නා වෙඩි පිටියක් සඳහා විශාල භූමියක් වෙන්කර ඇති බැව් දැකිය හැකිය. දිනෙන් දින ඉදි කරන ගොඩනැගිලි හා කැලෑ එළිපෙහෙළි කිරීම නිසා ද තවදුරටත් බූරුවන් ගම්වැදීම හා ප්‍රධාන මාර්ග දෙපස රැඳී සිටීම නොවැළැක්විය හැකි හේතුවක් වී තිබේ.

බූරුවන් ගෘහ ආශ්‍රිත සතුන් ගණයට අයත් වන බැවින් වනජීවී පනතින් බූරුවන්ට රැකවරණයක් නොලැබෙන බව කියති. ඒ බව වන සත්ව හා වෘක්ෂ ලතා ආඥා පනතේ 11 වැනි වගන්තිය මගින් පැහැදිලි වේ. මේ ආකාරය‍ට බූරුවන් පිළිබඳව තැකීමට හෝ සුරැකීම කිසිදු රාජ්‍ය ආයතනයක් නොමැත. පරිසර හිතවාදීන් සහ සත්වවේදීන්ගේ අවධානය කල්පිටිය බූරුවන් වෙත යොමු වුනොත් බූරුවන්ට එය ආරක්ෂාවක් වනු ඇත.

සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා සහ සේයාරූ
කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00