කොළඹ රොස්මිඩ් පෙදෙසේ සයිලන් ලක්ෂරි විලා එකේ පිහිටලා තියෙන Brew Bar එකට මම පහුගියදා ගොඩවුණේ සමාජ මාධ්‍යවල දාලා තිබුණු පෝස්ට් එකක් දැකලයි. ඒ තමයි Brew Bar අලුතින් හඳුන්වා දෙන bubble waffles ගැන විස්තරයක් තිබුණු නිසයි.
මෙතැන තියෙන්නේ කෑම ජාති කිහිපයක් පමණයි. හැබැයි ඒ කිහිපය හරිම රසවත් විදිහට පිරිනමන්න ඔවුන් සැළකිලිමත් වෙලා තියෙනවා. Waffles රස බලනවා නම් අනුගමනය කරන්න තියෙන්නේ හරිම සරල පියවර කිහිපයක් විතරයි. මුලින්ම කැමැති වොෆ්ල් එක තෝරගන්න ඕනෙ (ඔරිජිනල් ද චොක්ලට් ද කියලා). ඊට පස්සේ අයිස්ක්‍රීම් වර්ගෙ තෝරගන්න ඕනෙ (චොක්ලට් නැත්නම් වැනිලා). තුන්වැනියට උඩින් යොදන ටොපින් එක තෝරාගත යුතුයි (න්‍යුටෙලා නැත්නම් කැරමල්). අන්තිමට ඇතුළට යොදන්නේ මොනවාද කියලත් තීරණය කරන්න ඕනෙ (ඔරියෝ, කිට්කැට් එහෙමත් නැත්නම් ස්නිකර්ස්).
ඊට අමතරව කට දැවිල්ලට වොෆ්ල් එකක් කන්න ඕනෙ නම්, පොල් සම්බෝල සහ චීස් යොදපු Pol sambol, cheese "sunny side up එකක් නැත්නම් චීස් සහ සොසේජස් දාපු Cheese, sausage & Sunny side up එකක් ඇණවුම් කරන්න පුළුවන්.
අවන්හලේ හිමිකරුවන්ගෙන් අහලා බැලුවම මේ බබ්ල් වොෆ්ල් එකේ මුල් බිම තමයි හොංකොං දේශය. ඔවුන් කියන විදිහට බබ්ල් ටීවලට පස්සේ තියෙන හොඳම සොයාගැනීම විදිහටත් බබ්ල් වොෆ්ල් හඳුන්වන්න පුළුවන්. මෙතැන තියෙන බබල් වොෆ්ල්වලින් ස්වීට් වොෆ්ල්වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ. විශේෂයෙන්ම කිට්කැට් සහ ස්නිකර්ස් යොදපු වොෆ්ල්.
වොෆ්ල්වලට අමතරව මම මෙතැනදී තවත් අපූරු බීමක් අත්හදා බැලුවා. ඒ තමයි චීස් ටී. ශීත කරපු ලිචී චීස් ටී කියන්නේ ටිකක් අමුතු හැබැයි විශේෂ රසයක් ගේන බීමක්. චීස් සහ තේ කොහොමද කියලා ගැලපෙන්නෙ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඒකෙ අමුතුම රසයක් තියෙන බව කියන්න ඕනෙ.
- ධනූ
ඡායාරූප – you’re my favorite