2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

හතර වටෙන්ම ඉල්ලන එල්ලෙන විදුලි වැට

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 346

වනඅලි ගැටලුවට විසඳුම් ඉල්ලා වනඅලි කරදර පවතින සියලු පෙදෙස්වල ජනතාව පාරට බැස විරෝධතා, උද්ඝෝෂණ හා මාරාන්තික උපවාස පැවැත්වූ අවස්ථා හිසේ කෙස් ගාණට ඇත. එමෙන්ම වනඅලින්ට ගොදුරුවීම හේතුවෙන් මේ වනවිට රටට අහිමි වූ ජීවිත ප්‍රමාණයද සුළුපටු නොවේ. එමෙන්ම විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සුන්දර පරිසරයට අහිමි වූ වනඅලි ප්‍රමාණයද ඉතා විශාලය. එපමණක් නොව, වනඅලි නිසා මිනිසුන්ට අහිමි වූ නිවාස, දේපොළ මෙන්ම වගා හානියද ගණන් බැලීමට නොහැකි තරම්ය.

වනඅලි ගැටලුවට විසඳුම කුමක්ද යන්න මනාවට දන්නේ වනජීවී අමාත්‍යංශය භාරව සීතල කාමරවල සිටින පිරිස නොව, ගමේ ගොඩේ ගොවි ජනතාවය. ගමේ ගොවියාගේ අදහස්වලට කන් නොදීමේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ලංකාවේ බොහෝ වනඅලි කරදර පවතින ප්‍රදේශවල ඉදිකර ඇති විදුලි වැටවල්වලින් ලැබිය යුතු වාසිය එමගින් නොලැබෙයි.

තවමත් ලංකාවේ පවතින විදුලිවැට ක්‍රමය යල්පැන ගිය, කල්පැන ගිය විදුලි වැටකි. ඉස්සර අලින්ට වඩා වර්තමානයේ වනඅලි ප්‍රචණ්ඩය. මේ නිසාවෙන් ගොවි ජනතාව වගකිව යුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ වනඅලි ගම්වැදීම නතර කර අලි මිනිස් ගැටුමට වහා විසඳුමක් ලබාදෙන ලෙසයි. ඒ සඳහා පරණ යල්පැන ගිය විදුලිවැට වෙනුවට නවීන ක්‍රමයෙන් යුත් එල්ලෙන විදුලිවැටක් ඉදිකළ යුතු බවට ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත් මේ වනතෙක් බලධාරීන්ගෙන් නම් සාධාරණ පිළිතුරක් ජනතාවට ලැබී නොමැති තරම්ය. පොරොන්දුනම් කප්පරක් ලැබී ඇතත් ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට යාමේදී විවිධ බාධක පැන නැගී තිබේ.

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ. මහින්ද මහතා මේ පිළිබඳව පැවසුවේ මෙවන් අදහසකි.

මම වලව වම් ඉවුර පිහිටි ගොවි සංවිධාන 82ක් නියෝජනය කරන කෙනෙක්. මේ හම්බන්තොට සූරියවැව ඉඳන් ලුණුගම්වෙහෙර බුන්දල වගේම තණමල්විල දක්වාත් වනඅලින්ගේ සංක්‍රමණික රටාව පිළිබඳව මනා අවබෝධයක් තියෙනවා. අපි මේ හැම කැලෑවකම හේන් ගොවිතැන් කරලා තියෙනවා. අලි, කොටි, වලස්සුත් එක්ක තමයි අපි ඒ දවස්වලත් ජීවත් වුණේ. ඒ කාලේ මේ විදුලිවැටවල් තිබුණේ නෑ. නමුත් අද වනවිට වනඅලි ගැටලුව අපේ මේ ප්‍රදේශවල දැඩි ලෙස උග්‍රවෙලා තියෙනවා. ඒ කාලේ විදුලි වැට මේ ප්‍රදේශ සියල්ල ආවරණය වන විදියට නියමිත ප්‍රමිතියෙන් තිබුණා. නමුත් කාලයත් එක්ක ඒ සියල්ල නැති වුණා. අලි මිනිස් ගැටුමෙනුත් හම්බකරගෙන කන පිරිසක් බිහිවුණා, අපි දන්නෙම නැතිව. ඉතින් අද වෙනකොට මිනිස්සු ජීවත් වෙන්නේ පුදුම බයකින්. පරණ අලිවැට ක්‍රමය දැන් කිසිදු අයුරකින් වර්තමානයට ගැලපෙන්නේ නෑ. මේ වෙනකොට සූරියවැව වනඅලි ගැටලුවෙන් විශාල ලෙස පිඩා විඳින ප්‍රදේශයක් බවට පත්වෙලා ඉවරයි. අපි කතා කරන මොහොත වනවිටත් හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ වනඅලි ප්‍රහාරයකින් අවුරුදු 71ක පස්දරු පියෙක් මිය ගියා. සූරියවැව මහගල්වැව ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවාස 05ක් විතර කඩා දමලා. කුඹුරු ඇතුළු වගා රැසක් වනඅලින්ගේ ගොදුරු බවට පත්වෙලා තියෙනවා. මේ නිසා ඇයි මේවා දිහා බලාගෙන බලධාරීන් නිහඩව ඉන්නේ. වගකිව යුතු පාර්ශ්ව නිතරම සැලසුම් හදන්න ඕනේ මිනිහෙක් මැරුණම ගෙවන වන්දි මුදල කීයක් දෙනවද කියන එක නෙමෙයි. වනඅලි ප්‍රහාරයකින් මිනිහෙක් මැරෙන්න කලින් ඊට විසඳුම් සෙවීමයි. නමුත් අද එහෙම බවක් පේන්නවත් නෑ.

