බස්නාහිර පළාතේ අපද්‍රව්‍ය බැහැරකිරීම සඳහා වසරකට කෝටි 600ක් පමණ වැයවන බව පසුගියදා හෙළි විය. එසේ වියදම් වනුයේ රජය, පළාත් සභාව හා පළාත් පාලන ආයතනවලටය. බස්නාහිර පළාතේ දවසකට කුණු මෙට්‍රික් ටොන් 3800ක් පමණ එකතුවන අතර එම ප්‍රමාණය මුළු ලංකාවෙන්ම එකතුවෙන කුණු ප්‍රමාණයෙන් 60%කි. එනම් ලංකාවේ මුළු කුණු ප්‍රමාණයෙන් පහෙන් තුනක්ම ඇත්තේ බස්නාහිර පළාතේය. ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා වෙන්වන මුළු මුදල්වලින් 30%ක් වැයවන්නේ කැළි කසළ කළමනාකරණය සඳහා වේ.
බස්නාහිර පළාත තුළ කැළි කසළ කළමනාකරණයේ තිබෙන ගැටලුව වන්නේ කුණු කසළ අපහරණය සඳහා වන පහසුකම් ලබාදීම ප්‍රමාද වීමය.
බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරිය පෙන්වාදෙන ආකාරයට බස්නාහිර පළාත තුළ එකතුවන කුණු කසළ කළමනාකරණය කිරීම සඳහා වන මහා ව්‍යාපෘතිවලට පදනම් විරහිත ජනතා විරෝධයක් නිතරම පාහේ ඇතිවේ. 1996 වග ප්‍රදේශයේ කැළි කසළ කළමනාකරණය සඳහා වූ ව්‍යාපෘතියකට අද දක්වාම ජනතාවගේ විරෝධතා තිබේ.
ඔවුන් පෙන්වාදෙන ආකාරයට මෙම බොහෝ ව්‍යාපෘතීන් සිදුකරන්නට නියමිත වුණේ පරිසර අධිකාරිය ඇතුළු පාරිසරික ප්‍රතිපත්තිවලට අදාළ අනුමැතිය ලබාගෙනය. සියලු ව්‍යාපෘතිවලට පරිසර අනුමැතිය තිබියදීත් ජනතාව ඒ සඳහා දක්වන විරෝධතාවය නිසා පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණයේ දැඩි අපහසුවක් පවතී. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පෙන්වාදෙන ආකාරයට විදේශ රාජ්‍යයයන්වල අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන ඇතැම් තැන්වල නගර මධ්‍යයේ ඉදිව තිබේ. නමුත් ඒ ජනතාව එහි වැදගත්කම තේරැම්ගෙන ඇත. අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්‍රජාවගේ වගකීම තේරුම්ගැනීමද වැදගත් වේ.
ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණය හා සම්බන්ධ ආයතන කිහිපයක් තිබේ. ඒ අනුව මහවැලි සංවර්ධන හා පාරිසරික කටයුතු අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික සහ අපද්‍රව්‍ය කළමනාකරණ කේන්ද්‍රය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මේ සඳහා කටයුතු කරනු ලබයි.
ගෙවුණු අවුරුදු 20ක කාලයක සිට රාජ්‍ය ආයතන මෙම අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා උපායමාර්ග සකස් කිරීමට උත්සාහ ගත් බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඇතැම් ව්‍යාපෘතීන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් බවට පත්කර තිබේ. 2008 දී මධ්‍යම පරිසර අධිකාරිය “පිළිසරු ව්‍යාපෘතිය” නම් දස අවුරුදු ව්‍යාපෘතියක් ඇරඹීය. එයින් අරමුණු කළේ 2018 වනවිට අපද්‍රව්‍යවලින් තොර ලංකාවක් යන්නයි. නමුත් එය එතරම් ඵල දැරුවේ නැත.
අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිවල දුර්වලතාවය හේතුවෙන් කරදියාන, බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල, කොළොන්නාව කුණුකඳුද, ලංකාවේ තෙත්බිම්, මුහුදු තීර හා ජල මූලාශ්‍ර, පොලිතීන් හා ප්ලාස්ටික්වලින් පිරී ඉතිරී ඇත. බ්ලූමැන්ඩල් හා මීතොටමුල්ල කුණුකඳු කඩාවැටීම නිසා ජීවිත හානි 30ක් සිදුවී නිවාස 100ක් පමණ අහිමිවීම විශාල ඛේදවාචකයකි.
දේශපාලනඥයන්ට දොස් තබමින් සිටිනවා වෙනුවට පුරවැසියන් වශයෙන් තනි තනි පුද්ගලයන්ට ද වගකීමක් තිබේ. ඇතැම් රටවල්වල හිස් ප්ලාස්ටික් බෝතල් මුදල් ලෙස හුවමාරු කළ හැකි යන්ත්‍ර පවතින බව අපි අසා ඇත්තෙමු. එවැනි නිර්මාණශීලී ක්‍රම භාවිත කිරීම යහපත් වේ.
අද වනවිට ඇතැම් ස්ථානවල අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම දක්නට ලැබීම සුබවාදී දෙයකි. විශේෂයෙන් ඉඳුල්, පොලිතීන්, ප්ලාස්ටික් හා දිරණ ද්‍රව්‍ය ආදී ලෙස වර්ග කරමින් අපද්‍රව්‍ය බැහැරකිරීමේ ක්‍රම හඳුන්වා දී තිබේ.
