2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

සයිබර් යුගයට මොකට බයවෙන්නද?

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 185

 ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග

ප්‍රවීණ සාහිත්‍යධරයෙක් මෙන්ම නාට්‍ය රචකයකු හා අධ්‍යක්ෂවරයකු ද වන කපිල කුමාර කාලිංගගේ නවතම සාහිත්‍ය නිර්මාණය අදිසි නදියයි. මෙම කෘතිය සුරස පොතකි. ඔහුගේ පියැසි කවුළුව නවකතාවට 2012 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශ විය. සැප්තැම්බරයේ දිග දවසක් නවකතාව 2015 ෆෙයාර්වේ සම්මාන සඳහා නිර්දේශ වූ අතර කන්දේ වීදිය නවකතාවද ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශ විය.

ඔබේ අලුත්ම නවකතාව වෙනස්ම තේමාවක් පදනම් කරගෙන තිබෙනවා. ඒ ගැන කිව්වොත්?

‍මෙය බොහෝ කලක සිට මගේ සිතේ පැළපදියම්ව වැඩෙමින් තිබූ තේමාවක්. ඊට නිමිති වූ ප්‍රවාද හෝ සත්‍ය පසුබිම් දෙකක් පෙරවදනෙහිලා මා සඳහන් කර තිබෙනවා. ලෝක සාහිත්‍ය හා සංසන්දනය කරන විට සිංහල නවකතාව බොහෝ පසුගාමීයි. අප ඉන් මිදෙන්නට නම්, නව තේමාවන් ඇසුරැ කළ යුතු යැයි මා විශ්වාස කරනවා. අදිසි නදිය ඒ සඳහා ගත් උත්සාහයක්. එය කොදෙව් සීමාවෙන් පිටතට ගමන් කරන්නක්.

බොහෝ ලේඛකයන් අලුත් ආකෘති අතර හිරවෙලා ඉන්න අතර ඔබ වෙනස් තේමා සොයා ගොස් වෙනස් කියවීමක් පාඨකයාට ලබාදෙන්න උත්සාහ කරන බව පේනවා?

මා ලෝකයේ නව සාහිත්‍ය කෘති පිළිබඳව යාවත්කාලීන වීමට උත්සාහ දරන ලේඛකයෙක්. විදෙස් ලේඛකයන්ගේ අලුත් නිර්මාණ කියවන බොහෝවිට, %මෙබඳු නවකතා අපට ලිවිය නොහැක්කේ මන්ද? යන පැනය මා තුළ පැන නගිනවා. අප ජීවත් වන්නේ කුඩා කොදෙව්වක වුණත්, ගත්කරැවෙකුට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙහි ඕනෑ තරම් තිබෙනවා. එහෙත් අප ඉන් ප්‍රයෝජන ගැනීමට පෙළඹෙන්නෙ නැහැ. මා මුලින්ම උත්සාහ කළේ, මටම පුද්ගලිකව විඳිය හැකි, පරිකල්පනයට මුල්තැන දෙන ලිවීමක යෙදෙන්නයි. සිංහල පාඨක ලෝකය මගේ සිතින් ඈත්කර තබා, මා සඳහාම වූ ලිවීමක නිරත වුණා. එය, ලේඛකයාත් මම, පාඨකයාත් මම* වැනි හැඟීමක්. එවිට මා අනවශ්‍ය බැඳීම්, සිරවීම් මෙන්ම අනවශ්‍ය අපේක්ෂාවන්ගෙන් මිදෙනවා. අදිසි නදිය ලියුවේ එබඳු නිදහසක ආස්වාදය භුක්ති විඳිමින්. මෙය මා කියැවීමට කැමති වර්ගයේ නවකතාවක් යැයි සෑහීමකට පත්වූ පසුවයි, ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළේ. ඇත්තෙන්ම, මට අවශ්‍ය වුණේ මා තුළ සිටින අතෘප්තිමත් පාඨකයාට, සංග්‍රහයක් කිරීමට. මෙය වෙනස් කියවීමක් වේවි.

එතකොට මේ නවකතාව තැනක්, චරිතවලට නමක් නැති ඕපපාතික එකක්ද?

