2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

කතා සාප්පුවේ විකිණෙන පළාත් සභා ඡන්දය

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

මීළඟට පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණය බවත්, එය ජනාධිපතිවරණයට පෙර ස්ථිරවම පැවැත්වෙන බවත්, නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බවත්, එය බලහත්කාරයෙන් කිසිවකුටත් පැවැත්වීමට නොහැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 09 වැනිදා පොළොන්නරුවේ පැවැති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර තිබිණි.

මේ දිනවල දේශපාලනය තුළ අවධාරණයට ලක්වූ ප්‍රධාන කරුණක් වන්නේද පළාත් සභා මැතිවරණයයි. ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද විශාල අවධානයක් මේ සම්බන්ධයෙන් යොමුකර ඇති බව පෙනේ. මූලික වශයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට පෙර තම තමන්ගේ දේශපාලන ජනප්‍රියතාවය සහ ශක්තිය උරගා බැලීමේ උපායක් සහ ප්‍රධානතම මූලෝපායක් වශයෙන් පළාත් සභා මැතිවරණය යොදාගන්නා බව ප්‍රකට රහසකි. ආණ්ඩු පක්ෂයට මේ මැතිවරණය වැදගත් වී ඇත්තේ තමන් ඉදිරියට ගෙන යන සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් දේශපාලන බලය ලබාගැනීම සඳහා පළාත් සභාවල බලය රඳවා ගැනීම අවශ්‍ය බැවිනි.

මධ්‍යම රජයට මෙන්ම පළාත් පාලන ආයතනවලටද බලතල රාශියක් පැවරී තිබේ. ඒ අතර විරුද්ධ පක්ෂය පළාත් සභාවල බලය ලබාගැනීම මගින් රජයට විරුද්ධ ජනමතයක් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කරයි. පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් රජය මෙන්ම විපක්ෂයද අවධානයෙන් පසුවන්නේ එහෙයිනි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට ඉස්මතු වී තිබෙන ගැටලුකාරී තත්ත්වය වන්නේ ඒවා නියමිත දිනයට නොපැවැත්වීමයි. මේ වනවිට පළාත් සභා 06ක නිල කාලය අවසන් වී ඇත. එනම්, සබරගමුව පළාත් සභාව (2017/09/26), නැගෙනහිර පළාත් සභාව (2017/09/30), උතුරුමැද පළාත් සභාව (2017/10/01), මධ්‍යම පළාත් සභාව (2018/10/08), වයඹ පළාත් සභාව (2018/10/10), උතුරු පළාත් සභාව (2018/10/24) යනුවෙනි.

එමෙන්ම මෙම වසරේ අප්‍රේල් මාසයේ 10 වැනිදා දකුණු පළාත් සභාවේත්, 21 වැනිදා බස්නාහිර පළාත් සභාවේත් නිල කාලය අවසන් වන අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන සැප්තැම්බර් 08 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙලෙසින් පළාත් සභා සියල්ලේම ධුර කාලය අවසන් වූ විටද ඡන්ද නොපැවැත්වේ නම් ජනතාවගේ සියලු බලාපොරොත්තු බිඳ වැටෙනු ඇත.

මැතිවරණයක් නිසි කලට නොපවත්වා කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරනු ලබන දැඩි පහරකි. එහෙත් සාධාරණ හා පිළිගත හැකි හේතුවක් මත මැතිවරණය කල් තබන්නේ නම් ඊට කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් එල්ල වන්නේ නැත. සමානුපාතික හා කේවල යන මිශ්‍ර ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර එකඟතාවයක් නොමැති නිසා එම වාර්තාව සම්මත නොවීමේ තත්ත්වය තුළ පළාත් මැතිවරණය මෙසේ තවදුරටත් කල් යාමේ ලකුණු මතුවී තිබේ.