අපි දැන් අවුරුදු කිහිපයක් තිස්සේ ඉඳන් ඉල්ලන්නේ පවතින විදුලිවැට වෙනුවට එල්ලෙන විදුලිවැටක් දෙන්න කියලයි. නමුත් ඒකට කිසිදු බලධාරියෙක් කන් දෙන්නේ නෑ. 

අලි වැටවල්වල තියෙන විදුලිය මනින්නේ ජූල් වලිනුයි. සාමාන්‍යයෙන් විදුලිවැටකට ජූල් 10ක් 12ක් වත් තියෙන්න ඕනේ. නමුත් මේ ප්‍රදේශවල තියෙන විදුලිවැටවල්වල තියෙන්නේ ජූල් 06 යි. එක එන්ජයිසරයකින් කිලෝමීටර් 10ක් විදුලිය දෙනවා. පළමු කිලෝමීටර් කිහිපයේ ඒ විදුලි ධාරිතාවය තිබුණට වැටේ අවසානය වනවිට තියෙන්නේ විදුලිය ජූල් 02ක් හෝ 04ක් විතරයි. පරණ විදුලිවැටේ විදුලිය යන කම්බිය තියෙන්නේ බිම් මට්ටමින්. එතකොට විදුලිවැට දිගටම තණකොළ හැදෙන්නේ නැතිවෙන්න සුද්ද කරන්න ඕනේ. එහෙම නොවුණොත් තණකොළ ගස් විදුලිවැටේ ගෑවීම නිසා ගැටලු රැසක් ඇතිවෙනවා. දැනට තියෙන විදුලිවැට ඉදිකරලා තියෙන්නේ ලී කණු ආධාරයෙන්. ලී කණුවට ඉහළින් අඟල් 20ක පමණ එල්ලයරින් කෑල්ලක් සවිකර ඊට කම්බිපොට සවිකරනු ලබනවා. ඒ වගේ කම්බි පොටවල් දෙකක් හෝ තුනක් තමයි තියෙන්නේ. මේ වැටේ තියෙන අඩු ප්‍රමිතිය නිසාම අලියා මේ වැට ඉතා ලේසියෙන්ම කඩා දමනවා. එකක් තමයි වැටේ ඇති විදුලි ධාරිතාවය ජූල් 06ක් වීම හෝ ඊට අඩු වීම. ඊට අමතරව අලියාට විවිධ කොට කෑලි ගෙනැවිත් දමා විදුලිවැට පෙරළා දැමීමට, කඩා දැමීමට හැකි වීම. එමෙන්ම අලියා හීන්සීරැවට විදුලිවැටේ ලී කණුවට කකුල තියලා වැට පෙරළා දමනවා.

මෙන්න මේ වගේ කරැණු ගණනාවක් නිසා තමයි අපි කියන්නේ එල්ලෙන විදුලිවැටක් ලබාදෙන්න කියලා. එල්ලෙන විදුලිවැට තමයි වනඅලි ගැටලුවට මේ වනවිට සාර්ථකම ක්‍රියාව වෙන්නේ. අපි ගොවියෝ විදියට මේ එල්ලෙන විදුලිවැට ගහලා විශාල ප්‍රයෝජනයක් ලබා තියෙනවා. ඒ නිසාවෙනුයි අපි බලධාරීන්ට මේ තියෙන විදුලිවැට වෙනුවට එල්ලෙන විදුලිවැටක් ගහලා දෙන්න කියන්නේ.

