වැරදි අර්ථකථන එපා:
ජනපති මැතිසබයේදී කියයි
ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂිත ප්‍රකාශ ගණනාවක් කළේය. තමන් දරණ ස්ථාවරය සම්බන්ධයෙන් වැරදි අර්ථකථන විවිධ පාර්ශ්ව විසින් ලබා දී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සම්බන්ධ විවේචනයක් තමන් සිදුනොකළ බවත්, අධිකරණයට සහ ජනතාවට තමන් පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙය සිදුකොට ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ව්‍යවස්ථා සභාවේ දේශපාලනඥයන් සංඛ්‍යාව වැඩිවීම මෙම අර්බුදයට හේතුවක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. සුජාත දරුවකු වූ 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය අද වනවිට අපචාරයට ලක්වී ඇතැයි ද ඔහු කීය.
ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පළවෙමින් තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා ස්ථාපිත වූ ව්‍යවස්ථා සභාව මගින් රටේ ඉහළ ධූරයන් සඳහා පත්වීම් සිදුකෙරෙයි. ඉහතදී විධායකය සතුව තිබූ බලතල අද ව්‍යවස්ථා සභාවට පැවරී ඇත. මෙහි අපේක්ෂාව ස්වාධීන අපක්ෂපාතී රාජ්‍ය නිලධාරීන් ඉහළ ආයතන සඳහා පත්කිරීමයි.
මෙහි සංයුතිය වන්නේ කතානායක, අගමැති, විපක්ෂනායක, ජනාධිපතිවරයාගේ නියෝජිතයකු, පාර්ලිමේන්තුවේ නියෝජිතයකු සහ තවත් සාමාජිකයන් පස් දෙනෙකි. ඊට ස්වාධීන සිවිල් ක්‍රියාකාරිකයන් තිදෙනෙක්ද ඇතුළත් වෙති. ඒ අනුව නීතිපති පොලිස්පති විගණකාධිපති, ශේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, විනිශ්චයකාරවරු ඇතුළු තවත් ඉහළ නිලධාරීන් පත්වන්නේ ව්‍යවස්ථා සභාවේ එකඟතාවයෙනි.
මෙම සභාවේ පත්කිරීම් සම්බන්ධව මුල් කාලයේ පටන් විවිධ මතිමතාන්තර තිබුණද එවා කරළියට පැමිණියේ ඔක්තෝබර් දේශපාලන අර්බුදයෙන් පසුවය. ව්‍යවස්ථාදායක සභාව සිදුකරන පත්වීම් පක්ෂපාතී බවට චෝදනා එල්ලවන්නට විය. ජනපති සහ වත්මන් විපක්ෂය පාර්ශ්වයෙන් එල්ල වූ එම චෝදනා ඉකුත් සතිය වනවිට මෙරට දේශපාලන සංවාදයකට හේතුවිය. අර්බුදය පාර්ලිමේන්තු දක්වා විකාශය විය. වාද විවාද පවා පැවතිණි.
අගවිනිසුරුවරයා විසින් එවන ලද විනිශ්චයකාරවරුවන්ගේ නම් තමා ව්‍යවස්ථා සභාවට යැවූ බවත් එම නම් ප්‍රතික්ෂේප කරන හේතු ජනාධිපතිවරයා ලෙස තමාටවත් දැනුම් දී නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය. කතානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා නිර්දේශ කළ නම් හැර වෙනත් කිසිදු පුද්ගලයකු එම තනතුරු සඳහා පත්කර නොමැති බවයි. මෙම සිදුවීම මෙම අර්බුදයේ මුල් අවස්ථාවේ සිදුවූවකි. ඉන්පසුව ව්‍යවස්ථා සභාවේ හිටපු සාමාජිකයකු වූ විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා දූෂිතවීමට කතානායකවරයා වගකිවයුතු බවයි. නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිශ්චයකාරවරුන් රැසකට උසස්වීම් හා තනතුරු අහිමිවීම ව්‍යවස්ථා සභාවේ පළිගැනීමක් බවද කියවුණි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ අද විපක්ෂය ව්‍යවස්ථා සභාවට එරෙහිව කතාකරන්නේ පසුගියදා ලැබුණු සාධාරණ නඩු තීන්දුව ඉවසාගැනීමට නොහැකි හේතුවෙන් බවයි. මේ ආදී අදහස් දැක්වීම් රාශියක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණි.
පක්ෂ විපක්ෂ මත පැතිර යද්දී අසාධාරණයට ලක්වූ විනිශ්චයකාරවරුන් පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නට සූදානම් වන බවක් අසන්නට ලැබුණි. මේ අතර ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසූගිය බ්‍රහස්පතින්දා කල්තැබීමේ විවාදයක් පැවැත්විණි. ඒ උදය ගම්මන්පිල මහතාගේ ඉල්ලීමක් පරිදිය. ඒ සමඟම අර්බුදය අද වනවිට පූර්ණ වශයෙන් ජනගත වී තිබේ. අප මේ සම්බන්ධ පක්ෂ විපක්ෂ මත දෙකක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට තීරණය කළේ ඒ අනුවය.
පරමාධිපත්‍යයට පයින් ගහන විකෘති සභාවක්
-ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා
මෙතන තියන ප්‍රශ්නය ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය පිළිබඳ විශාල ගැටලුවක් පවතීමයි. කලින් ජනාධිපතිතුමා සතුව තිබුණු බලතල මේ ව්‍යවස්ථාදායක සභාවට ලබා දෙන්නේ වඩා ප්‍රජාතන්ත්‍රවාදී වීම සඳහා කියලයි කියන්නේ. රටේ බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත්වෙන තේරීමට වඩා රටේ අගමැති හා විපක්ෂනායකගේ තේරීම වඩා සාධාරණ වෙයි කියලා කියන්නේ කොහොමද?
අද අපට තියෙන්නේ වර්තමාන අගමැතියි විපක්ෂනායකයි එකතුවෙලා පත්කරපු ව්‍යවස්ථා සභාවක් නෙවෙයි. සම්පන්ධනුයි, රනිල් වික්‍රමසිංහයි එකතුවෙලා පත්කරපු ව්‍යවස්ථා සභාවක්. මේ ව්‍යවස්ථා සභාවේ සංයුතිය ගත්තොත් අගමැතියි විපක්ෂනායකයි, ඔවුන් දෙන්නා එකතුව තව පස්දෙනෙක් නම් කරනවා. මේක පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරු 225 එකතුව පත්කරගන්නා ව්‍යවස්ථාසභාවක් නෙවෙයි. මෙතන මේ පුද්ගලයන් දෙන්නෙක් තමන්ගේ තනි කැමැත්ත මත පත්කර ගන්නා හත්දෙනෙක් ඉන්නවා. මෙතෙක් කල් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පස් දෙනාගෙන් දෙන්නෙකුත්, සම්පන්ධන් මහත්තයා දෙන්නෙකුත් පත්කරලා ඔවුන් දෙන්නම කැමති එක් කෙනෙකුත් පත් කරපු එක.
මේ අනුව ව්‍යවස්ථා සභාවේ නමයෙන් අටදෙනෙක්ගෙන්ම ඉටුවෙන්නේ රනිල් වික්‍රමසිංහගේ සහ සම්පන්ධන්ගේ අවශ්‍යතා. මේක සම්පූර්ණයෙන්ම ජනතාව නොමඟ යවලා සෝභිත හාමුදුරැවොයි, රතන හාමුදුරැවොයි එන්.ජී.ඕ.කාරයොයි එකට එකතුවෙලා බහුතර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් කරලා තියෙන්නේ. සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රටේ බහුතර ජනයා මෙතැනින් නියෝජනය වෙන්නේ නෑ. තව එන්.ජී.ඕ.කාරයෝ තුන්දෙනෙකුත් පත්කර ගත්තා. කවුරු හරි හිතනවා නම් රටේ බහුතර ජනතාවක් නියෝජනය කරන ජනාධිපතිවරයාගේ තීරණයට වඩා මේකේ තීරණය හොඳයි කියලා. ඒ අයගේ මොළය පරික්ෂා කළ යුතුයි.
මේක ජනතා පරමාධිපත්‍යයට පයින් ගහන විකෘති ව්‍යාජ සභාවක්. අපි ගත්තොත් දකුණු අප්‍රිකාව ඒ රටේ පාර්ලිමේන්තු නියෝජනය කරන සෑම පක්ෂයකටම පුළුවන් සමානුපාතිකව කමිටුව සඳහා නියෝජිතයන් පත්කරන්න. එතැනින් තමා ඉහළ ධුර දරන පුද්ගලයන් පත් කරන්නේ. අද අපේ රටේ සිද්ධවෙන දේ ගැන හොඳටම පැහැදිලි කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය. එතුමිය කිව්වා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනාවේ සිංහල බෞද්ධයාගේ ආධිපත්‍යය බිඳින්න කියලා. ඉතින් ඒක තමා වෙලා තියෙන්නේ.
අධිකරණයේ වර්තමාන සංයුතියට ඇඟිල්ල දික්කරලා මට මුකුත් කියන්න බෑ. නමුත් පොලිස්පති, අගවිනිසුරුගේ ඉඳන් කොමසාරිස්වරු ඇතුළු සියලුදෙනාව පත්කරන්නේ එකම කට්ටිය. පත්කරන බලධාරීයා ස්වාධීන නැත්නම් කොහොමද? හොඳම උදාහරණය තමයි පොලිස්පතිවරයා ලෙස පත්කළේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියාව නෙවෙයි. නීතිපතිවරයා විදිහට පත්කළෙත් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයාව නෙවෙයි. මෙහෙම තේරීම් කරාම මිනිසුන්ට සැකයක් මතුවෙනවා මේවා දේශපාලනික තේරීම්ද කියලා. මේ පත්කරපු පුද්ගලයන් සම්බන්ධ පුද්ගලික කාරණාවක් නෙවෙයි මං කියන්නේ. කිසිවක් සිද්ධවෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට නෙවෙයි.