තනි පුද්ගලයන් වශයෙන් ද අපද්‍රව්‍ය උත්පාදනය කිරීම අවම කිරීම හා අපද්‍රව්‍ය බැහැරකිරීම විධිමත් කිරීම කළ හැකිය. ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකිරීම තවදුරටත් උනන්දු කළ යුතු වේ. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන සහ ඒ සඳහා අපද්‍රව්‍ය ලබාගැනීමේ ස්ථාන අප රට තුළ සුලබ නැත. එවැනි මධ්‍යස්ථාන හැකි හැමතැනම පිහිටුවීම ජනතාවට අපද්‍රව්‍ය ලබාදීම සඳහා පහසුවක් වනු ඇත.
එමෙන්ම අපද්‍රව්‍ය හරහා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කලකට පෙර හොඳ ප්‍රවණතාවක් වුවත් දැන් එය අඩුවී තිබේ. එමෙන්ම ජීවවායුව නිපදවීමද ප්‍රවණතාවක් වී තිබුණි. ඒවා නැවත සක්‍රීය කිරීමේ වැඩපිළිවෙළක් සකසාගැනීම ඉතා කඩිනමින් කළ යුතු දෙයකි.
එමෙන්ම අපද්‍රව්‍ය සඳහා මිලක් නියම කිරීම ද අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ හොඳ පියවරකි. විශේෂයෙන් මෙය තරමක හෝ ලාභ උපදවන කටයුත්තක් කිරීමද නිර්මාණශීලීව කළ හැකි වේ.
රජය විසින් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කර තිබේ. විදෙස් රාජ්‍යයන් ගණනාවක්ද මේ සඳහා ආධාර ලබා දී තිබේ. ඒවා උපායමාර්ගිකව සාක්ෂාත් කර ගැනීමත් ඒ සඳහා ප්‍රජාව මැදිහත් කර ගැනීමටත් රජය වගබලාගත යුතුය.
අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා කෙටිකාලීන වැඩපිළිවෙළ සාර්ථක වන්නේ නැත. ජනතාවගේ හා රටේ සෞඛ්‍ය තත්ත්වය සඳහා ඍජුවම බලපානු ලබන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ස්ථිර විසඳුම් ලබාදිය යුතුව ඇත.
සංඛ්‍යාලේඛන පෙන්වාදෙන ආකාරයට සතියේ දිනවල දිනකට ලන්ච්ෂීට් මිලියන 150ක් බැහැර වේ. දිනකට සිලිමළු මිලියන 20ක් භාවිත වේ. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් මෙට්‍රික් ටොන් 500000ක් ආනයනය කෙරේ. එයින් 70%ක් භාවිත කරනු ලබන්නේ ගෘහ ජීවිතයේ කටයුතු සඳහාය. පළාත් මට්ටමින් අපද්‍රව්‍ය ජනනය දිනකට මෙට්‍රික් ටොන් 9000ක් වන අතර එයින් 3242ක් පළාත් මට්ටමින් බැහැර කරනු ලබයි.
බස්නාහිර පළාතට අපද්‍රව්‍ය ප්‍රශ්නය ඉතා තදින් බලපායි.
කෙටිකාලීන පියවරක් ලෙස රජය විසින් අපද්‍රව්‍ය එකතු කිරීමේදී වර්ගීකරණය නොකළ අපද්‍රව්‍ය නොගැනීමට උපදෙස් දී තිබේ. එමෙන්ම ප්‍රජාවට අපද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීමට උපදෙස් දෙනු ලැබේ. එමෙන්ම දිරන හා නොදිරන අපද්‍රව්‍ය වශයෙන් අපද්‍රව්‍ය බෙදා වෙන්කරමින් ඒවා බැහැරකිරීම සඳහා ජනතාවට උපදෙස් ලබා දී තිබේ. එයින් බලාපොරොත්තු වී ඇත්තේ ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණයක් සිදුකිරීමයි.
දිගුකාලීන පියවරක් ලෙස මුතුරාජවෙල අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කර ඇත. ලංකාවේ ක්‍රියාත්මක වන Land fill 10 අතුරින් දැනට ක්‍රියාත්මක වන්නේ දොම්පේ Land fill එක පමණි. එය ක්‍රියාත්මක කරනු ලබන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසිනි. කොරියානු ආධාර යටතේ තවත් Land fill කිහිපයක් ගාල්ල, අනුරාධපුරය, පොළොන්නරුව හා යාපනය දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමට නියමිතව ඇත. බස්නාහිර සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යාංශය යටතේ අරුවක්කලු හා පුත්තලම තවත් Land fill ස්ථාපනය කිරීම සඳහා නියමිතව ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කොම්පෝස්ට් පොහොර ආශ්‍රිත වගා කටයුතු සිදුකිරීමට දිගනදී සැලසුම් කර ඇත. අපද්‍රව්‍ය ශක්තීන් බවට පත්කිරීම සඳහා ද කටයුතු සූදානම් කර ඇත.
කෙසේ හෝ ලංකාවේ විශාලතම අපද්‍රව්‍ය එකතුවක් සේ සැලකෙන බස්නාහිර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ගෙන ඇති කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියා පිළිවෙත් දිගටම ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා ප්‍රජාවගේ දැනුවත්භාවය හා අවබෝධය ඇතිකිරීමත් වැදගත් වේ.
අපද්‍රව්‍ය යනු ජනතාවගේම දෙයකි. ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ජනතාවගේ උන්නතිය සඳහාම ඉවහල් වන්නකි. එහෙයින් ඵලක් නැති පදනම් රහිත විරෝධතාවලින් තොරව මේ ගැටලුවෙන් ගොඩඒම සඳහා සාමූහිකව කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත බව අවසාන වශයෙන් කියනු වටී.
►එම්. ඉෂාක්