2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

අරුවක්කාඩු කසළ අංගනයට එරෙහි විරෝධය

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට විරුද්ධව මහ පාරට බසිමින් ඒ ආකාරයට සටන් පාඨ කියමින් කෑ ගැසුවද සවන් දුන්නේ කවුද? ඒ නිසාම යළි යළිත් ලියන්නට සිදුවී ඇත. කවුරුන් කොහොම කෑ ගැසුවත් ජීවිත පූජා කළත් අරුවක්කාඩු කුණු ව්‍යාපාතිය නතර වන්නේ නැත. මීට පෙර පුත්තලමට ගෙන ආ මෙවැනි වූ ව්‍යාපෘතිවලට විරුද්ධව කෑ ගැසූ පිරිස් සිය දහස් ගණනකට වැඩිය. එයින් සිදුවූ එකම ප්‍රතිපලය වූයේ ව්‍යාපෘති නතර වෙනවා වෙනුවට උද්ඝෝෂණ විරෝධතා කළ පිරිස් අතර සිටී. බලවතුන්ට කප්පම් ලබාදී ව්‍යාපෘතිය සිදු කිරීමයි. එම ව්‍යාපාති නිසා අද වනවිට පීඩාවට පත් ජනතාව විශාල ප්‍රමාණයක් සිටිති.

අරුවක්කාඩු කසළටද එවැන්නක් සිදුවිය හැකියි. අහිංසක මහජනතාව මහපාරට බසිමින් කෑ ගැසුවද එමගින් වෙනත් ලාභ ප්‍රයෝජන ලබන යමක් කළ හැකි අයට මෙවැනි අවස්ථා ඉතාමත් සහයෝගයක් බවට පත්වේ. පසුගියදා පුත්තලම නගරයේ පැවති කසළ විරෝධතා රැලිය දෙපිරිසක් අතර ගැටුමකින් නිමාවීය. ඒ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාගේ සහා රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් අතරවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙනි. රටේ පවතින සියලුම ගැටලු අවසානයේ නිමාවන්නේ දේශපාලන පෙරළියක් ඇති කරමිනි. ඉදිරියේ පවතින කුමන හෝ මැතිවරණයකදී ආණ්ඩු පෙරළියක් ඇති වීමට අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය හේතුවක් වන්නට පුළුවනි. මහජන මතයට සවන් නොදී ක්‍රියා කිරීමේ අවසන් ප්‍රතිඵලය ආණ්ඩු පෙරළියකි.

අරැවක්කාඩුවට කසළ රැගෙන ඒමට ලබාගත් කැබිනට් අනුමැතිය භාවිතා කරමින් සේරක්කුලියට කසළ රැගෙන ඒමට විරුද්ධව ජනතාව වීදි බසින්ට පටන්ගෙන වසරකට ආසන්න කාලයක් ගත වුවද තවමත් එය ක්‍රියාත්මක කරමින් පවතින්නේ මහජනතාවගේ විරුද්ධත්වය නොසලකා කසළ රැගෙන ඒමට රජය ගත් තීරණය  ක්‍රියාත්මක කිරීමටයි.

මීට ඉහතදී ආරම්භ කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුත්තලම ජනතාව කසළ රැගෙන ඒමෙන් තමන්ට විඳින්නට සිදුවන අනිසි ප්‍රතිඵලයන් පිළිබඳ තිරය පිටුපස සිටිමින් රාජ්‍ය නිලධාරීන් දේශපාලන අධිකාරිය, ආගමික නායකයන්, සිවිල් සංවිධාන, පරිසර සංවිධාන අවස්ථා ගණනාවකදී රජයේ ඉහළ නායකත්වයන්ට කරුණු පැහැදිලි කළද ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත්වී ඇත.

සුළු පිරිසකගෙන් ආරම්භ වූ විරෝධය ක්‍රමයෙන්  ඉහළ යමින් ආගමික නායකත්වයේද සහයෝගය ලබමින් විශාල ජනගහණයකගේ සහයෝගයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීමට සිංහල බෞද්ධ කතෝලික, හින්දු, මුස්ලිම් ඇතුළු සියලුම ආගම් නියෝජනය වන පරිදි ඒකරාශීව සිදුවේ.

හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් පියනම ඇතුළු සියලුම කතෝලික පූජකවරුන්, මුස්ලිම් ආගමික නායකයන්, හින්දු පූජකවරුන් පුත්තලම දේශපාලන අධිකාරිය කොළඹ කුණු පුත්තලමට රැගෙන ඒමට විරෝධය දක්වති. පුත්තලමට කුණු රැගෙන ඒමට කැබිනට් පත්‍රිකාවකින් අනුමත කර ගන්නා තෙක් පුත්තලමේ දේශපාලනඥයන් දැනුවත් නොවී ඇත. පුත්තලමට කැබිනට් ඇමතිවරයකු නොසිටීම එයට හේතුවී ඇත. රටේ වෙනත් තැන්වල කළ නොහැකි මහජනතාවට අහිතකර සියලුම ව්‍යාපෘති සියල්ල අනුමත කරගෙන එන්නේ පුත්තලමටය.

අතීතයේ පටන් පුත්තලමේ ජනතාව පිළිබඳ කතා කළ ආකාරයට සියලුදෙනා බූරුවන් යැයි සිතා රජය මෙවැනි තින්දු ගන්නට ඇතැයි සිතිය හැකිය. පුත්තලම සේරක්කුලිය කසළ අංගනය නිර්මාණය වූ පසු සිදුවන පරිසර හානිය පිළිබඳ කොතෙක් කතා කළද තඹයකට නොතකන රජය ඒකාධිපති ස්වරූපයකින් කටයුතු කරන ආකාරයක් දැකිය හැකිය.

ආණ්ඩු පිහිටන්නේද, පරාද වෙන්නේද මහජනතාව ලබා දෙන කතිරය මතයි. එහෙත් එම කතිරය රැගෙන ඉහළ පුටුවලට ගිය පසු මහජනතාව අමතක කරන දේශපාලනඥයෝ තමන්ගේ බලය පාවිච්චි කරමින් මහජන සුභ සිද්ධියට අහිතකර කාර්යයන්වල නිරතව සිටිති. කවුරුන් මොන විරෝධතාවයන් සිදු කළත් සේරක්කුලියට කුණු රැගෙන ඒමට සියලු කටයුතු සිදුකර හමාරය. ඒ අනුව 2019 මාර්තු 15 වැනි දින සේරක්කුලියට කුණු රැගෙන ඒම ආරම්භ වන බව බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු හා නාගරික සංවර්ධන කටයුතු අමාත්‍යංශය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූ බව මාධ්‍ය වාර්තා කර ඇත.

අරුවක්කාඩුව නොව සේරක්කුලිය කසළ අංගනය පිළිබඳ මහජනතාවගේ අදහස් විරෝධතා විශාල වශයෙන් අසන්නට ලැබුණ ද ඉන් වැදගත් යැයි සිතූ බොහෝ දේ සටහන් කිරීමට සිදුවූයේ වගකිව යුත්තන්ගේ සහ විශේෂයෙන්ම ජනතා උද්ඝෝෂණවලදී අවධානය යොමුකරන රටේ නායකත්වයේ අවධානය යොමුවී සිදුවන දේ පැහැදිලිවම ජනතාවට දැන ගැනීමට සැලසේ යැයි විශ්වාසයෙනි.

රෝවන් පෙරේරා පුත්තලම