ඉරණතිව් දූපතේ ඉපිද එහිම හැදී වැඩුණු මිනිසුන්ට 1992 වසරේදී සිය උපන්බිම අහිමි විය. වසර විසිපහක් ඇවෑමෙන් බියෙන්ද, තිගැස්මෙන්ද සතුටු සිතින්ද බෝට්ටුවල නැගී ඔවුන් පසුගිය වසරේ අප්‍රේල් මස 23 වැනිදා සිය උපන්බිම වෙත ඇදී ගියේ රජයේ නිල දැනුම්දීමකින් තොරව වුවද බාධාවකින් තොරව ඔවුනට එහි නැවත පදිංචි වීමට අවස්ථාව හිමිවිය.
ඉරණතිව් පවුල් 200ක් පමණ යුද්ධය හේතුවෙන් 1992 වසරේදී පළමුවරට එම දූපතේදී අවතැන් වන අතර ඔවුහු මීට 25 වසරකට පෙර සිය නිජභූමිය අතහැර ගොඩබිමට පය තැබූහ. එතැන් පටන් පසුගිය වසර වනතුරු මෙම භූමිය නාවික හමුදාව භාරයේ පැවතුණු අතර ආරක්ෂක හේතූන් මත 2007 වසර වනතුරු ගම්මුන්ටත් දූපතට ඇතුළුවීමට ඉඩ ලැබුණේ විටින් විටය. ඒද සීමාසහිතව, අවසර ගැනීමෙන් අනතුරුවය. 2007 සිට යුද්ධයේ අවසන් කාලය පුරාම අවස්ථා ගණනකදී ඉරණතිව් දූපත් වැසියෝ අවතැන් වූහ. දිවි ගලවාගත් පුද්ගලයන් වවුනියාව මැණික් ෆාම් කඳවුරේ රඳවනු ලැබූ අතර යුද්ධයෙන් පසුව ඔවුනට මුන්නාවිල් ආසන්නයේ පිහිටි ඉරණමාතා නගර් ගම්මානය වෙත නැවත පැමිණීමට අවසර ලැබිණි.
ඉරණතිව්හි පිහිටීම
ඉරණතිව් යනු පෝක් සමුද්‍ර සන්ධියේ එකට පිහිටා ඇති දිවයින් යුගලකි. පිහිටීම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුහනරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. විශාල දිවයින (පෙරුම්තිව්) සහ කුඩා දිවයින (සීරුම්තිව්) අතරින් ලුණුවතුර සහිත ඇළ මාර්ගයක් ගලා බසියි.
1982 සිදුකරන ලද නිල මිනින්දෝරු සිතියමකට අනුව පෙරුම්තිව් විශාල දූපතේ ඉඩම් කට්ටි 143ක් සලකුණු කර ඇති අතර සීරුම්තිව් කුඩා දූපතේ ඉඩම් කට්ටි 35ක් ලකුණු කර තිබේ. ඔවුන් පළමුවරට අවතැන් වනවිට, මේ දූපත්වල ගලින් තැනූ ගෙවල් 125ක්ද, වතුර බොන ළිං 5ක්ද, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්ද, පල්ලි දෙකක්ද තිබිණි.
ඔවුන්ගේ ඉල්ලීම්
දැනට දූපත්වලට ඉතා කිට්ටුවෙන් ලංකාවේ ප්‍රධාන භූමියේ පිහිටි ඉරණමාතා නගර් හි දළ වශයෙන් පවුල් 400ක් පමණ ජීවත්වන අතර එයින් පවුල් 95ක් කාන්තාවන් ගෘහ මූලිකයන් වෙන පවුල් වේ. වසර 25ක පමණ කාලයක් අවතැන් වී සිටින නමුත් ඔවුහු තවමත් දූපත සමඟ බැඳී සිටිති. 2007 වසරේ ඔවුන් අවතැන් වීමෙන් පසු බොහෝ දෙනකු යළි පදිංචියට පැමිණි ප්‍රදේශය වන නිල ග්‍රාම නිලධාරී කොට්ඨාස අංකය, උප තැපැල් කන්තෝරුව, රජයේ පාසල සහ ධීවර සමුපකාරය යන සියල්ල තවමත් ඉරණතිව් යන නම භාවිත කරන්නේ ඒවා භෞතික ව්‍යුහයන් ඉරණමාතා නගර්හි පිහිටා තිබියදීය.
