2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

බීඩි කොළ බිස්නස් එක කා දමන හොරු

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 516

බීඩි කොළ ආනයනය පසුගිය සමයේ ලාංකික සමාජ කතිකාවතට තුඩු දුන් තේමාවක් විය. රට හෙල්ලූ රේගු වර්ජනයේදී රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය ඉවත් කිරීමට බීඩි කොළ ආනයන සම්බන්ධ ජාවාරමක් හේතු වී යැයි කියවුණි. නන් දෙසින් ඇසුණු මෙවන් කතා නිසාවෙන්ම අපි බීඩි කොළ කතාවේ සුලමුල සොයා බැලීමට තීරණය කළෙමු. 

දුම්බීම කොතරම් ශරීරයට අහිතකර වුවද මෙරට සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් දුම් බොති. කම්කරු පංතියේ අඩු ආදායම් ලබන ජනයාත්, වතුකරයේ කම්කරුවනුත් නිතැතින්ම බීඩි බීමට හුරුවී සිටිති. සිගරුට්ටුවකට වැය කරන මුදලින්  දහයෙන් එකක් වැය කර බීඩියක් මිලට ගැනීමට හැකි වීම ඊට හේතුවයි. මේ අනුව ලාංකික වෙළෙඳපොළ සඳහා අවශ්‍ය බීඩි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුවේ. නමුත් ඒ සඳහා අවශ්‍ය බීඩි කොළ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබයි. බීඩි එතීම වෙනුවෙන් යොදාගන්නේ කුඩුන්බේරිය ශාකයේ පත්‍රය. මෙරට ඇතැම් ප්‍රදේශවල මෙම ශාකය වැවෙන නමුත් දේශගුණික සාධකය මත එම කොළ තත්ත්වය බාල බව කියවේ. මේ හේතුව මත ලංකාවේ බීඩි නිෂ්පාදනය සඳහා ඉන්දියාවෙන් ඔරිස්සා ප්‍රාන්තයෙන් බහුල වශයෙන් බීඩි කොළ ආනයනය කරයි.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ රජයේ බදු ප්‍රතිපත්ති මත මෙසේ ආනයන කරනු ලබන බීඩි කොළ සඳහා අධික බදු අය කිරීම සිදුවේ. එම බදු මුදල කිලෝවකට රුපියල් දෙදහහසකට පමණ වඩා වැඩි වෙයි. වසරකට බීඩි කොළ කිලෝ ලක්ෂ අටත් දාහතරත් අතර ප්‍රමාණයක් ආනයන කරන නිසාවෙන් බීඩි කොළ ආනයනයෙන් ජාතික ආර්ථිකයට විශාල ආදායමක් එකතු වේ. බීඩි කොළ ආනයන සඳහා විශේෂ අවසර පත්‍රයක් ද අවශ්‍ය වන අතර එය ලබා ගැනීමට මිලියන පහක් පමණ වැයවෙන බව ද කියවේ. එම නිසාම බීඩි කොළ ආනයනකරුවන් සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවකි. එහෙත් බීඩි එතීම සිදුකරන පිරිස් හා ඒ ආශ්‍රිතව ව්‍යාපාර කටයුතුවල නිරතවන්නන්ගේ ප්‍රමාණය ලක්ෂ පහකට අධිකය.

දැන් මොහොතකට අසන්නතම සිදුවීම දෙසට අවධානය යොමු කරමු.  බීඩි කොළවලට රේගුවේ සම්බන්ධය සිදු වූයේ මෙසේය. පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනි දින බංගලාදේශයේ සිට ගුවනින් ගෙන එන ලද අඩි 40 ක රෙදිපිළි කන්ටේනරයක බහා බීඩි කොළ තොගයක් ගෙනවිත් තිබෙන බවට රේගුවට ඔත්තුවක් ලැබුණි. මෙය ඉතාලියට ප්‍රති අපනයනය කිරීමේ මුවාවෙන් මෙරටට ගෙනා කන්ටේනරයකි. රේගුව මෙම කන්ටේනරය වරායේ අංගනයේ තිබී පරීක්ෂා නොකර ඉවත් කරගෙන යාමට ඉඩ ලබා දී ඇත. පසුව  ලුහුබැඳ ගොස් වත්තල පිහිටි අංගනයක් තුළට එය රැගෙන යාමේදී පොලීසියේ ද සහය ඇතිව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අංගනය වත්තල නගරසභාවේ ප්‍රබල දේශපාලනඥයෙක්ට අයත් වූවකි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ. එම සිදුවීමට සම්බන්ධ යැයි සැක කෙරෙන රේගු නිලධාරියෙක්ව ද අනිවාර්යය නිවාඩු යැවීමට කටයුතු කර තිබේ. මේ සියලු වැටලීම් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ නියෝග මත ක්‍රියාත්මක විය.

බීඩි කොළ ජාවරම සම්බන්ධව රටම දැනුවත් වන්නේ ඉහත සිදුවීම හරහාය. රේගුව දියත් කරන ලද වර්ජන  පැවැති මොහොතේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රීලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බීඩි කොළ ජාවාරම හෙළිකිරීම අධ්‍යක්ෂවරිය ඉවත් කිරීමට හේතු වූ බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. මෙහිදී ප්‍රසිද්ධ දේශපාලකයෙක් මේ පිටුපස සිටින බවත් ගම්මිරිස්, කරුංකා ජාවරමට සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙය මෙහෙයවන බවත් චෝදනාවක් ලෙස මතුවිය. විපක්ෂයේ බොහෝ කණ්ඩායම් රේගු වර්ජන සමයේ බීඩි කොළ කතාව දේශපාලන කරළියට රැගෙන අවේය. අවසානයේ කෙසේ හෝ බීඩි කොළ සම්බන්ධ විශාල වංචාව සිදුවන බව රටම දැනගත්තේය.

එම වංචාව සිදුවන්නේ කෙසේද? අපි ඊට පිළිතුරු සොයමු. නීති විරෝධීව මෙරටට බීඩි කොළ ගෙන්වන්නේ අල, ලූනු, පාවහන්, රෙදිපිළි  කන්ටේනර් තුළ සඟවමිනි. මෙසේ බීඩි කොළ මිටි 100 ක් වංචනිකව ගෙන්වීමෙන් වරකට කෝටි දෙකකට අධික ලාභයක් ජාවාරම්කරුවාට ලැබේ. අඩි 20 ක කන්ටේනරයක් තුළ සාමාන්‍යයෙන් අනෙක් භාණ්ඩ සමඟ සඟවා බීඩි කොළ මිටි පනහක් පමණ ගෙන ආ හැකි බව ද කියවේ. මේවා ආනයනයේදී හසුවන්නේ ඉතා කලාතුරකිනි. ඒ බොහෝ විට ඔත්තුවක් ලැබුණහොත් පමණි.  එසේ හසුවුව ද පසුගිය සමයේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී සුළු දඩයක් ගෙවා එම තොග නිදහස් කරගැනීමට ජාවරම්කරුවෝ සමත් වූහ. ඔවුන්ට දේශපාලන රැකවරණය ලැබීම එසේ වීමට හේතුව බව අද වන විට සාක්ෂි ලැබෙමින් තිබේ. බීඩි කොළ ආනයන වංචාවන් හේතුවෙන් රජයට ලැබිය යුතු බිලියන ගණන් ආදායම් පසුගිය සමයේ අහිමි වී ඇති බව දැන් ඔබට වැටහෙනු ඇත.

බදුගෙවන ව්‍යාපාරිකයාත් ජාවාරම්කාරයන් නිසා අමාරුවේ වැටිලා
රාජ්‍ය අමාත්‍ය චම්පිකා ෙප්‍ර්මදාස

“මම කර්මාන්තය අරම්භ කරන දවසේ බීඩි කොළ රාත්තලක මිල රුපියල් හතරයි. අද බීඩි කොළ කිලෝ එකක් හාරදහස් හත්සිය පනහත් හාරදහස් අටසීයත් අතර පවතින්නේ. මුදල් අමාත්‍යාංශයෙන් හා සුරාබදු අමාත්‍යාංශයෙන් පනවපු බදු මත එහෙම වෙලා තියනවා. ඒ අනුව බීඩි කොළ ආනයනය කරන අය සහ නිෂ්පාදකයන් නීතිමය විදිහට බුද්ධිමය දේපළ පනත යටතේ ලියාපදිංචි වෙන්න ඕනා. සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ලයිෂන් එකක් ගන්න ඕනෑ.

අද බීඩි කොළ ආනයනයේදී වරායට බීඩි කොළ මිටි සීයක් ආවම හරියටම ඩියුටිය විදිහට දෙකෝටි විසිපන් ලක්ෂයක් ගෙවිය යුතුයි. එහෙම නීත්‍යානුකූල කොළ ගේනවාට අමතරව ඉන්දියාවෙන් හොරට කොළ ගෙනැල්ලා වරායේ යම් යම් නිලධාරීන් එක්ක එකතුවෙලා වෙනත් ද්‍රව්‍ය විදිහට එළියට ගේනවා. එහෙම එළියට ගෙනැල්ලා විකුණන්නේ රුපියල් හාරදහස් අටසීයට. මෙහෙම වුණාම බදුගෙවන නිවැරදි ව්‍යාපාරිකයාට ව්‍යාපාරයක් කරන්න බෑ. 

පසුගිය කාලයේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ සහ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යතුමන්ගේ නායකත්වය යටතේ වරායේ බීඩි කොළ ආනයනය කරන ටෙන්ඩර් පරික්ෂා කරනු ලැබුවා. එහි දී ව්‍යාජ විදිහට ගෙන්වන අය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. එයින් කෝටි සීයක පමණ ආදායමක් රජයට ලැබුණා.  එහෙත් මේවන කොට මන්නාරම් මුහුදෙන් සහ ගුවනින් බීඩි කොළ ගෙනෙනවා. 

