2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

වී කිලෝව 45ට අරන් 24ට දීලා

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශය යටතේ වන වී අලෙවි මණ්ඩලයේ සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාවෙන් කරුණු අනාවරණය වෙයි.

වී අලෙවි මණ්ඩලය වී ලබා දීමේදී ඇතැම් වී මෝල් හිමියන් ලබාගත් සියලුම වී සහල් බවට පත්කර සතොස ආයතනයට ලබා නොදී කොටසක් පමණක් ලබා දී ඉතිරි සහල් වෙනත් මාර්ගවලින් අලෙවි කිරීම හෝ තමන් ළඟ රඳවා තබා ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. එසේම සත්ව ආහාර වශයෙන් මණ්ඩලය සතු වී තොග ගත් මිලට වඩා විශාල අඩු මුදලකට අලෙවි කිරීම නිසා සෑහෙන අලාභයක් මණ්ඩලයට සිදුවී ඇති බවද කාරක සභාව ඉදිරියේ පවසා ඇත.

2013 වසරේ සහල් අපනයනය කිරීමේදී මෝල් හිමියන් 32 දෙනකු සඳහා මණ්ඩලයෙන් වී ලබා දී ඇති නමුත් එම මුළු වී තොගයෙන් කොටසක් පමණක් සහල් බවට පත්කර සතොස ආයතනයට ලබා දී තිබේ. සමහර මෝල් හිමියන් රඳවාගෙන ඇති සහල් සඳහා අදාළ මුදල් මණ්ඩලයට ගෙවා නොමැති බව පිළිබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා කර ඇත. කමිටුව වී අලෙවි මණ්ඩල නිලධාරීන්ගෙන් විමසා ඇත්තේ මෙම මුදල් අයකර ගැනීමට සහ මෙවැනි වංචා ඉදිරියේදී සිදු නොවීමට ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද යන්නය.

මේ පිළිබඳව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පවසා ඇත්තේ එම වී මෝල් හිමියන් 32 දෙනකු අතරින් 06 දෙනකුට එරෙහිව 2014 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඔවුන් අසාධු ලේඛනගත කර තිබෙන බවය. ගිවිසුම් නොමැතිව මෝල් හිමියන් සමඟ ගනුදෙනු කිරීම පිළිබඳ ඇතැම් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඉදිරියේදී වී මෝල් හිමියන්ගේ ලියාපදිංචිය පරික්ෂා කර ගිවිසුම්වලට එළඹීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෝල් 7ක් පොලු තියලා

මේ පිළිබඳ වෙන්වෙන් වශයෙන් තොරතුරු ඇතුළත් වාර්තාවක් මගින් චූදිත නිලධාරීන් කවුද යන්න සහ ඔවුන්ට එරෙහිව ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳ දන්වන ලෙස කාරක සභාව විසින් කරන ලස විමසුම අනුව 2017–08–22 ලිපිය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද වී මෝල් හිමියන්ගේ නාම ලේඛනය කමිටුවට එවා ඇත.

එම ලිපිය අනුව හාල් මෝල් 7ක ලේඛනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ මූලිකව වගකිව යුතු නිලධාරියා වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ. ඒ. යූ. එස්. පෙරේරාට එරෙහිව අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර ආයතනික මට්ටමින් මූලික පරික්ෂණයක් පවත්වා චෝදනා පත්‍ර නිකුත් කර ඇති නමුත් අධිකරණයේ නඩුවක් පවතින නිසා විනය පරීක්ෂණ කටයුතු තාවකාලිකව නවතා ඇති බවට ද වාර්තා කර තිබේ. එසේම මෙයට වගකිව යුතු තවත් නිලධාරීන් වෙතොත් ඒ අය පිළිබඳව ද විනය ක්‍රියා මාර්ග ගන්නා බව සාමාන්‍යාධිකාරී පොරොන්දු වී ඇත.

වී කුණු කොල්ලෙට දීමෙන් මිලියන 2487ක පාඩුවක්

කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති තවත් විශාල වංචාවක් වන්නේ සත්ව ආහාර සඳහා යැයි පවසා වී අලෙවි කිරීමෙන් සිදුකර ඇති අලාභයයි.

2014/ 15 මහ සහ 2015 යල කන්නවල අලෙවි මණ්ඩලය කිලෝව රුපියල් 45 බැගින් මිලට ගත් වී තොගයක් රුපියල් 45ට විකිණීමට හැකියාව තිබියදී 2016දී සත්ව ආහාර සඳහා යැයි කිලෝව රුපියල් 24 බැගින් පෞද්ගලික සමාගම්වලට විකුණා තිබෙන බව අනාවරණය වේ. මෙහිදී මණ්ඩලයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 2487.7කි. මෙම වී සමඟ හොඳ තත්ත්වයේ වී ද අඩංගු වී තිබී ඇති අතර මේවා අලෙවි කර ඇත්තේ සත්ව ආහාර නිෂ්පාදනය නොකරන වී මෝල්වලට බවද අනාවරණය වී තිබේ.

මෙහිදී වී අලෙවි මණ්ඩලයේ සභාපති පවසා ඇත්තේ ඒ වනවිට මණ්ඩලයේ ගබඩාවල විශාල අතිරික්තයක් තිබී ඇති අතර, ඉදිරි කාලයේ ගබඩා පහසුකම් සලසා ගැනීම සඳහා සුදුසු නුසුදුසු බව නොසලකා තොග නිකුත් කර ඇති බවය.

මෙහිදී වී ගබඩා පිළිබඳ කමිටුවේ අවධානය යොමුව ඇති අතර, ලංකාව තුළ දීප ව්‍යාප්තව වී ගබඩා කළ හැකි ගබඩා පිහිටි ස්ථාන සහ ඒවා දැනට පවතින රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශ පිළිබඳ තොරතුරු ද ඒවායේ ධාරිතාව සහ වී ගබඩා කළ හැකිද නොහැකිද යන්න පිළිබඳ ආදී විස්තර සතියක් තුළ කාරක සභාවට පිටපතක් සහිතව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වෙත යවන ලෙස නිර්දේශ කර ඇත. දැනට ඇති ගබඩා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නේ නම් කුමන දිස්ත්‍රික්කවල අලුතින් ගබඩා පිහිටවිය යුතුද යන්න පිළිබඳ විස්තර ද ඉල්ලා ඇත.

එසේම දැනට මණ්ඩලයට සිදුවන පාඩුව අවම වන පරිදි වී මිලට ගැනීම, තොග තබා ගැනීම හා විකිණීම ආදී කරැණු පිළිබඳ අධ්‍යයනයක් සිදු කර ඒ සඳහා උපාය මාර්ගික සැලසුම් නිර්මාණය කිරීම ගැන ද සාකච්ඡා වී ඇත. මේ පිළිබඳ වාර්තා සතියක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දී තිබේ.

පශු සම්පත් මණ්ඩලය වෙසක් තොරණක් ගහලා

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය තුළ සිදුවී ඇතැයි කියන අවිධිමත් ක්‍රියා පිළිබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා වී ඇත. මෙහිදී මහවැලි පශු සම්පත් සමාගමෙන් රුපියල් 18,489,772ක ණය මුදලක් අයකර ගත නොහැකි වීම පිළිබඳ විමසා ඇති අතර මෙම මුදල කුකුල් පැටවුන් ලබා ගැනීම සහ වෙසක් තොරණක් ඉදි කිරීම වෙනුවෙන් කළ වියදම් බව අනාවරණය විය. කුකුල් පැටවුන් ලබා ගැනීමට වැය වූ මුදල පියවීමට මහවැලි පශු සම්පත් සමාගම එකඟ වී ඇති නමුත් වෙසක් තොරණ සඳහා වූ වියදම පියවීමට එකඟ වී නොමැති බව ප්‍රකාශ විය.

අදාළ වෙසක් තොරණ පිළිබඳ අනුමැතිය ලබා දී ඇත්තේ කවුද යන්න සහ ඒ සඳහා වියදම් දරා ඇත්තේ කවුද යන්න මෙන්ම මෙයට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේද යන්න පිළිබඳව වාර්තාවක් කාරක සභාව ඉල්ලා ඇත. තවද එවකට සිටි ඇමැතිවරයා මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබේද යන්න ද විමසා තිබේ. එසේ වුවද මෙම වාර්තාව 2018-03-21 දින වනතුරු ද ඉදිරිපත් කර නොමැති බව අනාවරණය වී තිබේ.

2009 වසරේ සිට කන්තලේ ලංකා බැංකු ශාඛාවෙන් රුපියල් 2,092,150ක මුදලක් මණ්ඩලයට අයවීමට ඇති බවද අනාවරණය විය. කන්තලේ ප්‍රදේශයේ බඩඉරිඟු වගා කිරීමට සඳහා ලංකා බැංකු ශාඛාවෙන් ගොවියන්ට ණය ලබා දී ඇති අතර එම අස්වැන්න මිලදී ගැනීමට පශු සම්පත් මණ්ඩලය බැඳී තිබුණ ද අදාළ ගොවියන් ණය මුදල පියවා නැති නිසා බැංකුව ආයතනයේ ගිණුමේ ඇති මුදල රඳවා ගෙන ඇති බවද සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත.

