2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

රට ගැන කැක්කුමකින් ලියූ පොත් තුනක්...

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 146
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාය. ඔහු වෛද්‍ය විද්‍යාව පමණක් නොව සාහිත්‍යය ද ජීවිතය කරගත් වෘත්තිකයෙකි. වෛද්‍ය ශාන්තගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය හිටි නව කවි කවි ග්‍රන්ථය මාර්තු 4දා ප.ව.3.00ට කොළඹ 7 නව නගර ශාලාවේදී නිකුත් කිරීමට නියමිතය. ඒ සමඟම ඔහු විසින් රචිත වෙනස සොයා දෙඇස අයා විචාරාත්මක ග්‍රන්ථයත් ඉතාලි සැරිසර චාරිකා කෘතියත් පිළිබඳ කතිකාවක් ද සංවිධානය කර තිබේ
 
ශාන්ත හෙට්ටිආරච්චි සූරීන්ගේ වෙසෙසි කාව්‍ය රීතිය හා ශිල්ප ක්‍රම ද පාඨක අවධානයට පාත්‍ර විය යුත්තකි. මෙහි එන බොහෝ කවි මුක්තක ගණයට වැටෙයි. මුක්තක වන්නේ සම්පිණ්ඩිත එක් කවියකින් අදහස ප්‍රකාශ වන ප්‍රබන්ධ විශේෂයකි.යි හිටි නව කවි පිළිබඳ හැඳින්වීමක් සපයන සුනිල් සරත් පෙරේරා සඳහන් කර තිබේ.
 
බහුලව දක්නට ලැබෙන මුක්තක ගණයේ කවිවලට අමතරව කවි දෙක තුනකින් පමණක් එක් අදහසක් දෙන කලක ගණයේ කවි ද එහි එන බව සුනිල් සරත් පෙරේරා පවසා සිටී
 
අත කට හසුරැවයි හොඳ හැටි මනස යොමා
හතලිස් වසරකට කලිනුත් එහෙම තමා
බැලුවත් කුමන කෝණයකට වුවද දමා
හඳුනනු නොහැකි නැත කාලෝ ඇඳුරුතුමා
 
ඉහත සඳහන් කවියෙන් වෛද්‍ය ශාන්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ රූපකාය විස්තර කරයි. සෑම කවියකම අදහස කුළුගන්වන සේයාරූ ද ඉදිරිපත් කර තිබීම මෙහි විශේෂත්වයකි. එම සේයාරූ වර්ණයෙන් ඉදිරිපත් කළා නම් පාඨකයාට ලද හැකි වින්දනය තවත් ඉහළ යන බව නිසැකය.
 
පුරුද්දක් ලෙස උදේට ඇවිදීමට යන විට දකින දේ මම ඡායාරූපගත කරනවා. එවන් අවස්ථාවල උපදින කවි සිතුවිලි සමාජ මාධ්‍යවලට මුදාහැරීමත් මගේ පුරුද්දක්. ඒවායෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණු කවි තමයි මෙලෙස කෘතියක් ලෙස එළිදක්වන්නේ කතුවරයා පැවසුවේය.
 