ශ්‍රී ලංකාවේ බීඩි කර්මාන්තයට අනුයුක්තව කටයුතු කරන්නේ කාන්තාවෝ. මේ කාන්තාවෝ බීඩි ඔතලා ගෙදර දරුවොයි මහත්තයයි ජීවත් කරනවා. මේ කර්මාන්තය පටන් ගත්තේ ඉන්දියානුවෝ. ඒ සඳහා සාධකය වුණේ මෙරට පැමිණි ඉන්දියානු වතු කම්කරුවන් බීඩි බීමට හුරු වී සිටීමයි. ඒ අනුව ලංකාවේ බීඩි කර්මාන්තය ආරම්භ වුණේ රාජා බීඩි, ටොක්ලාල් බීඩී, රාමා ක්‍රිෂ්ණ බීඩී යන ආදී වශයෙන්. අද මේ කර්මාන්තයේ සිංහල, මුස්ලිම්, දමිළ, බර්ගර් ව්‍යාපාරිකයන් ඉන්නවා. රටේ බීඩි කම්කරැවෝ ලක්ෂ පහමාරකට වැඩිය ඉන්නවා.

සියලු බදු ඇතුළත්ව බීඩි කොළ කිලෝවක් රුපියල් පන්දහසකට ආසන්න අගයක් ගනී. ඉන්දියාවේ දී මේවායේ මිල රුපියල් දහසක් පමණ වේ. හොර පාරෙන් ගෙන්වීම හරහා ලැබෙන ලාභය ඉතා අධිවන්නේ එලෙසිණි. අද වෙළඳපොළ බීඩි මිල තීරණය වීමට ද ඉහත ජාවරම තිරණාත්මක ලෙස බලපා තිබේ. මෙරට ලක්ෂ පහකට අධික පිරිසකගේ ජීවන උපාය මෙය බව අමතක නොකළ යුත්තකි. බීඩි ඔතන සාමාන්‍ය කම්කරුවාගේ පටන් නිත්‍යනුකූල කුඩා හා විශාල පරිමාණයෙන් ව්‍යාපාරයේ නිරත පිරිස් අද සිටින්නේ විශාල අර්බුදයකය.

මෙම ක්‍රමයට අමතරව ඉන්දියාවේ සිට රහසේ බෝට්ටු මගින් උතුරු නැගෙනහිර පළාත්වලට බීඩි කොළ තොග ගෙන ඒම සිදුවේ. මෙය ද සිදුවන්නේ මහ පරිමාණ ජාවරම්කරුවන්ගේ අනුග්‍රහය යටතේය. 2017 සහ 2018 වසරවලදී මෙවන් තොග අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම සිදුව තිබේ.  පසුගිය වසරේ දී මන්නාරම ජුම්මා දේවස්ථායේ භූමියේ දමා ගොස් තිබුණු බීඩි කොළ කිලෝ 519 ක් අත්අඩංගුවට ගැනුම ඉන් ප්‍රධානය. මන්නාරම් මුහුදේ පාවෙමින් තිබූ ලක්ෂ පනහක් වටිනා බීඩි කොළ තොගයක් ද ධීවරයන් විසින් එකතු කොට රේගුවට බාරදී තිබිණි. මේ ආදී වූ සිදුවීම් රාශියකි. ජාවරම් තවත් කොටස් ලෙස අනාවරණය වන්නේ දේශීය බාල කොළවලින් බීඩි නිෂ්පාදනය සිදුකරන පිරිස් පිළිබඳ කතාවයි.

සැලකිය යුතු අවස්ථා ගණක දී මෙම ජාවරමට අදාළ තොරතුරු රජයේ බලධාරීන් හමුවේ අනාවරණය වී තිබේ. එහෙත් මෙය වළක්වා ගැනීමට විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම සිදුවූයේ නැත. එනිසාම ඉහළ අත්තක සයෝගය මීට ඇතැයි මතුවන සැකය සාධාරණය. කෙසේ නමුත් රේගුවේ වර්ජනයේ වැදගත්  ප්‍රතිඵලයක් ලෙස බීඩි කොළ ජාවරම හරහා කෙරන මහා පරිමාණ බදු වංචාව පිළිබඳ තතු රටට හෙළිදරව් වී තිබේ.

අද දවස වන විට විශේෂ විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් මුදල් අමාත්‍යාංශයෙන් රේගුවට ලැබී ඇත. එය යහපත් ප්‍රවණතාවයකි. එහෙත් මෙම ජාවරම රේගුවට තනිව මැඩ පැවැත්විය නොහැකි බව අපගේ අදහසයි. සියලු ආරක්ෂක අංශවල මැදිහත් වීම සිදුවිය යුතුය. පුළුල් ක්‍රියාන්විතයක් දියත් විය යුතුව තිබේ. වංචාකාරී ලෙස කටයුතු කළ සහ කරමින් සිටින සියල්ලන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන තුරු අප අවධානයෙන් බලා සිටිමු. 

 

 


►චමිඳු නිසල් ද සිල්වා