2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ලොතරැයි අලෙවිකරුට ලක්ෂ 25ක් දුන් කෝටිපතියා

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 402

“මනුස්සයෙක් ඇවිත් මට දිනුම් ඇදපු ලොතරැයියක් දීලා මේකට රුපියල් දාහක් තියෙනවා, මම තව කිහිපයක් ගන්නවා කියලා ලෑල්ලේ තිබුණු ලොතරැයි තෝරන්න ගත්තා. මම අතට ගත්ත ලොතරැයිය බලද්දි ඒකෙ රුපියල් දාහක් නෙවේ, දහදාහක් තියෙනවා. ඒ බව මම මනුස්සයාට කීවා. ගල්ගැහිලා මා දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ලොතරැයි කූඩුව ඉස්සරහින් මීටර් දහයක් විතර දෙපැත්තට එහාට යනවා මෙහාට යනවා. ඒ විදිහට දහ පහළොස් වතාවක් යන්න ඇති. මනුස්සයාට අදහාගන්න බැරිවෙලා දහදාහක් ඇදිලා කීවාම. අන්තිමට මම කතා කරලයි මිනිහාගේ ඇවිදීම නවත්වා ගත්තේ. එයා ඒ තරම් ලොතරැයි කූඩුව ඉස්සරහින් එහා මෙහා ඇවිදලා තියෙන්නේ හිතේ සතුටට. කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිවලු.” යැයි රංජිත් ප්‍රේමලාල් මහතා සිය ලොතරැයි අලෙවි කුටියේ සිටම පැවසීය.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පවත්වාගෙන යන ලොතරැයි අලෙවි කුටියේ සිට ඔහු මේ බව ප්‍රකාශ කළේ ලොතරැයි අලෙවිකරුවන් සිය වෘත්තීය තුළදී අත්විඳින සිදුවීම් පිළිබඳව රසය අප හමුවේ කියමිනි.

රංජිත් ප්‍රේමලාල් මහතා අවුරුදු තුනක් තිස්සේ ලොතරුයි අලෙවි කරනු ලබයි. මාස කිහිපයකට ඉහතදී ඔහු අලෙවි කළ ලොතරැයිපතකට රුපියල් ලක්ෂ දහයක මුදල් ත්‍යාගයක් හිමිව ඇති බව ඔහු පැවසීය. ඔහුගේ අලෙවි කුටිය පිහිටා තිබුණේ රජයේ ප්‍රධාන පෙළේ දෙපාර්තමේන්තුවක් අසලය. සේවකයන් තුන්දහසක් පමණ ඇතැයි කියන එහි පිරිස බොහෝවිට ලොතරැයි මිලදී ගන්නේ ඔහුගෙනි.

“සති තුනකට විතර කලින් මෙතන ලොතරැයියකට රුපියල් දහදාහක් ඇදුණා. ඒක ඇදිලා තියෙන්නේ මෙතන තියෙන දෙපාර්තමේන්තුවේ කෙනකුට. එයා මාතර පැත්තේ කෙනෙක්. මම දන්න අඳුනන කෙනෙක්. හැබැයි දිනුම ගන්න මගේ ළඟට ආවේ නෑ. ඒජන්සියට ගිහින් අරගෙන තියෙනවා. මට එයාගේ යාළුවොත් විස්තර කීවා. එදා ඉඳන් මේ හාදයා මගේ ලොතරැයි කූඩුවට ඈතින් ඉක්මනට යනවා. මේ පැත්ත බලන්නේ නෑ. මම සල්ලි ඉල්ලයි කියලා හිතලද දන්නෙ නෑ” රංජිත් ප්‍රේමලාල් මහතා පවසයි.

“මම විකුණන ලොතරැයියට මට කොමිස් මුදලක් ලැබෙනවා. කාටවත් ඇදෙන මුදලෙන් මම මුදල් බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කාටවත් හොර බොරු කරන්නේ නෑ. මුලින්ම මම විකුණුවේ ටිකට් 450ක් විතර. අද දවසකට දාහක් විකුණනවා. මම අවංක නිසා මිනිස්සු එනවා.” යැයිද ඔහු කීය.

