2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවකයන්ගේ සමාජ ජාලා කොක්ක...

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

මධ්‍යම පළාත තුළ රාජකාරී අවස්ථාවන් තුළදී සමාජ මාධ්‍ය ඇතුළුව ජංගම දුරකතන භාවිතය තහනම් කිරීමත් රාජකාරී අවස්ථාවන් තුළදී එම මෙවලම් භාවිතා කරන රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ගනුලැබූ තීරණය පසුගියදා මාධ්‍යවල පළවිය.

මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ බොහෝමයක් නිලධාරීන් හා නිලධාරිනියන්ගේ රාජ්‍ය සේවකයන් හා සේවිකාවන් රාජකාරී වේලාව තුළදී රාජකාරියෙන් පිටත කාර්යයන් සිදුකිරීම නිසා යැයි කියවේ.

ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට එවැනි ක්‍රියාවල නිරතවූවොත් අදාළ සේවකයා හා සේවිකාව වහාම සේවයෙන් නෙරපීමට කටයුතු කරනු ඇත.

අද රාජ්‍ය සේවය ඉතා ලාභදායි ආදායම් මාර්ගයක් යැයි ඇතැම්හු කියති. පෞද්ගලික ආයතන පද්ධතීන් අතොරක් නොමැතිව තරගකාරී වැඩ පරිසරයක පසුවන විට රාජ්‍ය සේවකයන් ඉතා සුවපහසු මානසිකව ලාභදායි සොච්චම් වැඩක් පමණක් කර වැටුප් ලබාගන්නා සේවාවක් යන්න ජනතාවගේ චෝදනාව වෙයි.

ආණ්ඩුකාරවරයා මෙම චෝදනා ද සැළකිල්ලට ගෙන මෙසේ තීරණයකට එළඹුණා වන්නට පුළුවන. අනෙක් අතට ඇතැම් අවස්ථාවල රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්ෂම බව මේ රටේ බොහෝ දෙනා දැක ඇත. එසේ වූවත් රාජකාරියට මුල්තැනදී සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදෙන නිලධාරීන් ද සිටින බවත් සඳහන් කළ යුතුය.

ඒ කෙසේ වුවද මෙම කාරණාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයාගේ පැත්තෙන් ද කරුණු කාරණා ඉදිරිපත් කිරීමට තිබෙන බව රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලලිත් ඉන්දික මහතා අපට පැවසීය. ඔහු කියන්නේ රාජ්‍ය සේවකයන් යනු සිරකරුවන් නොවන බවයි. ඔවුන්ට ද සිවිල් අයිතිවාසිකම් තිබේ. රාජ්‍ය සේවකයා පෞද්ගලික අංශයට සාපේක්ෂව ඉතා අඩු පඩියට රැකියාව කරන්නේ එය සේවයක් ද ලෙස සළකාගෙනය. එමෙන්ම පෞද්ගලික අංශය තුළ මෙන් ඉතා පහසු ලෙස තනතුරු ලැබීම් හෝ රුකියාවේ උසස් වීම් එසේත් නැතිනම් රැකියාවට ප්‍රවේශවීම සඳහා ඇති කාර්ය පටිපාටින් බොහෝය. ඒවා සරල නැත. රාජ්‍ය සේවකයාට බොහෝ කොන්දේසි තිබේ.

අනිත් අතින් රාජ්‍ය සේවකයා මෙසේ සිය සේවය නිසි පරිදි ලබා නොදෙන්නේ නම් අද අප රට තුළ පවතින රාජ්‍ය ආයතන මෙසේ හොඳින් ක්‍රියාත්මක වන්නේ නැත. පළාත් සභා විසුරුවා හැර තිබෙන තත්ත්වයක් තුළද රාජ්‍ය සේවකයා. ඉටුකරන පුළුල් කාර්යභාරය ඊට උදාහරණයකි. එහෙයින් රාජ්‍ය සේවකයන්ගේ හැසිරීම් පාලනය කිරීමට දේශපාලනඥයාට කිසිසෙත්ම නොහැකි බවත් තමන් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය ඉතා පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් එම ප්‍රකාශය ගැන තමන් ලජ්ජාවට පත්වන බවත් ලලිත් ඉන්දික මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සේවකයන් බොහෝවිට රාජකාරී වේලාවන්වලදී දුරකතන භාවිතා කරනු ලබන්නේ රාජකාරීමය කටයුතු සඳහා බවත් ඒ සඳහා සිය පෞද්ගලික ජංගම දුරකතනය නොමසුරැව භාවිත කිරීමට ඔවුන් පැකිලීමකින් තොරව ක්‍රියාකරන බවත් ඔහු කියයි.

ඒ කෙසේ වුවද රාජ්‍ය සේවකයන් අතර ද තම වගකීම් පැහැර හරිමින් ජංගම දුරකතනවල ඇලී කටයුතු කරන අයවලුන් ද සිටින බව සඳහන් කළයුතුය. එය ඕනෑම අවස්ථාවකට පොදු වියහැකිය. ඕනෑම තැනක ඉතා සුළුවෙන් හෝ නරක ලෙසින් ක්‍රියාකරන්නවූන් සිටිය හැක. එහෙත් එසේ වූ පමණින් සමස්තයටම තර්ජනාංගුලිය දිගුකිරීම කිසිසේත්ම සාධාරණ නැතිබව වෘත්තීය සමිති නිලධාරීන්ගේ මතය වී තිබේ.

ඒ කෙසේ වුවද රාජ්‍ය සේවකයන් අතර ඉතා කැපවීමෙන් කලට වේලාවට වැඩකරනා නිලධාරීන් සැලකිය යුතු පිරිසක් සිටිති. පොදුවේ අපට රාජ්‍ය සේවකයා යන්නෙත් වහරන විට සිහිවන්නේ යථෝක්ත අදහස්වලින් සමන්විත රූපකායක් හා වැඩ පරිසරයකි. එසේ වීමට හේතුවී ඇත්තේ අවුරුදු ගණනාවක් පුරා රාජ්‍ය සේවකයා ගැන තිබුණු සාම්ප්‍රදායික මතය නිසාය. කෙසේ වුවද ඒ සම්ප්‍රදායික අදහස අද දවසේ ඒ තරම්ම වලංගු බව අපට කිව නොහැක.

අද දවසේ ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතනයක කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වන අවස්ථා ද තිබේ. ඇතැම් ආයතනවල දිවා රාත්‍රී සේවා මුර පවතී. ඇතැම් රාජ්‍ය ආයතන ලෝකය සමඟ නවීන අදහස් සමඟ වෙනස් වී හා අලුත් වී ඇති බව පෙනීයයි.

කෙසේ වුවද ජංගම දුරකතන හා සමාජ මාධ්‍ය භාවිතය අද රාජ්‍ය ආයතන මතුනොව බොහෝමයක් කාරණාවලදී ව්‍යාධියක් බවට පත්ව ඇත්තේ එයට ඇබ්බැහි වීම හේතුවෙනි. මුහුණු පොතේ සංසරණය වුණු එක්තරා ඡායාරූපයක දැක්වුණු වෙලාව 3.45ට පමණ කාර්යාලයෙන් බැහැරවෙන සේවකයන් සෙල්ෆි ඡායාරූපයක් ගෙන තිබීම එය උදාහරණයකි.

රාජ්‍ය සේවකයා වුවද තරුණයකු හෝ තරුණියක් නම් සෙසු අයට මෙන් ඔවුන්ට ද යම්කිසි ලෙසකින් මේවා භාවිත කිරීමේ ආසාවක් තිබිය හැක. එමෙන්ම මේවා භාවිත කිරීම සඳහා උවමනාවක් ද තිබිය හැක. නමුත් රාජකාරී වෙලාවේදී ඔවුන් විෂය පරිචය තුළ වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු නොකිරීම කිසිසේත්ම සමාවදීමට හැකි කටයුත්තක් නොවේ.

සමාජ මාධ්‍ය ජාලා සිය කාර්යාල වෙලාවන්වලදී භාවිත කිරීම නූතන ලෝකය විසින් මුළුමනින්ම බැහැර කර නැත. ඇතැම් ආයතන හා අධ්‍යාපනයන් පෙන්වා දී තිබෙන්නේ සමාජ මාධ්‍ය භාවිතය නිලධාරීන් සේවකයන් හා ජනතාව අතර කාර්යක්ෂම සම්බන්ධයක් සඳහා හේතුවන බවය.

2012දී සිදුකරනු ලැබූ එක් අධ්‍යයනයකින් ප්‍රකාශ වුණේ සේවයකු දිනකට සාමාන්‍යයෙන් පැය 1.5ක් සිය රාජකාරී කාලය තුළ සමාජ මාධ්‍ය භාවිත කරන බවයි. ඒ අනුව සතියකට පැය 7.5ක් ද මසකට පැය 30ක් ද අවුරුද්දකට පැය 390ක් ද වශයෙන් පැය ගණනාවක් ඔවුහු මෙසේ සමාජ ජාලයේ සැරිසරති.

කෙසේ වුවද එම අධ්‍යයනය විසින් වැඩ පරිසරයක් තුළ සමාජ ජාලා භාවිතයෙන් අත්වන වාසි හා අවාසි ද පෙන්වා දී ඇත. ඒ අනුව සේවකයාගේ මානසික මට්ටම වැඩි දියුණුව හා ධනාත්මක් අදහස් ඇති වීම. පාරිභෝගිකයා හෝ සේවය ලබාගන්නා අතර හොඳ පැහැදීමක් ඇතිවීම, මනා සන්නිවේදනය, පෞරුෂ වර්ධනය අත්වීම වැනි ධනාත්මක බලපෑමක් ඇති කරන බව එමගින් කියවෙන අතර වැරදි භාවිතය, අන්තර් ජාලය ආශ්‍රිත තාක්ෂණික වෛරසයක් පැතිරීම, සබඳතා පළුඳුවීම, කාලය අපතේ යෑම වැනි ඍණාත්මක බලපෑම් ඇතිවේ. එම අධ්‍යයනය අවසානයට පෙන්වා දෙනු ලබන්නේ සමාජ ජාලා භාවිතය තුලනාත්මකව සිදුකළ යුතු බවය.

එමෙන්ම එම අධ්‍යයනය තව දෙයක් පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය ජාලා රාජකාරී වෙලාව තුළ භාවිතා කිරීම තහනම් කරනු ලැබුවද බොහෝ ආයතන පද්ධතීන් තුළ ඒවා හොර රහසේ හෝ කෙසේ හෝ භාවිත කරන්නට සේවකයන් උත්සාහ කරන බවයි. එය ඇත්තෙන්ම අභියෝගයක් වේ. එසේ සමාජ මාධ්‍යජාලා තහනම් කරන්නේ නම් ඒ සඳහා ප්‍රවේශ වන අවස්ථාවන් සඳහා ද ඉඩ ඇහිරිවීමට හැකි විය යුතුයි. අතින් එසේ කළ නැතිද යන්න ප්‍රායෝගිකව කල්පනා කර බැලීම අවශ්‍යය.
එම්. ඉශාක්