දෙපාර්තමේන්තුවකට පියන් කෙනෙක් ලිපිකරුවෙක් තෝරාගන්නත් බඳවා ගැනීමේ පටිපාටියක් තියෙනවා. අද අපි දන්නේ නෑ මේ පත්කිරීම් කිසිමදේක බඳවාගැනීමේ පටිපාටිය. දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්ට බඳවාගැනීමේ පටිපාටියට පිටින් කිසිවක් කරන්න බැරිවෙද්දී ව්‍යවස්ථා සභාවට පුළුවන් කිසිම නිර්ණායකයක් නැතිව පටිපාටියක් නැතිව තමන්ට ඕනා ඕනා විදිහට පත්වීම් කරන්න. ඒ නිසා මේ පත්කිරීම් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නෑ.
ඔක්කොම විවේචන එන්නේ දින 52 සිද්ධියෙන් පස්සේ
ජ්‍යෙෂ්ඨ නීතීඥ අජිත් පතිරණ
ඉතිහාසය බැලුවාම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම් සිදුකළේ විධායකයේ ප්‍රධානියා. අපි ඒ වගේ වැරදි ප්‍රතිඵල අත්වින්දා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ විතරක් නෙවෙයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්ථාව තුළ ඊට කලිනුත් අපි මේ වගේ දේවල් අත්වින්දා. මෑතකාලීන සිදුවීම දෙකක් තිබෙනවා. ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පත් කිරීම සහ ඉවත් කිරීම. මොහාන් පීරිස් මහත්තයාගේ පත් කිරීම. තනි මතය අනුවයි මේවා සිදුවුණේ.
මේ නිසාම ජනතාව මැන්ඩේට් එකක් ඉල්ලුවා විධායකයේ බලය ඉහවහා ගිහිල්ලා තියෙන එක නවත්වන්න. බලයේ සමතුලිතතාවයක් නැහැ අපේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය අතර. ඒ නිසා අපට ඒ අවස්ථාව හම්බ වුණා. 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා ව්‍යවස්ථා සභාව ඇතුළත්. එය පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහෙන් දෙසීය විසි හතරක අති බහුතරයෙන් සම්මත වුණා. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම තියෙනවා ව්‍යවස්ථා සභාවේ සංයුතිය, නායකත්වය, ධුරය කාලය ඇතුළු සියලුම දේවල්. මේ ඔක්කොම දේවල් අපි හැමෝගෙම කැමැත්තෙන් තීරණය කළේ.
දැන් මේ ගැන කතාකරන විජයදාස රාජපක්ෂ මහත්තයාත් හිටියනේ ඔය විධායක සභාවේ. එතුමා මේ දින පනස් දෙකේ සිදුවීමට ඉස්සෙල්ලා කිසිම විවේචනයක් කළේ නෑ මේ ගැන. ඒ වගේම ගත්තු හැම තීරණයක්ම ගත්තේ දහදෙනාගෙම එකඟත්වය මත. ඔතන ජනාධිපතිතුමත් නියෝජනය කරනවානේ. එහෙම වරදක් තිබුණා නම් එතුමාට කලින් කියන්න තිබුණා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂ දෙකම පොහොට්ටුවයි සන්ධානයයි දෙකම නියෝජනය වෙනවා. මේ අයත් කලින් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අද මේ ගොල්ලෝ වරදක් දකින්නේ දින පනස් දෙකේ සිදුවීමත් එකත් එක්ක.
මේ අය නීතියේ ප්‍රතිපාදන නැති ව්‍යවස්ථා විරෝධී කටයුතු දෙකක් කරන්න ගියා. රටේ අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙන නිසා ව්‍යවස්ථා සභාවේ හැමෝගෙම එකඟත්වයෙන් පත්කරමු යැයි අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු විනිශ්චයකාරවරු රටේ ජනතාවගේ අධිකරණමය පරමාධිපත්‍යය ආරක්ෂා වන ආකාරයට තීන්දුවක් දුන්නා. දැන් මේකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා තමයි මීට ඉස්සෙල්ලා මේ පුද්ගලයන්ව නිර්දේශ කළේ. ව්‍යවස්ථා සභාව තමයි පත්කළේ.
මේ මතුවෙමින් තියෙන්නේ ඇත්තටම දේශපාලනමය කාරණාවක්. අපි ඇත්තටම සතුටුවෙන්න ඕනා මෙහෙම ව්‍යවස්ථා සභාවක් අපිට තියෙන එක ගැන. අපේ රටේ විධායකය යන එනමං නැතිකරගෙන තියෙන්නේ. අපි ඊයේ පෙරේදා දැක්කානේ අපේ ව්‍යවස්ථාදායකය කොහොමද කියලා. දැන් අපිට අධිකරණය විතරයි ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ ගොල්ලන්ට ඕනා ඒකත් අවුල් කරන්න. අපිට ටිකක් හරි ලෝකේ ඉස්සරහා හුස්මගන්න පුළුවන්වෙලා තියෙන්නේ අධිකරණයේ තියෙන ස්වාධිපත්‍යය නිසා.