පසුගිය වසරේ අගෝස්තු 24 වැනිදා පාර්ලිමේන්තුවේදී එම සීමා නිර්ණය වාර්තාව විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත වූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර අවසන් සාකච්ඡාව එම මස 23 වැනිදා පැවැත්වීය. එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු පක්ෂ කිහිපයක් සීමා නිර්ණය වාර්තාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් 20 වැනිදා පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන් 139 දෙනාම එයට එරෙහිව ඡන්දය භාවිත කළහ.

කෙසේ වෙතත් බොහෝ කලකින් පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වී නොමැත. ආණ්ඩුව විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්විය යුතුය යන මතයේ පිහිටාය. නමුත් මේ තත්ත්වය තුළ මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනවාද යන්න ගැටලු සහගතය.

ඡන්ද කල් දැමීමේ ඉතිහාසය

මැතිවරණ කල් දැමීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් නොවේ. නිසි කලට මැතිවරණ පැවැත්වීම අනිවාර්යය. එසේ නොකරන ආණ්ඩු නිරන්තරයෙන් ජනතා අප්‍රසාදයට ලක්වෙයි. උදාහරණයක් ලෙස 1970දී බලයට පත්වූ සමගි පෙරමුණු රජය 1975 අවසානයේදී මහ මැතිවරණය නොපවත්වා එනම්, 1977 දක්වා කල්තැබීම ගත හැක. මීට අමතරව වඩුක්කොඩෙයි හා චාවකච්චේරි ආදී අතුරු මැතිවරණද කල් දමා තිබිණි. මේ සියල්ලේම ප්‍රතිඵලය වූයේ තුනෙන් දෙකක බලය තිබූ ආණ්ඩුව ඊළඟ මැතිවරණයේදී ආසන 08කට ඇද වැටීමය.

1982දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවද මහ මැතිවරණය නොපවත්වා ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගත්තේය. මෙයටද විශාල ජනතා විරෝධයක් මතු විය. මෙය මහ මැතිවරණය කල් දැමීමේ පූර්වාදර්ශය ලෙස සැලකිය හැකිය. එමෙන්ම ඒ පිටුපස පැමිණි ජනතා විරෝධතා අවසානයේ එකතු වූයේ දෙවැනි කැරැල්ලටය. ආණ්ඩුවට විධායක බලතල තිබුණත් කිසිවක් කර කියාගත නොහැකි මට්ටමට ඇද වැටුණේය.

මැතිවරණ කල් දැමීම යනු මේ මොහොතේ මැතිවරණයකට යාම ආණ්ඩුවට අවාසිදායක නිසා සිදුකරන දෙයක් ලෙස බොහෝ දෙනා චෝදනා කරති. මෙහි පැති දෙකක් තිබේ. එකක් දේශපාලනමය පැතිකඩයි. අනෙක තාක්ෂණිකමය පැතිකඩයි. ඕනෑම රජයක් මැතිවරණ පවත්වන්නේ තමන්ට වාසිදායක යැයි සිතෙන අවස්ථාවක බව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ වේ.

පළාත් සභා ක්‍රමයේ අපේක්ෂාව

මෙරට යුද්ධයෙන් පසුව කිසිදු ආකාරයක ත්‍රස්තවාදයකට හෝ බෙදුම්වාදයකට හේතුවුණු කරුණුවලට දේශපාලනමය විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් නිසියාකාරව තීන්දුවක් ක්‍රියාත්මක වූයේ නැත. බලය බෙදාහැරීම සම්බන්ධයෙන් එකම තුරුම්පුව ලෙස භාවිත වන්නේ 87 හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමයයි. එසේ වුවද පළාත් සභා ක්‍රමයටත් යම් යම් විවේචන එල්ලවන බව කිව යුතුය. නිදසුනක් ලෙස පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පිළිබඳ ඇතැමුන් සෑහීමකට පත්වන්නේ නැත. පළාත් සභා බලතල තවත් වැඩිකළ යුතුය යන ඉල්ලීම්ද තිබේ.