ඔවුන්ගේ ඉල්ලීම් සරලය. ඔවුනට අවශ්‍ය වන්නේ ඉරණතිව් වෙත සීමා පැනවීමක් නැතිව තමන්ට ප්‍රවේශවීමට ඉඩ ලබාදීමත් එහි පදිංචි වී ධීවර රුකියාවේ නියැලීමටත්, වගා කටයුතු, සතුන් ඇතිකිරීම ආදී කටයුතු පෙර සේ සිදුකරගෙන යාමට ඉඩ ලැබීමත්ය. නාවික හමුදාව දූපතෙන් ඉවත් කරනා ලෙස ඔවුන් කිසිදු විටෙක ඉල්ලා සිටින්නේ නැත.
ඉරණමාතා නගර් ග්‍රාම නිලධාරී ෆාෆිනා ෆානා ග්‍රාම නිලධාරිනිය:
“ඉරණතිව් දූපතේ සිට යුද්ධයෙන් අවතැන් වෙලා ඉරණමාතා නගර් වෙත පැමිණි ජනතාවට අපි මෙහි ඉඩම් ලබාදීමක් සිදුකරලා තියෙනවා. ඒ වගේම තමයි පසුගිය වසරේ අප්‍රේල් මාසයේ මෙහි සිටි වැසියන් තමන්ගේ නිජභූමියට යාමට අවශ්‍ය බව පවසමින් පිටත්ව ගියා. නමුත් ඔවුන් සියලුදෙනාම එහි පිටත්ව ගියේ නැහැ. යුද්ධය නිමාවීමත් සමඟ මොවුනට එම දූපතේ ජීවත්වීමට තරම් කිසිදු පහසුකමක් නැහැ. බීමට සුදුසු ජලය පවා එහි නැහැ. දැනට සිටින පිරිස ධීවර කටයුතුවල නියැලෙමින් තමන්ගේ ජීවිකාව සරිකර ගන්නවා.”
නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර:
“මොවුන් ඉරණතිව් දූපතේ නාවික හමුදා නිලධාරීන් රැඳී සිටිනවාට කිසිදු විරෝධයක් දක්වා නැහැ. ඒ වගේම තමයි මොවුන් මේ දූපත අතහැර යාමට තීරණය කරලා තිබුණේ එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය නිසා වාසයට නුසුදුසු තත්ත්වයක් නිසා. ඒ වගේම ජාවාරම්කරුවන් සහ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීම වැළැක්වීමට තමයි නාවික හමුදාව මෙහි යොදවලා තියෙන්නේ. මේ දූපත තුළ ඒ වැසියන් නැවත පදිංචි කිරීමට නාවික හමුදාව සහාය ලබා දෙනවා.”
උතුරු නැගෙනහිර අති බහුතරයක් ජනතාවගේ පාරම්පරික ඉඩම් යුද්ධය විසින් අහිමි කෙරිණි. යුද්ධය හේතුවෙන් දහස් ගණනක් ජනයා මියගියා සේම අවතැන් වූහ. ඉරණතිව් දූපතේ ජනයා තමන්ගේ වාසස්ථාන ලබාදෙන මෙන් 2017 වසරේ සිට අඛණ්ඩ අරගලයක නිරත වූහ. සිය මුල් භූමියට නැවත පැමිණියද පෙර පරිදි ජීවත්වීම සඳහා අවම පහසුකම් හෝ ඔවුනට දැන් නොමැත. නිවාස නැවත පිළිසකර කරන්නට සිදුව තිබේ. පානීය ජලය ලබාගැනීම වෙනුවෙන් ඉඩම් ලබා ගැනීම හා සමාන අරගලයක නැවත යෙදෙන්නට සිදුව ඇත.
එදා ජීවත් වූ පවුල් සංඛ්‍යාව අද වනවිට ඉහළ ගොස් ඇති අතර එම නිසා ඉරණතිව් දූපතෙන් පමණක් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගත නොහැක. අධ්‍යාපන පහසුකම් ඇතුළු අනෙකුත් පොදු පහසුකම් ගොඩනංවන තෙක් දූපතේ ගෙවූ පරණ ජීවිතය ගෙවීමට ඔවුනට නොහැකි වනු ඇත.
අරගලයකින් ජයගත් ඉරණතිව් උරුමයේ ඉරණම සුබදායී වීමට නම් නැවත පදිංචි වූ මේ පිරිසේ අවශ්‍යතා ඉටුවිය යුතුය. ඒ සඳහා රජයේ මෙන්ම සිවිල් සමාජ සංවිධානවලද සහාය අවශ්‍ය වෙයි.
►සටහන - හසිත් අංජන
(බීබීසී සහ මානව හිමිකම් ක්‍රියාකාරියකු වන රුකී ප්‍රනාන්දුගෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි)