2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

අලින්ට බලිඇර ප්‍රශ්නය විසඳගන්න පුළුවන්ද?

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 112

සංවර්ධන කටයුතු රටකට අවශ්‍යයි. ඒක වළක්වන්න බෑ. වාරිමාර්ග මත පදනම් වූ කෘෂි සංවර්ධන කටයුතුවලදී ඒ ගොවිතැන්වලට අලි ඇතුන් ආකර්ශනය වීම සිදුවෙනවා. දැනට ආසියානු අලි ජීවත්වන රටවල් 13 අතරින් ලංකාව සුවිශේෂයි. ලංකාවේ තමයි වැඩිම අලි ඝනත්වයක් තිබෙන්නේ. එය අන් රටවල්වලට වඩා 10 ගුණයකට වැඩියි. නමුත් අවාසනාවකට ලෝකයේ වැඩිම අලි මිනිස් ගැටුම පවතින්නෙත් ලංකාවේ. එලෙස සඳහන් කළේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දුය. අලි සංරක්ෂණ විශේෂඥයකු වන ඔහු තම ආචාර්ය උපාධිය ලබාගත්තේද අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳවය.

වර්ෂ 1960 වනවිට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 71.3%ක ප්‍රදේශයක අලි ඇතුන් ව්‍යාප්ත වී සිටියත් අද වනවිට එය 59.9%ක් දක්වා පහළ බැස තිබේ. වසර පනහක කාලය තුළ මෙරට භූමියෙන් 15% ක් අලි ඇතුන්ට අහිමි වී තිබෙන බව ආචාර්ය පෘථිවිරාජ් කළ පර් යේෂණයකදී සනාථ වී තිබේ.

සමස්ත ලංකාවම ආවරණය වන ආකාරයට වසර හතරක් මුළුල්ලේ මෙම පර්යේෂණය පවත්වා තිබේ. එවැනි පර් යේෂණයක් ශ්‍රී ලංකාවේ පමණක් නොව, ආසියානු අලි ජීවත්වන අනෙක් රටවල් 13 පවා පවත්වා නැති බව ඔහු පවසා සිටී. අතිවිශාල අලි ඇතුන් ප්‍රමාණයක් රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත් වෙනවා. මෙරට වනජීවී රක්ෂිත පවතින්නේ භූමියෙන් 30%ක පමණයි. අලි මිනිස් ගැටුම පාලනය කිරීමට භූමියෙන් 30%කට අලි ඇතුන් ගාල්කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවේ. ලංකාවේ අලි මිනිස් ගැටුම පාලනයට නම් කළ යුත්තේ අලි මිනිස් සහජීවන ආකෘතියක් නොහොත් වනඅලි හා මිනිසුන් සංහිඳියාවෙන් භූමිය පරිහරණය කිරීමයි. මෙම පර්යේෂණයෙන් ලැබුණු දත්ත පදනම් කරගෙන ලංකාවේ අලි ව්‍යාප්තිය පිළිබඳ සිතියමක් ද සකස් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජීවත්වන අලියා අප රටට ආවේණික උප විශේෂයකි. Elephas Meximus maximus (ශ්‍රී ලංකානු අලියා) නමින් ඌ හැඳින්වේ. පසුගිය කාලය දෙස බැලීමේදී පෙනෙන්නේ මෙම වටිනා වනජීවී සම්පත ආරක්ෂා කර ගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරැවන් කර ගැනීමට රට අපොහොසත් වී ඇති බවයි.

ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු ප්‍රමුඛ පර් යේෂණ කණ්ඩායමක් කළ පර්යේෂණය ලෝකප්‍රකට පර් යේෂණ සඟරාවක් වන Oryx සඟරාවේ අලුත්ම කලාපයේ First country wide survey of the Endangered Elephant towards better conservation and management in Sri Lanka යන නමින් පළවී තිබේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල වෙබ්අඩවියේද එය පළකර ඇත.

