2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

කඳු පන්තිය බලාගෙන ඉදිවර ඇල්ලීම

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 499

කළුව බොක්ක වරායේ ධීවරයෝ සිය ඔරු ගමන ඇරඹෙන්නේ අරුණාලෝකය බටහිර වෙරළ සිපගන්නට කලියෙනි. මේ කණිසමේදී අලුත තැනූ වාරකන් ඔරුව සුබ නැකතින් සිය මංගල ගමනට සූදානම්‍ව තිබේ.

මේ ඔරැවේ ගමන් කරන ධීවරයෝ සය දෙනෙකි. තණ්ඩලේ මේ ඔරු ගමනේ ප්‍රධානියාය. හේ ඇතුළු පිරිස මේස් බැනියම් සහ දෙපට දැමූ සරම් ඇඳ සිටියෝය. හිසේ රැවාගත් ජටාවක් හෝ පන් තොප්පියකි. මේ ගමනේ දී ඔවුන් ගෙන යන අඩුම කුඩුම අතර අනිවාර්ය අංගයක් වූයේ කොළපතේ බැඳි බත් ගෙඩිය සහ වීදුරැ වතුර බෝතලයයි.

අවට සිටි ඔරුකරුවන්ද මේ ඔරුවේ ගමන් ගන්නා ධීවරයෝ ද එකතු වී ඔරුවේ වියල්වලට පිටදී නමෝවිත්තියෙන් වෙරළේ තිබූ ඔරුව සයුරේ රළ මතට තල්ලු කළෝය. ඉනික්බිති තණ්ඩලේ ඇතුළු පිරිස ඔරුවට ගොඩවූහ. ගල්පර බේරාගෙන යන ගමනේ පළමු කොටස යන්නේ හබල්වල ආධාරයෙනි. අපූරුවූත් කුඩාවූත් කළුව බොක්ක වරායේ දියකඩනය වූයේ ස්වාභාවික ගල්පරයකි. ස්වභාව ධර්මයා විසින්ම නිර්මිත අපූරු කඩමත්තක් ද මෙහි තිබිණි. සීරුමාරුවට හබල් ආධාරයෙන් කඩමත්ත පැනගන්නා අලුත් වාරකන් ඔරුවේ ධීවරයෝ මඳදුරක් යනවිට හනිකට රුවල් දැමීම ඇරඹති.

ඔරුවල් ගැසූ පසු වාරකන් ඔරුවේ වේගය වැඩිය. ගමන ඉක්මන්ය. ඒ වේගය නැව් පරයන බැව් පැරැන්නෝ කියති. තණ්ඩලේ ඔරු ගමන හසුරුවයි. රුවල් නිසි ලෙස වෙනස් කොට යා යුතු දිශාවට ඔරුව ගෙන යන්නේ ඔහුය. නැවක කපිතාන් සුක්කානම හැසිරවීමේ දක්ෂයකු විය යුතු පරිද්දෙන් වාරකන් ඔරුවේ තණ්ඩලේ පල්ල මනාකොට හැසිරවීමට දැනසිටිය යුතු විය. පල්ල යනු බඹයක් පමණ දික්වූ ලෑල්ලකි. එය පයෙන් පාගා ඒමේ අත රුවල් හැරවිය හැකි විය. ඒ මත ඔරුවේ ගමන්මඟ දිශානතීය තීරණය විය.

අද මෙන් සැටලයිට් රේඩියෝ උපකරණ තබා මාලිමාවක්වත් මෙකල ඔරුකරුවන් සතු නොවීය. වෙරළ සිට බැලූ කල තනියායට මහා සාගර දිස් වූවද ගල්පර මෙන්ම බොහෝ අවදානම් දෑ මහ සයුරේ තිබේ. ඒ සියල්ල මැඩ රුවලේ සවියෙන් යන මේ ගමනට විසල් දැනුමක් තණ්ඩලේ ඇතුළු ධීවරයන් සතුවිය. එය පාරම්පරික ඔවුන්ට උරැමයකි. ගල්පර ඉදිවර සියල්ල මනාකොට දැනසිටියේ තණ්ඩලේය.

මසුන් අස්වනු ඇති තැන්ද අවදානම් තැන්ද තණ්ඩලේ හඳුනා ගත්තේ ඉදිවර ඇල්ලීම තුළිණි. ඔරු ගණනේ ඉදිවර ඇල්ලීම ගැන පුවත අපූරුය. ඒ තතුද අප හමුවේ හෙළිකරන්නේ ජයමුණි ලැම්බට් සිල්වා මහතාය. සාගරයේ රළ මතින් රුවල් ඔරුව ඉදිරියට යනවිට ගොඩබිම පෙනෙන අයුරු චමත්කාරජනකය. ලක්දෙරණේ සුන්දරත්වය මොනවට විදහාපාන මේ මොහොතේ උස්වූ කඳු මුදුන් බොහෝමයක් අප ධීවරයන් නෙත ගැටේ. ඉදිවර ඇලීම සිදුවන්නේ මේ කඳු පංති ඇසුරු කරගෙනය. එම සාස්තර මනාකොට දැන සිටියේ තණ්ඩලේ විසිනි. මෙය සංකීර්ණ ක්‍රියාදාමයකි. එය ඔබ වෙනුවෙන් යම් පමණකට හෝ පැහැදීමට අපි වෙරදරමු.