කිසිම ලේඛකයෙකුට ඕපපාතික වීමට නොහැකියි. ඔබේ පරිකල්පනය විශ්වය පුරා සැරිසැරුවත්, ඔබේ දෙපා පිහිටා ඇත්තේ යථාව මතයි. අදිසි නදියේදී හමුවන නගරයට නිශ්චිත නමක් නැති වුණත්, එය ලෝක සිතියමේ කොතැනක හෝ පිහිටා තිබෙන්නක් සේ ඔබට හැඟේවි. එසේත් නැත්නම් අපූරැ නගර කිහිපයක, චරිත කිහිපයක සංකලනයක්.

හොඳ නවකතාවක් කියවා අවසන් කළ නොහැකිය යන මතයේ මා සිටිනවා. ඔබ එය සමඟ ජීවත් වීමට පටන්ගන්නවා. එහි චරිත සමඟ ඇසුරැ කිරීමටත්, ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කිරීමටත් පෙළඹෙනවා. 

මෙම නවකතාවේ එන චරිත කිසිසේත්ම ඕපපාතික නෙවෙයි. ප්‍රධාන චරිතය වන මැක්ස් එක්සෙල්ගේ රූපකාය මම ලබාගත්තේ, මාල්බරෝ දුම්වැටි දැන්වීමේ එන කඩවසම් අශ්වාරෝහකයාගෙන්. එහෙත්, නවකතාවේදී ඔහු සිගරට් දුමින් පෙනහළු පුරවාගන්නැයි කියන්නෙකු නොව, අනතුරක අභිමුව සිටින නගරයක් හා එහි වැසියන් ගලවාගැනීමේ මානුෂික මෙහෙවරක යෙදෙන පුද්ගලයෙක් බවට පත්වෙනවා. කෙසේ වෙතත්, මගේ කතානායකයා වීරයෙක්ද, නැද්ද යන්න තීරණය කිරීම පාඨකයාට බාර කෙරෙනවා. ඔහුගේ දැක්ම සහ කාර්යභාරය (vision and mission) සඵල වූයේද යන්න පිළිබඳව, මා පවා තවම කල්පනා කරනවා. ඇත්තෙන්ම, මෙය ස්ථර කිහිපයකින් (layers) යුත් කියැවීමක් ලෙස ඔබට හැඟේවි. මෙය කියවා අවසන් කිරීමට අපහසු නවකතාවකැයි මා නැවතත් කීමට කැමති ඒ නිසයි.

අද පළවන සම්මාන ලැබුණු සමහර නවකතා කියවීමට දුෂ්කර බවට පාඨකයන් මැසිවිලි නගනවා. ඔබටත් එය නිරීක්ෂණය වුණාද?

කිසියම් නවකතාවක් කියැවීම දුෂ්කර යැයි බහුතර පාඨකයන් දොස් නගනවා නම්, එතන ප්‍රශ්නයක් තිබෙනවා. එය ව්‍යාජ සාහිත්‍ය කෘතියක් විය හැකියි. එහි වගකීම ලේඛකයා විසින් බාරගත යුතුයි. ලෝක සාහිත්‍යයේ එන කිසිදු විශිෂ්ට නවකතාවක්, කියැවීම අපහසු නැහැ. නවකතාව යනු රසවත් කියැවීමක්. එකතැන පල්වන වැල්වටාරමක් නෙවෙයි. අතිසන්වාදී නවකතා, කෙටිකතා ලියූ ෆ්‍රාන්ස් කෆ්කා පවා, නැවත නැවත කියැවිය හැකියි. ඉවසීමෙන් කියැවිය යුතු උසස් නවකතා තියෙනවා. එහෙත් ඒවා පවා, මඟදී අතහැර දැමිය නොහැකියි. පාඨකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ නවකතාවකට සම්මානයක් පිරිනැමුවත්, එය තාවකාලික කීර්තියක් පමණක් බව, මෙරට සාහිත්‍ය සමාජය වටහාගෙන තිබෙන දෙයක්.

සමහර ලේඛකයෝ ලියනවා පමණයි, අලුත් ලේඛකයන්ගේ පොත් කියවීම මදිකමක් කියලා හිතනවා. ඒ ගැන කිව්වොත්?

සාහිත්‍යයේදී අලුත් - පරණ භේද වලංගු වන්නේ නැහැ. තරුණ ලේඛකයෙකු වුණත්, හොඳ පොතක් ලියුවහොත්, වයස් භේදයකින් තොරව ඒ පාඨකයන් එය කියැවීමට පෙළඹෙනවා. ලේඛකයන්ටත් මෙය පොදු සත්‍යයක්. නිදසුනක් වශයෙන් මහින්ද මස්ඉඹුලගේ ^සෙංකොට්ටන්^ නවකතාව දැක්විය හැකියි. ඔහු අලුත් නවකතාකාරයෙක් වුණත්, ඒ පොත හැමෝම කියෙව්වා. තවමත් එය අලෙවි වෙනවා. එහෙත් ඔහුගේ දෙවැනි නවකතාව අසාර්ථකයි. මස්ඉඹුල පවා, එය ඔසවා තැබීමට වෙහෙස ගත්තේ නැහැ. විෂය බද්ධ ඥානයෙන් යුත්, වයෝවෘද්ධ පුද්ගලයන් අතර නවකතාව අසාර්ථක වන බව අප දැක තිබෙනවා. මෙහිදී වැදගත් වන්නේ අලුත්, පරණ බව නොව, ප්‍රතිභාපූර්ණ හා ප්‍රතිභාහීන යන කාරණාවයි.

සම්මාන ඉලක්ක කරගෙන ආකෘතිමය හරඹපාන සමහර නවකතාවල කතා රසයක් නැහැ වගේ?

ලේඛකයෙකුගේ ඉලක්කය විය යුත්තේ, උසස් නිර්මාණයක් බිහිකිරීම පමණයි. එයට සම්මාන පිරිනමනවාද නැද්ද යන්න, අදාළ උත්සව සංවිධායකයන්ගේ සහ විනිශ්චය මණ්ඩලවල කාරියක්.

ආකෘතිය යනු, අන්තර්ගතය තුළින් නිරායාසයෙන් බිහිවන්නක් බවයි, මගේ විශ්වාසය. එය කල්තියා සැලසුම් කර, බලහත්කාරයෙන් පැවසිය හැක්කක් නොවේ. ආකෘතිය අලංකාරයක් මිස හරඹයක් විය නොහැකියි. කතා වින්‍යාසය සාර්ථකව ගොඩනැගීමට ආධාර වන ස්තම්භයන් බඳුයි ආකෘතිය. අදිසි නදිය ලියා නිමවන තුරැ එහි ආකෘතිය පිළිබඳ පූර්ව නිගමනයක් මා තුළ තිබුණේ නැහැ. නිදහස්ව ලියන්න. රසවත්ව ලියන්න මගේ ආදර්ශපාඨය නම් එයයි.

ලෝකයේ දියුණු රටවල තාක්ෂණය ඉහළින් තිබුණත් තරුණ පෙළ යම් කියවීමක් කරන බව පේනවා. අපේ තරුණ පෙළ කියවීම මඟහරිනවා. අපේ තාරැණ්‍යය ස්මාර්ට් ෆෝන් එකෙන්, සයිබර් අවකාශයෙන් මුදවා මුද්‍රිත පොත්වල සාහිත්‍යයට අද්දවා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ඔබ හිතනවාද?

මිනිසාගේ සංස්කෘතිය පරිණාමයට ලක්වන බව අප පිළිගත යුතුයි. අද අප එළැඹ සිටින්නේ, සයිබර් සංස්කෘතික යුගයකට. එහිදී සන්නිවේදන තාක්ෂණය, මුද්‍රිත වචනය අභිබවා, වේගයෙන් ඉදිරියට ගිහින්. ජනමාධ්‍ය විශ්වාසය බිඳගත් නිසා, තරුණ පරපුර ඉන් ඈත්ව සමාජජාලා බිහිකරගත්තා. සිංහල සාහිත්‍යකරැවාද, නැවත විශ්වාසය දිනාගත යුතුයි. ලෝකයේ පොත් කියවීම නතරවෙලා නැහැ. මිලියන ගණනින් පොත් අලෙවි වෙනවා. එකම එක නවකතාවකින්, ප්‍රකෝටිපතියන් වූ ලේඛක, ලේඛිකාවන් ලොව සිටින බව අමතක නොකළ යුතුයි. (මෙය ශ්‍රී ලංකාවට අදාළ නැත.) සයිබර් යුගයට බියවීම, තලියෙහි කිඹුලන් දැකීමක් ලෙසයි මට හැඟෙන්නේ. සාහිත්‍ය යනු මිනිසාගේ අමරණීය නිෂ්පාදනයක්. ලෝකය අවසාන වන තුරැම, එයට ස්ථාවර ස්ථානයක් හිමිව තිබෙනවා.

 කුසුම්සිරි 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00