2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

සම්මාන ගන්න උප්පරවැට්ටි යෙදීම නරකයි

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා

ඔබේ තිස්වන නවකතාවේ තේමාව උන්මාද වූ මිනිස් සමූහයක් ගැනයි. එහි තේමාව ගැන කිව්වොත්?

මා උන්මාදයයි කියන්නේ මේ පවතින සමාජ ස්වභාවය තුළ මිනිසාගේ චිත්ත ස්වභාවයයි. මෙය සම්මතයේ එන උන්මාදයන්ට වෙනස් ස්වරූපයක් ගන්නවා. භෞතික ආසාවන්ගෙන් මඬනා ලද මේ චරිතවල හැසිරීම තමයි මා මෙහි ප‍්‍රතිරූපණය කර තිබෙන්නේ. මොවුන් ඇතැම් විට සවිඥානිකව ක‍්‍රියාකරන බව පෙනුණත් එහි බොහෝ විට සවිඥානික ස්වභාවයක් නැහැ. ඔවුන් සාමාන්‍යයෙන් රාගයෙන් දැවෙන, වෛරයෙන් ක්‍රෝධයෙන් ඇවිස්සුන අය වන අතර ඔවුන්ට තමාගේ යථා ස්වරෑප පිළිබඳ වැටහීමක් තිබෙන අය වෙන්නට පුළුවන්. තමාගේ යථා ස්වරෑපය ගැන අවබෝධය තිබියදී සිදුවෙන මේ මිනිස් විපරීතය මා උන්මාද යන වචනයෙන් නම් කරනවා. උන්මාද මන්දිර නවකතාවේ බහුතරයක් චරිතවල මේ ස්වභාවය ඇතැයි මා සිතනවා. 

ඔබ මෑතක දී ලියූ මහා රාවණ, සූරියකන්ද පාමුල වගේ නවකතා කඳුකරය පසුබිම් කරගන්නවා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?

මහා රාවණ නවකතාව දිවෙන්නේ රාවණ කතාවල එන වටාපිටාව ආශ‍්‍රය කරගෙනයි. එම නවකතාවට ජීවය ලැබීමට නම් රාවණ අඩවිය තිබිය යුතුම වෙනවා. මා කලක් මේ ප‍්‍රදේශයේ ජනසාහිත්‍ය අධ්‍යයනය කළ අයෙක්. මෙහි ප‍්‍රධාන චරිතය රාවණ රජුගේ පුරා කතාවල අනුප‍්‍රාණය ලබා තිබෙනවා. අතිශයින්ම සුන්දර කඳුවැටි හා ගුප්ත ගුහාවල් රාවණා කතාවට අපූරැ සුන්දරත්වයක් හා ගූඪත්වයක් ලබාදෙනවා. මහා රාවණ ලියද්දී මගේ පරිකල්පනය සියට සියයක්ම අවදි කළේ ඔය රාවණ අඩවියයි. කඳු අතර පැතුරුණ නිහඬත්වය, කඳු මැදිකරගත් තුරුලතා අමුතුම හැඟීම් ඇතිකරන චරිත ජීවමාන කරන සාධක බවට පත්ව තිබුණා. මෙහි මානව සබඳතා කිසියම් ගූඪ භාවයක් ඇති කිරීමටත් මේ පරිසරයම හේතු වූ බව කිව යුතුයි. මේ වගේම උඩුගල වලව් පවුලක් ආශ‍්‍රය කරගත් සූරියකන්ද පාමුල නවකතාව මා ගත්තේ මෙරට භූමියේ රෑපකයක් ලෙසයි. මේ සූරියකන්ද පසුගිය කාලයේ මෙරට සංස්කෘතික පරිසරයේ හා මානව ජීවිතයේ සැඟවුණ කතාවක් මූර්තිමත් කරනවා. මෙහි එන මුළු වලව්වම නිහඬව මෙරට සංස්කෘතියේ බහුවාර්ගික සම්මිශ‍්‍රණය හා සදාචාර පරිණාමය කදිමට දක්වනවා. මා සූරියකන්ද නවකතාවේ වෙසසින්ම දක්වන්නට වෑයම් කළේ උඩරට කුලීන පරපුරේ දියවීයාම හා සදාචාරයේ පරිණාමයයි. මා මේ සඳහා කඳුකරය තෝරාගත්තේ උඩරට සම්භාවනීය පරම්පරාවල කතාව අල්ප වශයෙන් හෝ දක්වන්නට අවශ්‍ය වූ නිසයි.  