කළුව බොක්ක වරායෙන් පිටත්වූ රුවල් ඔරුකරුවන්ට උතුරේ සිට දකුණට දිස්වන කඳුපෙත මෙසේය. මුලින්ම දිවන්නේ සුදු කන්ද ඉන්පසුව හූමල කුට්ටිය, චෝරුම්ලේ, ලොකු කපල්ල, පුංචි කපල්ල, නාගියා කපල්ල, කුදිර කපල්ල, අලි කපල්ල, දික්කන්ද, කුළුමස් මුහුද, හිනිදුම කන්ද, පුංචි කැලෑගැටිය, ලොකු කැලෑගැටිය කඳු පංති දිස්වේ. ඉදිවර ඇල්ලීම සිදුන්නේ මේවාට තබාය. උදාහරණයක් ලෙස හූමල කුට්ටිය බේරුවල වෙල්මාව හෙවත් ප්‍රදීපාගාරය කෙලින් අල්ලා අනෙක් පසින් කැලෑගැටිය හිනිදුම හේත්තු වී පෙනෙන තැන එතැන බේරුවල් මුහුදේ ගල් පරයක් හමුවේ. මෙසේ දර්ශනයක් ලබා ගැනීමට ඔවුන් රුවල් ඔරුවේ උතුරු දකුණට හෝ දියඹට යත්‍රා කළ යුතුය. මෙය යම් ජ්‍යාමිතික ක්‍රමවේදයකි. පැරැන්නන්ගේ පාරම්පරික ඥානයේ විශිෂ්ටත්වය මෙන්ම අපූරත්වය මෙයින් විදහාපායි. මේ ආදී වූ පැරණි තාක්ෂණයන් පිළිබඳ තතු අප තබා අද බොහෝ ධීවරයෝද නොදනිති.

රුවල් ඔරුවේ ගමන සැතපුම් විස්සක් විසිපහක් ඈතට දිවයයි. ඔවුහු සුළඟ ජයගත්හ. සුළං හමන අතට නොව සුළඟේ බලයෙන් ඔවුනට ඕනෑ අතට ඔවුහු යාත්‍රා කරති. රුවල් බැඳි වාරකන් ඔරුව වෙල්මාව මුවා වී ප්‍රදීපාගාරයේ සුදු චිමිනිය යාන්තමට පෙනෙන සීමාටම ඔවුහු යාත්‍රා කරති. ගොඩබිමේ කඳු පංති සම්පූර්ණයෙන්ම නොපෙනී යන පරිදි ඈත දියඹට ඔවුහු නොයති. පන්න කිරීමේදී ඇතැම්විට ඇමවල් රැගෙන යන අතර ඇතැම්විට ඇමවල් මරාගනී. අලගුඩුවෝ, බලයෝ වැනි මාළු මැරීම ඒ අනුව සිදුවේ. මුදුදේදී කලමීයන් මැරීමද ගල් පරවල ඉදිවර ගල්මාළු පරව් ආදී මාළු ඇල්ලීම සිදුවේ. මෙසේ අල්ලන මාළු සියල්ලම වාරකන් ඔරුව තුළට දමා ගැනීම සිදුවේ. ප්‍රමාණයෙන් විශාල තලපත් සහ කොප්පරා වැනි මාළු අල්ලා ගන්නට අවස්ථාවන්ද මෙම රුවල් ඔරු ගමනේ දී උදාවේ. එවිට එම මාළු ඔරුවට ගැටගසා ඇදගෙන ඒම සිදුවෙයි.

උදෑසම ඔරු ගමන පිටත්වුවද මද්දහන විට හිරුරැස් තදවේ. පන් තොප්පිය පිහිටට එන්නේ මේ මොහොතේය. ඔරුවේ සිටින ධීවරයෝ දිවා ආහාර ගෙන ගියද එය කෑමට ගන්නේ කලාතුරකිනි. කොළපතේ බැඳි බත්මුලේ පිළී ජාති නොවේ. කුසගින්න වැඩි වුවහොත් ඔවුහු බත් ගෙඩියෙන් කටක් දෙකක් කා ඉතිරිය ඔතා තබති. එය පසුව සැඳෑවේ අඹුදරුවන්ගේ කුස ගිනි නිවීම වෙනුවෙනි.

මෙම වාරකන් ඔරු වළාල මාසවලදී හැන්දෑවේදී සිය රාජකාරි පිණිස පිටත්වෙන අවස්ථා තිබේ. හිරු අවරට යන්නට කලියෙන් ඔවුහු එවන් ගමන් පිටත්වෙති. ඈත මහ සුයුරට ගොස් ඉදිවර බලා මසුන් මැරීමට සුදුසු පරක් අසල ගල දමා ගැනීම මෙහිදී සිදුවේ. ගල දැම්ම යනු නැංගූරම්ලීමය. මෙකල පුවක් ගසේ පට්ට තබා වෙලාගත් ගලක් කටුවක් යටට තබා බැඳ ලණු කඹ යොදාගෙන නැංගුරමක් සේ සකසාගෙන තිබේ. ඒ අනුව ඔරුව නැංගුරම් දමා ධීවරයෝ රාත්‍රියේදී පන්න කිරීම සිදුකරති. පසුව උදෑසම නැවත ගොඩ ඒම සිදුවේ. පොඩි ඔරුද මෙකල සිදුකළේ මෙවැනිම රාජකාරියකි. පොඩි ඔරුව මුහුදු යන කතාව වෙනම කිවයුත්තකි. උදෑසනම අලුත්ම වාරකන් ඔරුවේ සුබ නැකතින් සයුර බලාගිය ධීවරයෝ දැන් ආපසු ගමනට සූදානම්ය. මුදුන් වී තිබූ ඉර අවරට යන්නට පටන් ගෙන ඇත. සුළං බලයෙන් ඔවුහු දිවිය සරිකරගෙන සිටිති.

ආපසු ගමන සහ පංගු බේරීම ලබන සතියට
►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය : ජයමුණි ලැම්බට් සිල්වා මහතාට

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00