ලොතරැයි අලෙවිය නිසා හඳුනාගත් හිතවත් මහත්මයකු පිළිබඳව ඔහු පවසා සිටියේය. රංජිත් ඔහු හඳුන්වන්නේ වත්තල මහත්තයා වශයෙනි. ඒ එම පුද්ගලයා වත්තල ප්‍රදේශයේ පදිංචි අයකු බැවිනි.

“මගෙන් ලොතරැයි ගන්න ආපු මහත්තයෙක් ඉන්නවා. එයා වත්තල ව්‍යාපාරිකයෙක්. කන්ටේනර් කිහිපයක් තියෙනවා. මගෙන් ගොඩක් ලොතරැයි ගන්නවා. දවස් ගාණකට පස්සෙ ඇවිත් මගෙන්ම අංක ඉල්ලලා බලනවා. මම පිළිවෙළට ලස්සනට දිනුම් අංක ලියලා තියෙනවා. ඒකට ඒ මහත්තයා හරි කැමතියි. දවසක් මහත්තයා නෝනා එක්ක ඇවිත් ටිකට් අරගෙන මගේ පොතක් නෝනාට පෙන්නුවා. පස්සෙ දවසක එයාලගේ ඉස්කෝලෙ යන පුතා එක්කගෙන ඇවිත් දිනුම් අංක පොත පෙන්නුවා. ඒ විදිහට අකුරු ඉලක්කම් ලියලා පිළිවෙළට වැඩ කරන්න කියලා උපදෙස් දෙනවා මම දැක්කා.”

රංජිත් මහතාගේ කතාබහට සමුදුන් අපි කොටුව රීගල් සිනමාහල අසල ලොතරැයි අලෙවි කුටියක් පවත්වාගෙන යන එච්.පී.එල්. විජේසුන්දර මහතා සමඟ කුළුපහ වූයෙමු.

“මම 1989 ඉඳන් ලොතරැයි අලෙවි නියෝජිතයෙක්. නොමියෙන මිනිසුන් කියන චිත්‍රපටය තිරගත වුණේ 1994 දී. ඒක බලන්න ආපු කෙනෙක් මගෙන් ගත්ත ලොතරුයියකට රුපියල් ලක්ෂ 98ක් ඇදිලා තියෙනවා. ඊට පස්සෙ ලක්ෂ 10, 20 වාර ගණනාවක් ඇදිලා තියෙනවා. රුපියල් 10,000 තෑගි අනන්ත ඇදෙනවා. අනිවාර්යයෙන් රුපියල් දහතුන් දහසක, පහළොස් දහසක, 20, 40, 50 තෑගි මුදල් මගෙන් ගන්නවා. දැන් කොළඹට වඩා පිට පළාත්වලට තෑගි ඇදෙනවා කියලා මට දැනෙනවා.”

රන් පවුම් දෙකක් දිනුම් ලැබෙන ලොතරැයිපතක් කලකට ඉහතදී අලෙවි කළ බව ඔහු කියයි. එහි දිනුම ප්‍රමාදවෙමින් පැවැති නිසා රන්පවුම් 113ක් දක්වා වර්ධනය වූ පසුව දිනුම ලැබී ඇති බවද කීය.

“මගේ ගෝලයා නවම් මාවතේ ලොතරැයි කුටියක ඉන්නවා. එයාගෙ ලොතරැයි කිහිපයක් රෑ වෙද්දී ඉතිරිවෙලා. අන්තිමට ඒ ලොතරැයියකට රුපියල් කෝටි 6ක් එයාට ඇදුණා. ගෝලයා තවමත් මේ රස්සාව කරගෙන ඉන්නවා. තවත් මම දන්න යුද හමුදාවේ සහ නාවික හමුදාවේ මහත්වරු දෙන්නකුට කෝටි 6 ගාණෙ ඇදිලා තියෙනවා.” යැයි පැවසීය.

විජේසුන්දර මහතාගේ කතාබහෙන් සමුගත් අප විදුලිබල මණ්ඩල කාර්යාලය අසල ලොතරැයි අලෙවි කුටිය පවත්වාගෙන යන පී. වික්‍රමසූරිය මහතා සමඟ කතාවට වැටුණෙමු.

“මමයි අර රීගල් එක ළඟ ලොතරැයි කූඩුව කරන කෙනයි තමා මේ අවට ඉන්න පරණම ලොතරැයි අලෙවිකරුවො දෙන්නා. කාලය අවුරුදු 25ට වැඩියි. අනිත් හැමෝම මෑතකදි ආපු අය. මගේ ලොතරැයිවලට කෝටිය, ලක්ෂ 78, ලක්ෂ 20, දසදහස වගේ තෑගි ගොඩක් ඇදිලා තියෙනවා.

