බණ්ඩාරවෙල පසුකරමින් ඇල්ල දෙසට යනවිට හමුවන කීනිගම කියන්නේ සොඳුරු කඳු පන්තීන්ගෙන් වටවුණු ප්‍රදේශයක්. ඌව පළාතේ දකුණු මායිමට අයිතිවන කීනිගම මේ වනවිට දෙස් විදෙස් සංචාරකයන්ගේ පහස නිරන්තරයෙන්ම ලැබෙන තැනක් බවට පත්වෙලා. බදුල්ල දුම්රිය මාර්ගයේ කීනිගම දුම්රිය නැවතුම ඔස්සේත් මේ කුඩා ගම්මානය වෙත ළඟා විය හැකියි.
කීනිගම දුම්රිය නැවතුමත් බිංගෙයත් දෙසට මුහුණ යොමාගත් ‘Club Doonvale’ කියන්නේ මේ ප්‍රදේශයට එක්වුණු අලුත්ම හෝටලයයි. පැරණි වතු හිමිකරුවෙකුගේ බංගලාවක් ඇසුරු කරගෙන හදලා තියෙන මේ බංගලාවට බණ්ඩාරවෙල ඉඳන් මිනිත්තු 10න් ළඟාවිය හැකියි. හෝටලය සතුව හොඳින් ඉඩකඩ ඇති සුවපහසු කාමර සංඛ්‍යාව පහක්. තිසාහාමි, අංගම්පොර, ක්ලබ් ඩූන්වේල්, ප්ලාන්ටර්ස් සහ කීනිගම කියලා නම් කරලා තියෙන මේ කාමරවල 12 දෙනෙකුට නවාතැන් ගත හැකියි. ඒ සියල්ලේම සැටලයිට් ටීවී, වයිෆයි, තේ සහ කෝපි සෑදීමේ පහසුකම් වගේම නවීන නාන කාමරයකුත් අන්තර්ගතයි.
මෙතැන පිරිනමන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන පිළියෙල කරන කෑමබීම වීම නිසා ආහාර අත්දැකීමත් ඉතා සුවිශේෂීයි. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ආහාරපාන නවීනත්වයක් මුසුකරගනිමින් අපූරුවට ඉදිරිපත් කෙරෙනවා. ජාත්‍යන්තර රටාවේ ආහාර පාන පිරිනමන අතරම ආහාර පිළියෙළ කිරීමේ මූලිකත්වය ගෙන ඉන්නා මේරි අම්මා, සංචාරකයන්ට වුවමනා ඕනෑම කෑමක් බීමක් පිළියෙළ කරදීමට සූදානමින් පසුවෙනවා.
මෙතැන සිට දුන්හිඳ, දියලුම, රාවණා වැනි දියඇලි කරා සංචාර ලබාගන්න පුළුවන්. ඒ වගේම බදුල්ල, උඩවලව, යාල, ලිප්ටන් සීට්, ඇඩිෂන් බංගලාව විතරක් නෙමෙයි ආරුගම්බේ දක්වා වුණත් පහසුවෙන් ළඟාවෙන්න පුළුවන්. කොහොම වුණත් ඇල්ල සිට දෙමෝදර දක්වා යන මනස්කාන්ත දුම්රිය ගමන තමයි මෙතැනට එන සෑම සංචාරකයකුගේම වගේ ප්‍රියතම සංචාරක අත්දැකීම.
- සනත් වීරසූරිය
සේයාරෑ - ශාන් බන්දු වීරසිංහ