අදාළ බැංකු ගිණුමේ විස්තර කාරක සභාව ඉල්ලා තිබුණ ද 2018-03-31 දින වනවිටත් එය ලබා දී නොමැත.

රටින් ගෙනා එළදෙනුන්ගේ පැටවු නොමිලේ දීලා

පශු සම්පත් මණ්ඩලය වෙලාඩ් රූරල් එක්ස්පෝටඩ් පෞද්ගලික සමාගම සමඟ ඇතිකර ගත් ගිවිසුමක් ප්‍රකාරව එළදෙනුන් ආනයනය කිරීමේදී සිදුව ඇති පාඩුව පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ. ව්‍යාපෘතිය සඳහා අධික වියදමක් දරා ඇති අතර ආනයනය කළ සතුන්ගෙන් සෑහෙන ප්‍රමාණයක් ගැබ් නොගැනීම පිළිබඳව ද විමසා තිබේ.

මෙහිදී පිළිතුරු ලැබී ඇත්තේ ආනයනය කළ ගැබ් ගත් එළදෙනුන් ලංකාවට ගෙනා පසු ගබ්සා වීම් සිදුව තිබෙන බවය. ලංකාවේදී ලැබුණු පැටවුන් අදාළ ඇමැතිවරයාගේ උපදෙස් පරිදි නොමිලයේ ගොවිපළවලට දී ඇති බවද අනාවරණය විය. මෙහිදී සභාපතිවරයා පවසා ඇත්තේ එම පැටවුන් නොමිලයේ දීම ව්‍යාපෘතිය අසාර්ථක වීමට හේතුවක්ව ඇති බවය. ප්‍රවාහනයේදී ගබ්සා වීම් හැරුණු විට දිවයිනට පැමිණි පසු සිදුවූ ගබ්සා වීම්වලට අදාළ සමාගමෙන් හානි පූරණ ලබාගත නොහැකි බවද අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ දා සිට අවසානය දක්වා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ද ආනයනය කරන ලද සියලුම සතුන් පිළිබඳ වාර්තාවක් ද කමිටුව ඉල්ලා ඇතත්, ඒවා 2018-03-31 දක්වා ඉදිරිපත් කර නොමැති බවද අනාවරණය කෙරුණි.

මෙලෙස ව්‍යාපෘතිය පිළිබඳ කළ ගෙවීම් ගැන ද කාරක සභාවේ විශේෂ අවධානය යොමුව ඇති අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ මණ්ඩලයේ නිලධාරීන් සහ ගිවිසුම අනුව මණ්ඩලය මෙහි පාර්ශ්වකරුවන් වී තිබේද යන්නද මණ්ඩලය සතු ගොවිපළවල අභ්‍යන්තර පාලනයක් සිදුව ඇද්ද යන්න ගැන ද කමිටුව විමසා ඇත. ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී භණ්ඩාගාර නියෝජිතයන්ගේ වගකීම කුමක් ද යන්න පිළිබඳ හා ගිවිසුම ප්‍රකාරව අදාළ පිරිවිතර සපයා තිබේද යන්න ගැනද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළ ද 2018-03-31 දින වනවිටත් එම විස්තර ඉදිරිපත් වී නොමැති බව අනාවරණය විය.

තවද ආයතනය සතු මැණික් පාලම ගොවිපොළේ ගිණුම්වල සංඛ්‍යා ලේඛනවල යම් අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන බවද කමිටුව ඉදිරියේ අනාවරණය වී තිබේ. මෙම ගොවිපොළ වර්ෂ කිහිපයක් පාඩු ලබා 2015දී රුපියල් 26,608,362ක ලාභයක් එකවර ලබා ඇති අතර අනතුරුව 2016 වසරේදී රුපියල් 135,613,497ක අලාභයක් යළි ලැබීම ගැන කාරක සභාවේ අවධානයට ලක්ව තිබේ.

අමාත්‍යංශය සමඟ සම්බන්ධ වී මේ අලාභයේ සංයුතිය පිළිබඳ වාර්තා කරන ලෙස මණ්ඩලයට දැන්වුව ද ඉල්ලා ඇති වාර්තාව 2018-03-31 දින වනතුරුම නොලැබී ඇති බව අනාවරණය කෙරුණි.

යසවර්ධන රුද්රිගු