වික්‍රමසූරිය මහතාගේ කතාව ඇසූ අප මැලේ වීදියේ ලොතරැයි අලෙවි කුටියක් පවත්වාගෙන යන මහින්ද මහතාගේ කතාවට ඇහුම්කන් දුන්නෙමු.

“මම නම් ලොතරැයි අලෙවි කරන්න ඇවිත් මාස 8 යි. පොඩි පොඩි තෑගිනම් ගොඩක් තිබුණා. මාස දෙකකට කලින් ලක්ෂයක දිනුමක් ගියා. ඇදුණු කෙනා මම දන්න කෙනෙක්. හැබැයි එයා මට කීවේ නෑ. නවලෝක ළඟ ලොතරැයි කූඩුවේ කෙනාට කියලා තියෙනවා. එදායින් පස්සෙ තවමත් මගෙන් ලොතරැයියක් ගන්න ආවේ නෑ. මම එයාගෙන් සල්ලි ඉල්ලයිද මහත්තයෝ..” යැයි කීය.

ලොතරැයි අලෙවි වෘත්තිය පෙනෙන තරම් පහසු නැත. අලෙවියේ හැටියට ලැබෙන කොමිස් මුදල ඔවුන්ගේ ආදායමයි. අලෙවි කුටි පවත්වාගෙන යන පිරිස් මෙන්ම ලොතරැයිපත් රැගෙන යතුරුපැදිවලින් හා පාපැදිවලින් ජංගම සංචාරයේ යෙදෙන අය මෙන්ම පාගමනින් ඇවිදින අයද සිටිති. මේ කතාව එවැනි අසරණ ලොතරැයි අලෙවිකරුවකු පිළිබඳවය.

කොළඹ නගරය ආසන්නයේ ගෙයින් ගෙට ගොස් ලොතරැයි අලෙවි කළ අයෙකි. පෙරවරුවේ ගෙයින් ගෙට ගිය ඔහු සුවිසල් නිවෙසක වසා තිබූ ගේට්ටුවට තට්ටු කරමින් සිට ඇත්තේ ලොතරැයියක් අලෙවි කිරීමටය. මෙරට ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වූ නිවෙස්හිමියා සුඛෝපභෝගී රථයෙන් පෙරමඟට ආවේ එවිටය. රථයට බාධාකළ ලොතරැයි අලෙවිකරු ලොතරැයියක් විකිණීමට ඇවිටිලි කළේය. උදෑසනම බෑ කියන්නට බැරි වූ ව්‍යාපාරිකයා ඔහුට රුපියල් සීයක් දිගුකර ලොතරැයි දෙකක් රැගෙන ඉතිරි මුදලද නොගෙන පිටව ගොස් තිබුණේ සතුටකිනි.

වුවමනාවට නොවුණද ලබාගත් ලොතරැයිපතේ දිනුම බැලූ ඔහුට රුපියල් දෙකෝටියක ත්‍යාග මුදලක් ලැබී තිබුණි. ව්‍යාපාරිකයා එම මුදල යොදවා පුණ්‍ය කටයුතු සඳහා ගිණුමක් ඇරඹුවේය. අනතුරුව ලොතරැයි අලෙවි නියෝජිත හරහා ලොතරැයි අලෙවිකරු සොයා ගිය ව්‍යාපාරිකයා ඔහුට කරුණු පවසා ලක්ෂ 25ක මුදලක් පරිත්‍යාග කළේය. වැදගත් පහසු කර්මාන්තයක් ආරම්භ කර ජීවිකාව ගෙන යන ලෙස ඔහුට උපදෙස් දුන්නේය. එපමණක්ද නොව, ඔහුගේ අනාගත කටයුතු පිළිබඳ තමා සෝදිසියෙන් සිටින බවද සැල කළේය. මේ බෞද්ධ සැදැහැති ව්‍යාපාරිකයා පිළිබඳව තොරතුරු අනාවරණය වූයේද ලොතරැයි අලෙවියේදී අත්දකින රසකතා සොයා ගිය ගමනේදීය.

කතාව/ සේයා රූ - 
     සමන්ත ප්‍රදීප් විල්තෙර