උතුරු හා නැගෙනහිර පළාත් සභා ගතහොත්, දේශපාලනමය වශයෙන් කිසියම් වූ ආකාරයකට බලය භුක්ති විඳීමට සුළු ජනකොටස්වලට අවස්ථාවක් උදා වී තිබේ. උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් ගත් කල දේශපාලන පක්ෂයකට යම්කිසි ආකාරයකට තමන්ගේ බලප්‍රදේශය තුළ බලය භුක්ති විඳීමේ හැකියාවක් මෙකී පළාත් සභාව හේතුවෙන් ලැබී තිබේ. 

පළාත් සභාවන්හි දැනට පවතින සීමා නිර්ණය පිළිබඳ ගැටලු වැනි දේ හේතුවෙන් මැතිවරණය අර්බුදකාරී ලෙස ප්‍රමාද වන්නේ නම් එය දකුණට එතරම් නොදැනිය හැකි නමුත් උතුරට එය බලවත් ලෙස දැනෙන්නට ඉඩ තිබේ. මන්ද යත් පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම ඒ අයට සුවිශේෂී දෙයක් ලෙස හැඟෙන නිසාය. ඔවුන්ට ප්‍රාදේශීය වශයෙන් බලය ක්‍රියාත්මක කළ හැකි එකම ආයතනය වන්නේ පළාත් සභාව බැවිනි.

පළාත් සභා පිහිටුවීමේ අරමුණ සලකා බලතොත්, ලංකාවේ වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස 87 ඉන්දු - ලංකා ගිවිසුම මගින් ලංකාවේ පළාත් සභා ක්‍රමය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙන එනු ලැබිණි. පළාත් සභාවලට ජන ජීවිතය සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළ හැකි බව එහිදී ප්‍රකාශ විය.

ඔක්කොම කළත් ඡන්ද නොතියන බවයි පේන්නේ
පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

"පළාත් සභා ඡන්දය ප්‍රමාද වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දේශපාලනික හේතුව. දෙවැනි එක තමයි තාක්ෂණික හේතු. දැන් තාක්ෂණික හේතු ටික අපි දන්නවා. අලුත් මැතිවරණ ක්‍රමය යෝජනා වීමත් එක්ක ඒකට අදාළ සීමා නිර්ණය කළ යුතුව තිබුණා. ඒ නිසා ඒකට සීමා නිර්ණය කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මාස 04ක් ඇතුළත සීමා නිර්ණය කටයුතු අවසන් කරන්න ඕන කියලා පනතෙම සඳහන් කරලා තිබුණා. ඔවුන් මේක ඒ කාලය තුළ සකස් කරලා විෂය භාර අමාත්‍යවරයාට දුන්නා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් ඔවුන් මේ ගැන කිසිදු සංවාදයක් පැවැත්වුයේ නැහැ. පනතේ තිබූ ආකාරයට මෙය මාසයක් ඇතුළත සංවාද කරලා සම්මත කරන්න තිබුණා. එහෙම නැත්නම් කතානායකවරයාගේ වගකීම වෙනවා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමාලෝචන කමිටුවක් පත් කරන එක. හැබැයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වෙන්න පාර්ලිමේන්තුව තුළ ඡන්දයට ගියේ නැති නිසා ඒක මාස ගාණක් එහෙමම තිබුණා. සමාලෝචන කමිටුවක් පත්කළෙත් නැහැ. පසුගිය කාලයේ ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සෙ අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව තවත් සමාලෝචන කමිටුවක් පත් කළා. නමුත් මේ සියලු දේවල් වෙලත් තවමත් පළාත් මැතිවරණය පවත්වන බවක් පේන්න නැහැ.,

අලුත් ක්‍රමය නිසා ඡන්දය හිරවෙලා 
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