සංසාර මන්දිර නවකතාවෙන් පවසන්නේ වලව්කාර පවුලක් ධනයෙන් බලයෙන් රාගයෙන් ප්‍රේමයෙන් උන්මාදවීම නිසා සිදුවන ගැහැට ගැන. ඔබට බෞද්ධ සාහිත්‍යයෙන් මෙයට බලපෑමක් ලැබුණාද?

උන්මාද මන්දිර නවකතාව ලිවීමේදී බෞද්ධ සාහිත්‍යයේ ආභාෂය මට ලැබුණා යයි කිව නොහැකියි. එහෙත් මෙහි තේමාව අර්ථ ගැන්වීම සඳහා බෞද්ධ ධර්මයේ ධර්ම කාරණා ඉතා මැනවින් භාවිතාවට ගත හැකියි. එහෙත් මා එය භාවිතාවට ගත්තේ නැහැ. මෙහි ප‍්‍රධාන පාත‍්‍රවර්ගයා වලව්කාරයන්යයි කීම අසීරුයි. කඳුකරයේ ධනවත් වතුහිමි සම්භාවනීය පවුලක්යයි හැඳින්වීම වඩාත් නිවැරදියි. එමෙන්ම මෙහි සමාජ පරිසරය වන්නේද ධනවත් පන්තියේ ග‍්‍රහණයට හසුවූ වතුකරයේ දමිළ ජනයායයි කීම සාධාරණය. මෙම නවකතාවෙන් මා මතු කිරීමට අපේක්ෂා කළේ එක්තරා වතු හිමි ධනවත් පවුලක් මේ පරිසරයේ ජීවත් වෙමින් දමිළ ජනයා හා පවත්වන සංස්කෘතික සබඳතා ආදියයි. 

ඔබ මේ දිනවල අරාබි නිසොල්ලාසය පරිවර්තනය කරනවා. ඒ ගැන කිව්වොත්....?

මේ දිනවල මගේ මුළු කාලයම යොදවන්නේ ආරාබි නිසොල්ලාසයේ කතා පරිවර්තනය කිරීමටයි. දැනට මෙහි වෙළුම් හතක් පළකර තිබෙනවා. මෙයට කතා හයසියයක් අඩංගුයි. ඉතිරි හාරසියය මාර්තු, අප්‍රේල් අවසන් වනවිට හමාර කිරීමට අපේක්ෂා කරනවා. මේ අනුව වෙළුම් හතරක් පළවීමට නියමිතයි. අප රටේ සිංහලෙන් පළවන අරාබි නිසොල්ලාසයේ ප‍්‍රථම පූර්ණ පරිවර්තනය මෙය වෙනවා. වසර සියයක් කාලයක් තූළ අරාබි නිසොල්ලාසයේ කතා එකතු කිහිපයක් අල්ප වශයෙන් පළවී තිබුණත් පාඨකයාට පරිපූර්ණ අරාබි නිසොල්ලාසයක රසය විඳගන්නට ලැබුණේ නැහැ. එයට හේතුව මෙය දුෂ්කර ප‍්‍රයත්නයක් නිසා වෙන්ට ඇති. එහෙත් මා අනේක ලෞකික පීඩා මැද මේ පරිවර්තනය පාඨකයා වෙත ගෙන ඒමට මහත් වෙහෙසක් ගන්නා බව නිරහංකාරව කිව යුතුයි. 