එල්ලෙන විදුලිවැටට ටිකක් වියදම වැඩි වෙන්න පුළුවන්. නමුත් ඉන් අත්වෙන වාසිය වැඩියි වගේම අලි මිනිස් ගැටලුවටත් ස්ථිරසාර විසඳුමක් ලැබෙන බව අපිට විශ්වාසයි. මෙහිදී කරන්න තියෙන්නේ උස අඩි තුනක ජී.අයි. යකඩ බටයක් බිමට තියලා කොන්ක්‍රීට් කරනවා පළමුවෙන්ම. ඒකට අඩි 15ක් උස එකයි, තුන්කාලේ ජී.අයි. බටයක් අරන් ඒකේ අගට අඩි 03ක ජී.අයි. බට කෑල්ලක් අංශක 45ක ඈන්ගල් එකට පාස්සනවා. මේ විදියට අඩි 100න් 100 ජී.අයි. බට සිටුවිය යුතුයි. ඊට පසු උඩින්ම එක කම්බියක් ඇදගෙන යනවා. එම කම්බියේ සිට පහතට අඟල් විස්සෙන් විස්ස වෙන්න අඩි 12ක් 13ක් වෙන්න දිගට කම්බි එල්ලනවා. උඩම කම්බියේ තමයි විදුලිය තියෙන්නේ. උඩම කම්බියේ ඉඳලා පහතට එන කම්බිවලත් විදුලිය තියෙනවා. ඒ නිසා අලියාට මේ වැටට අතු ඉති දමලා කඩන්න පුළුවන්කමක් නෑ. එකක් තමයි විදුලිය යන කම්බිය පිහිටලා තියෙන්නේ ඉහළින්මයි. සෑම කණුවක් ළඟම කම්බි සවිවන ස්ථානයට බොබින් කෑලි දෙක බැගින් සවි කරනවා. එතකොට යම් හෙයකින් අලියෙක් විදුලිවැට කැඩුවොත් කැඩුව තැනින් විතරයි විදුලිය නැතිවෙන්නේ. අනිත් ස්ථානවල විදුලිය විසන්ධි වෙන්නේ නෑ. නමුත් දැන් තියෙන වැට එක තැනකින් කැඩුවොත් දිගටම විදුලිය නැතිවෙනවා.

මෙන්න මේ ක්‍රමය තමයි අපි බලධාරීන්ට කියන්නේ කරලා දෙන්න කියලා. නමුත් තවම ඉටුවුණෙත් නැත්තේ ඒකම වීමයි අපිට තියෙන කනගාටුව. අපි මේ එල්ලෙන විදුලිවැට හදලා දෙන්න කියලා වනජීවී එකේ අයට කිව්වම ඒ අය කිව්වේ මේ ක්‍රමයේ විදුලිවැටක් හදන්න විශාල මුදලක් වැයවෙනවා දැන් තියෙන ක්‍රමයට වඩා කියලා. ඒකට අපිට දෙන්න තියෙන උත්තරය මෙන්න මේකයි. කිසිදු ප්‍රයෝජනයක් නැති දැන් තියෙන විදුලිවැට ඉදිකරන්න යන වියදමයි, ඒ විදුලිවැට ඉදිකරලා තියෙද්දී අලි ගහලා මැරෙන මිනිස්සුන්ට ගෙවන වන්දි මුදල හා වගා දේපොළ හානිවලට ගෙවන වන්දිවලයි එකතුව බැලුවම ආණ්ඩුවට අපි කියන වර්ගයේ විදුලිවැටක් ගහලා දෙන එක තමයි ලාභම දේ කියලා යැයි ඔහු පැවසීය.

ගොවීන් පවසන මේ එල්ලෙන විදුලිවැට සම්බන්ධයෙන් තවදුරටත් කරුණු කාරණා සොයා බැලීමේදී මෙම එල්ලෙන විදුලිවැට සම්බන්ධයෙන් වූ සුවිශේෂී පුද්ගලයකුද අපට සොයාගැනීමට හැකි විය. ඔහු නමින් එච්.කේ.ඒ. සරත් ගාමිණීය. 54 හැවිරිදි ඔහුගේ පදිංචිය අංක 15, ඇත්ගාල, ගම්පොලය. වෘත්තීයෙන් වාහන ටින්කරින් කාර්මික ශිල්පියෙකි. නව නිපැයුම් රුසක් ලංකාවට හඳුන්වා දී ඇති ඔහු එල්ලෙන විදුලිවැටෙහි නියම නිර්මාණකරැවාද වෙයි. මේ නිර්මාණය වෙනුවෙන් ඔහු පේටන්ට් බලපත්‍රයද ලබාගෙන තිබේ. අප ඔහු සොයා ගම්පොලට ගිය අවස්ථාවේ මේ ඔහු අපට කී කතාවයි.