"පළාත් සභා ඡන්දය පැවැත්වීම මේ තරම් දුරට හිරවුණේ අලුත් ඡන්ද ක්‍රමයක් ගෙන ඒමට යාමෙන්. මොකද, ආණ්ඩුව තීරණය කළා මේ ක්‍රමයට ඡන්දය පවත්වන්න ඕන කියලා. ඒ වගේම සීමා නිර්ණය කටයුතු කරලා අලුත් ක්‍රමයට යන්න ආසන සකස් කරන්න ඕන. එතනදී තමයි ලොකු ගැටලුවක් ආවේ. ඒ වගේම කාන්තා නියෝජනය 25%ක් කරන්න ඕන කියලා ගැටලු ඇතිවුණා. මේ සම්බන්ධව අගමැතිතුමා කමිටුවක් පත් කළා මාස දෙකක් තුළ වාර්තාවක් ලබාදෙන්න. නමුත් ඒ වාර්තාව කල් ගියා. ඊට අමතරව දේශපාලන පක්ෂ කියනවා දැන් අලුත් ක්‍රමයට යන්න ගොඩක් කල් යන නිසා අපි පරණ ක්‍රමයට යමු කියලා. මේ වගේ කරුණු කාරණා තමයි මේ පළාත් සභා මැතිවරණය කල් යන්න හේතුව. නමුත් ජනතාව කියන්නෙ දේශපාලන පක්ෂ අකැමැතියි මේක කරන්න කියලා. ඉතින් දැන් පනතක් ගේන්න ඕන පරණ ක්‍රමයට නැවත තියන්න ඕන කියලා. ඒ නිසා මගේ මතය තමයි මේ අලුත් ක්‍රමයක් ගෙනාව නිසා තමයි මේක මේ තරම් දුරට හිරවුණේ කියන එක."

රටට වැඩක් නැති පළාත් සභා ඡන්දවලින් වැඩක් නෑ
ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය

"මේ පළාත් සභා කියන්නෙ සුදු අලියෙක් පමණයි. තවත් දේශපාලන අධිකාරියක් තමයි මේ මගින් නිර්මාණය වෙන්නෙ. අනෙක මොවුන් කිසිවෙක් රටට නෙවෙයි වැඩ කරන්නෙ. ඔවුන්ගේ යහපතට පමණයි වැඩ කරන්නෙ. ඒ නිසා පළාත් සභා මැතිවරණයක් ඕනෑ නෑ කියන මතයේ තමයි මම මූලිකවම ඉන්නෙ. මේ පළාත් සභා ප්‍රමාදවෙලා තිබෙන්නේ නව මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු නිසා. ඒ වගේම මේ කටයුතු සොයා බැලීමට පත්කළ කමිටුවත් ඒකෙ කටයුතුත් ප්‍රමාද වුණා. ඒ වගේ කටයුතු නිසා තමයි පළාත් සභා මැතිවරණය ප්‍රමාද වී තිබෙන්නේ. කොහොම වුණත් පළාත් සභාව කියන්නේ තවත් සුදු අලියෙක් කියන එක තමයි මගේ අදහස."

අලුත් ඡන්ද ක්‍රමය ආණ්ඩුව උප්පරවැට්ටියක් කරගෙන
ජනාධිපති නීතිඥ - මනෝහර ද සිල්වා

"පළාත් සභා මැතිවරණය මේ තරම් ප්‍රමාද වීමට හේතුව තමයි අලුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට තීරණය කිරීම. ඒ වගේම තමයි කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩිකිරීම මගින් වූ ප්‍රතිශත ප්‍රශ්නයද මෙයට ගැටලුවක් වුණා. ඇත්තටම මේක කළේ මේ මැතිවරණ කල් දැමීමට තියෙන වුවමනාව මත. දැන් කියනවා නව ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන්න බැහැ, පැරැණි ක්‍රමය යටතේ මැතිවරණ පවත්වන්නත් බැහැ කියලා. නමුත් ඉක්මණින් මේ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි. මොකද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය අයිතියක් තමයි මේ ඡන්දය. ඇත්තටම මේක සහ මේ ක්‍රමය රජය විසින් පළාත් සභා කල් දැමීමට භාවිත කළ උප්පරවැට්ටියක්. මේකට විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් වගකියන්න ඕන. මොකද, ඔවුනුත් ඒ පනත් සම්මත කර ගනිද්දී ඒවායේ තියෙන අයහපත් කරුණු පිළිබඳ විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් කරලා නැහැ."

 

සටහන:- හසිත් අංජන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00