ආර්නෝ ටයිබර් නදී අසබඩ ඉතාලි සැරිසර කතුවරයා ඉතාලියේ සිටි කාලය තුළදී ලත් අත්දැකීම් පාඨකයාට ලබාදීමට දැරූ උත්සාහයකි. කතුවරයා සරල ආකර්ෂණීය බස් වහරකින් මෙම චාරිකා කෘතිය රචනා කර ඇති නිසා පාඨකයාට ඔහුගේ අත්දැකීම් හා පහසුවෙන් බද්ධ වෙමින් මනසින් ටර්නෝ නදිය අසබඩ චාරිකා කිරීමට අවස්ථාව ලැබේ. ඒ අතරම පොදු ප්‍රවාහනය ගැන, සෞඛ්‍යය ගැන ද සාකච්ඡා කෙරේ. ඉතාලියේ වයස අවුරුදු 80, 85, 90 පුද්ගලයන් පවා බොහොම සෞඛ්‍යසම්පන්නව තම කාර්යයන් ඉටුකර ගන්නා ආකාරය අපට දකින්නට ලැබෙනවා. වයස 60ක කෙනෙක් ඒ රටේ මියයාම පුදුමයක් ලෙසයි සැලකෙන්නේ. ඒ වගේම කාබනික පොහොර භාවිතයෙන් වස විස නැති ආහාර බහුලව භාවිත කරනවා. ඒ වගේම ඔවුන්ගේ මනස සැහැල්ලුයි. වයස අවුරුදු 66න් විශ්‍රාම ගත්තාට පසු හොඳ විශ්‍රාම වැටුපක් පෞද්ගලික අංශයටත් හිමි වෙනවා වෛද්‍ය ශාන්ත පැවසුවේය.
 
පැරැණිව නොයන රමණීය රෝමය, ඉරිසියාව රට නිසාය, මඟ අවහිර හිඟ රෝමය, හැටේ මරණය පුදුමයක් ලෙස සලකන රට, ඉතාලියේ කලා අගනුවර ආදී වශයෙන් පරිච්ඡේද 11ක් ඔස්සේ මෙම කෘතිය පෙළ ගස්වා ඇත.
 
වෙනස සොයා දෙඇස අයා කෘතිය දේශපාලන සහ සමාජ විචාරාත්මක ලිපි 32ක එකතුවකි. මෙම කෘතිය පිළිබඳව මහාචාර්ය සුදන්ත ලියනගේ මෙසේ සඳහන් කරයි. වර්තමානයේ හෑල්ලුවට පත් දේශපාලකයා ද, හෑල්ලුවට පත් කළ දේශපාලනය ද පිළිබඳ සැබෑ විචාරණයක යෙදෙන්නට කතුවරයාට හැකි වී ඇත්තේ සිය ජීවිතයේදී ඇසුරැ කළ චරිත ද සහභාගීත්ව ක්‍රියාකාරකම් ද භාවිතයෙනි. පදවි අපේක්ෂාවට පටු වූ හා උගතුන්ට අකැප දේශපාලනය ගැන ද චණ්ඩිකමට ඉඩ අඩු නැති නෝණ්ඩි දේශපාලනය ගැන ද ඔහු පවසන දේ තුළ ගැබ් වී ඇත්තේ රටට හානිකර දේශපාලනයේ හදිසි වෙනසක අවශ්‍යතාවයයි. කෘතිය තුළ විවෘත විමසුමකට ලක්වන්නේ රටේ, සමාජයේ වර්තමාන කතාවය. එහෙත් ඒ කතාව තුළ වෛද්‍ය ශාන්ත සිය චරිතාපදානය ද මැනවින් ගලපා ඇති බව පැහැදිලිය.
 
ජීවිතය බෝනස් වූ 89, අහවර නොව තහවුරු කළ යුතු ගුරැ සිසු සබඳතාවය, ගෝර්කිගේ අම්මා සහ අපේ අම්මා, ගම් සභාවක් සේ රැකගත යුතු ගමේ පන්සල මෙහි ඇතුළත් ලිපි කිහිපයකි.
 
සාරධර්ම විනාශයෙන් දූෂිත දේශපාලනයේ බලපෑමෙන් වැනසෙන රට ගැන කැක්කුමකින් ලියූ ලිපි පෙළක් මෙහි අන්තර්ගතය. සෑම ලිපියකින්ම පාහේ කතුවරයා මධ්‍යස්ථ දැක්මකින් රටට යහපත උදාකරගත හැකි ඉඟි ද ඉදිරිපත් කරයි.
මෙම කෘති ත්‍රිත්වයම මරදාන ෆාස්ට්  පබ්ලිෂින්හි සුරස පොත්ය.
 
- පාඨක 
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00