මම විවිධ අලුත් නිර්මාණ කිහිපයක්ම කරලා තියෙනවා. ඒවා සඳහා පේටන්ට් බලපත්‍ර පවා මට තියෙනවා. දිනෙන් දින වනඅලි මරණ හා මිනිස් ජීවිත වනඅලින්ට බිලිවීම නිසා මං ඒ පිළිබඳව නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතුවා. ඒ අනුව මම මේ පිළිබඳව සොයා බැලුවා. එහිදී මට තේරුණා දැනට තියෙන විදුලිවැට ක්‍රමය තුළින් මේ සඳහා විසඳුමක් ලැබෙන්නේ නෑ කියලා. ඒ නිසා මං වනඅලින්ටත් හානියක් නොවෙන අලි මිනිස් ගැටුමටත් විසඳුමක් දෙන්න පුළුවන් මේ එල්ලෙන විදුලිවැට නිර්මාණය කළා. මං මේ විදුලිවැට ක්‍රම දෙකකට නිර්මාණය කළා. එකක් තමයි වනඅලියා ගමට ඇතුළු වෙනකොට විතරක් විදුලිසැර වදින්නත්, ගමින් එළියට එන විට විදුලිය නොවදිනත්. අනික තමයි එළියට ගියත් ඇතුළට ආවත් විදුලිය වදින විදියට තමයි මම මේ නිර්මාණය කළේ 2010 වසරේදී. ඒ සඳහා මේ වනවිට මට තමයි මේ විදුලිවැට සඳහා පේටන්ට් බලපත්‍රය තියෙන්නේ. නමුත් මේ වෙනකොට මට ලොකු අසාධාරණයක් තමයි සිදුවෙලා තියෙන්නේ. මොකද, අද හැමතැනම මගේ නිර්මාණය හොරකම් කරලා ඒ විදියට විදුලිවැටවල් ඉදිකරලා තියෙනවා. අනික ගොඩක් තැන්වල තියෙන්නේ මගේ නිර්මාණය විකෘති කරලයි. ඒ වැටවල්වල ප්‍රමිතියක් නෑ. මගෙන් අහන්නේ නැතිව මගේ නිර්මාණයක් විකෘති කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මම ඒ අය සඳහා නඩු පැවරීමටත් පියවර ගන්නවා. ඒ වගේම මං කියන්නේ මං දැක්කා සූරියවැව ප්‍රදේශයෙත් අලුතින් එල්ලෙන විදුලි වැටක් ඉදිකරන්න අවශ්‍ය පහසුකම් දෙන්නම් කියලා සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා කිව්වා. කවුරු මොනවා කිව්වත් මේක මගේ නිර්මාණයක් නිසා මගේ නිර්මාණයක් කොහේ හෝ ස්ථාපිත කරනවා නම් ඒ සඳහා මගෙනුත් අවසර ගත යුතුයි. මටත් සාධාරණයක් ඉටුවිය යුතුයි. එසේ නොවන්නේ නම් ඒ අයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනවා යැයි ද පැවසීය.

මේ වනවිට සූරියවැව ඇතුළු අවට විවිධ පුද්ගලයන්ද නිවෙස් වටා ඉදිකරගෙන ඇත්තේ එල්ලෙන විදුලි වැටයි. එමෙන්ම සූරියවැව බුරුතන්කන්ද ප්‍රදේශයේ ඉදිකර ඇති සෝලා විදුලි බලාගාරයද වනඅලින්ගෙන් බේරාගැනීම සඳහා යොදා ඇත්තේ එල්ලෙන විදුලි වැටය. රජයේ බොහොමක් ස්ථාන සඳහා රජයේ විවිධ පාර්ශ්වවල ආශිර්වාදය ඇතිව එල්ලෙන විදුලිවැට ඉදිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇතත්, රටට බත් ටික එළවළු ටික, ධාන්‍ය ටික සපයන ගොවියාගේ ආරක්ෂාව වෙනුවෙන් එල්ලෙන විදුලිවැටක් සකස් කර දෙන්නැයි ඉල්ලූ විට බීරි අලින්ට වීණා වයන්නාක් මෙන් සිටීම කොතරම් දුරට යුක්තිසහගතද යන්න සිතා බැලිය යුතුය. 

 සූරියවැව නුවන් ජයසේකර