මෙම පර් යේෂණය සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත භූමිය වන වර්ග කිලෝමීටර් 65610 කිලෝමීටර් 25 බැගින් වන කොටු 2750කට බෙදා දත්ත එක්රැස් කරගෙන තිබේ. එක් කොටුවක් තුළ ජීවත්වන තුන් දෙනකුගෙන් දත්ත රැස්කර ගැනුණි. අදාළ ප්‍රදේශයේ අලි ඇතුන්ගේ හැසිරීම ගැන 2011 සිට 2015 දක්වා දත්ත ලබාගෙන තිබේ. පසුගිය කාලය තුළ අලිවැට ඉදිකිරීමෙන් වනාන්තරවලට අලි ගාල්කිරීමට රුපියල් මිලියන සිය ගණනින් වැය කළද එය අසාර්ථක වී ඇති බව මේ පර් යේෂණයෙන් හෙළි විය. පසුගිය වසර 60ක කාලය තුළ අලි ඇතුන්ට මෙරට භූමි ප්‍රමාණයෙන් 15%ක් අහිමි වුවද ඔවුන් අලුත් භූමි ප්‍රදේශ 1.6%ක් අත්පත් කරගෙන ඇති බවද හෙළිව ඇත.

දැනට අලි ඇතුන් ජීවත් වන්නේ කැබලිකරණය වූ කුඩා බිම් පෙදෙස්වල නිසා ඔවුන්ගේ ජීවිත මෙන්ම අවට ගැමියන්ගේ ජීවිතද අවදානමක පවතී. අලි ඇතුන් විදුලිවැට තුළට සීමාකිරීම වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ප්‍රජාමූලික විදුලිවැට සහ ගොවිජන සේවා කාර්යාල හරහා වගාබිම් ආරක්ෂා කිරීමට කාලීන විදුලිවැට ඉදිකිරීම වඩාත් ප්‍රායෝගික බව ආචාර්ය පෘථිවිරාජ්ගේ අදහසයි.

ආසියානු අලියා ජීවත්වන රටවල් 13 තුළ උන්ගේ ගහණය දළ වශයෙන් 40000-52000 දක්වා පමණ වන බව සැලකේ. උන්ගේ වාසස්ථාන වැනසී යමින් පවතින නිසා 1986 දී රතු දත්ත පොතටද ඇතුළත් කෙරුණි. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් 5000-6000 අතර සංඛ්‍යාවක් ජීවත්වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. දකුණේ හම්බන්තොට සිට උතුරේ චුණ්ඩිකුලම් දක්වාත්, වයඹ පුත්තලමේ සිට නැගෙනහිර පුනරින් දක්වාත් අලියා ජීවත් වෙයි. වාර්ෂිකව අලි ඇතුන් 150-200ක් පමණ අලි මිනිස් ගැටුම නිසා මරණයට පත් වෙති. අලි පහරදීමෙන් වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව 70ක් පමණ වේ.

අලියා යනු බුද්ධියක් සහිත ජීව විශේෂයකි. මේ නිසා උන් පහසුවෙන් ගොනාට ඇන්දවිය නොහැකිය. ඒ නිසා එම සතුන් වාසභූමිවල කොටුකර හෝ එම වාසභූමිවලින් පිටුවහල් කර ඔවුන්ගෙන් මිනිසාට එල්ලවන තර්ජන වැළැක්වීම අපහසුය. මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිලෝමීටර් 3000ක් දිගට අලිවැට ඉදිකර තිබුණද, අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නැත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිටින්නේ වනජීවී ආරක්ෂාව සඳහාය. නමුත් අද එම දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ මිනිසුන්ගේ ආරක්ෂාවට කටයුතු කිරීමටය.

මේ නිසා තම තමන් ලෙස හෝ ගොවි සමිතියක් ලෙස සංවිධානය වී ගමට, වගාබිමට ආරක්ෂාව සලසා ගැනීම වඩාත් ප්‍රායෝගික බව ආචාර්ය පෘථිවිරාජ්ගේ අදහසයි. එමෙන්ම එහිදී විදුලිවැට ඉදිකර තිබෙන්නේ කුඹුරැ හෝ ගම්බිම් ආරක්ෂා කර ගැනීමට මිස අලින්ගේ ගමන් මාර්ග හරස් කර හෝ වාසභූමි හරස් කර නොවන නිසා අලි තුළ කෝපයක් ඇතිවීමද වැළැක්වේ. අලින්ට වනාන්තර හරහා නිදහසේ ගමන් කිරීමේ අවස්ථාවද ලැබේ. මෙය රජයේ පාර්ශ්වයෙන්ද අවධානයට යොමුකර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය කරුණකි. 

 කුසුම්සිරි විජයවර්ධන