ඔබ වෘත්තීය ලේඛකයෙක් බවට පත්වෙලා. අද සමාජයේ වෘත්තීය ලේඛකයකුගේ පැවැත්ම කෙසේද? 

ලංකාව වැනි රටක වෘත්තීය ලේඛකයෙකුගේ පැවැත්ම ලෙහෙසි නැහැ. පොත්වලට ලොකු වෙළඳපොළක් නොතිබීමත්, පොත් ව්‍යාපාරයේ මැදිහත්වීම අවමවීමත් එයට හේතුවක්. මෙය මා දන්නා ආකාරයට දෙමළ, මුස්ලිම් ලේඛකයින්ටත් පොදුයි. පොත් ව්‍යාපාරය සංස්කෘතික මෙහෙවරක් ලෙස කලක් තිස්සේ පිළිගැනීමත් වෘත්තීය ලේඛකයින්ගේ පැවැත්මට බාධයක් වී ඇති බව පෙනෙවා. කර්තෘ භාගය සියයට දහයේ මායිමෙන් ඔබ්බට වර්ධනය කිරීමට ඇතැම් ප‍්‍රකාශකයන්ගේ අකමැත්තත්, රජය මේ ගැන සානුකම්පිතව නොබැලීමත් ලේඛකයාගේ ආදායමේ වර්ධනයට බාධාවක් වී තිබෙනවා. තවද කිවහොත් ලේඛකයාගේ වෘත්තීය තත්ත්වය උසස් කිරීමට සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ වෙනත් ආයතන යම් උත්සාහයක් ගෙන නොතිබීමත් ලේඛකයාගේ වෘත්තීය පැවැත්මේ වර්ධනයක් ඇති නොවීමට හේතුවී තිබෙනවා. එමෙන්ම සිංහල දෙමළ ලේඛකයින්ගේ ආචීර්ණ කල්පික අදහස්ද වෘත්තීය ලේඛකයින් බිහිවීම මන්දගාමී වීමට හේතුවී තිබෙනවා. 

ඔබ සම්මාන රාශියක් හිමිකර ගත් ප්‍රවීණයෙක්. සම්මාන අපේ නිර්මාණ සාහිත්‍ය වර්ධනයට පිටුවහලක්ද?

ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ ඇගැයීම මෙන්ම ත්‍යාග ප‍්‍රදානය කිරීම ඔවුන් දිරිමත් කරන්නක් බව කිව යුතුයි. මෙය නිර්මාණ සාහිත්‍ය වර්ධනයටද හේතුවිය හැකියි. එහෙත් ත්‍යාග සම්මාන අපේක්ෂාවෙන් ලිවීම මෙන්ම ඒවා ලබාගැනීමට උප්පරවැට්ටි යෙදීම අහිතකරයි.

ප්‍රංශය, එංගලන්තය, අමෙරිකාව වගේ රටවල පවා ප්‍රවීණ ලේඛකයන්ට විශාල ගෞරවයක් තිබෙනවා. අපේ සමාජයේ ලේඛකයන්ට ඇති තැන ඔබ දකින්නේ කෙසේද?

ලෝකයේ ලේඛකයින් මහත් ගෞරවයට පත්ව සිටින්නේ ඔවුන් සම්පාදනය කළ ප‍්‍රබල පොත් නිසයි. සමාජය කම්පනය කරන, නව අරුත් සම්පාදනය කරන, අපූරු චින්තනය ඇති පොත් එම ලේඛකයින්ගේ කීර්තිය වර්ධනය කර තිබෙනවා. අප සමාජයේ බහුතරයක් ලේඛකයින්ගේ ගතානුගතික අදහස් නිසා ලේඛකයාගේ තැන මතුවී පෙනෙන්නේ නැහැ. අපේ බහුතරයක් ලේඛකයින්ට අලුත් අදහස් නෑ. නව චින්තන ධාරාවන් නැහැ. ගතානුගතිකයි.

 කුසුම්සිරි

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00