අප ඔබට මේ කියන්නට සැරසෙන්නේ බේරුවල කෙච්චිමලේ පල්ලියේ කතාවයි. බේරුවල් බොක්කට ඉහළින් සයුරු මායිමේ කුඩා කඳු ගැටයක මෙම පල්ලිය පිහිටා තිබේ. ගාලු පාරේ ගමන් යන්නන්ට ඈතින් සුදු පැහැයෙන් යුතු කෙච්චිමලේ පල්ලිය දැකගත හැකිය. කෙච්චිමලේ යනු මුස්ලිම් ජනතාවගේ ඓතිහාසික පුදබිමකි. අද එය බේරුවල සිංහල මුස්ලිම් ජනතාවගේ සහෝදරත්වයේ සලකුණක්යැයි කීම වඩාත් සාධාරණය. අප මෙහි ගොඩ වූයේ ඉර අවරට යමින් තිබූ එක්තරා සැඳෑවකය. පල්ලිය බලා කියාගන්නා නාෆීර් සහ නබාස් අපට හමුවිය. පල්ලියේ ප්‍රධාන පූජක තැන අසනීපයෙන් සිටි නිසාවෙන් නාෆීර් හා නවාස් අප සමඟ දොඩමළු වූහ.
“ඒ කාලේ යේමන් රටේ ඉදලා ශේක් අශ්රොෆ් වලිවුල්ලා ඇවිල්ලා අල්ලා දෙවියෝ වඳින්න මෙතන තෝරගත්තා. අවුරුදු 865කට විතර ඉස්සෙල්ලා.”
ඔහු කියන්නට සැරසෙන්නේ කෙච්චිමලේ ඉතිහාස කතාවයි. 12 වැනි ශත වර්ෂයේ දිවයිනේ නිරතදිග වෙරළට සේන්දු වූ යාත්‍රාවක වූයේ අරාබිකරයේ යේමන් රාජ්‍යයේ රාජකීය පවුලකි. සුල්තාන් අශ්රොෆ් වලියුල්ලහ් සහ ඔහුගේ සහෝදරයන් පස් දෙනෙක් ද එක් සහෝදරියක් ද එහි වූහ. රාජකීයන්ට සිංහල රජුගෙන් ආගන්තුක සත්කාර හිමිවුවද ඔවුහු ආගමික ජීවිතයක් තෝරාගත්හ. බේරුවලදී ඔවුන් දෙවියන් වෙනුවෙන් යාඥා කරන්න තෝරගත්තේ බේරුවල නැව්තොට අසල මේ සුන්දර කඳු ගැටයයි. පසුව ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වීමට තීරණය කළේය. මේ සහෝදරයන් ජීවත් වූ ස්ථානවල ඉදිවූ පල්ලි දිවයිනේ කොළඹ, නුවර, ගාල්ල ආදී පෙදෙසේවල අදත් ඉතිරිව තිබේ.
නවාස්ගේ සහ නාෆීර්ගේ ආරාධනයෙන් අපි පල්ලියේ විශේෂිත තැනකට පිවිසියෙමු. ඒ එදා මෙහි ආරම්භකයා වූ ශේක්වරයාගේ සුසානයි. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව කොළ පැහැති රෙදිවලින් එය ආවරණය කර තිබේ. එහි සේයාරුවක් නොගැනීම හොඳ බව ඔවුහු අපට කීහ. මෙය ඉස්ලාමීය ජනයාගේ ගරුබුහුමට ලක්වන සුවිශේෂී ස්ථානයකි. ප්‍රධාන පල්ලිය ඉදිරිපිට තනා ඇති කුටියක තවත් මෙවන්ම සිරුරු දෙකක් තැම්පත් කර තිබේ. ඒ කෙච්චිමලේ පල්ලියේ පෙර සිටි පූජකයන් දෙදෙනෙකුගේ සිරුරුය. පල්ලිය තුළත් මෙම ස්ථානයේත් පඬුරු පෙට්ටි දැක ගත හැකිය. සාම්බ්‍රානි හඳුන්කූරු ආදියද අපි මෙහිදී දුටුවෙමු. බොහෝ දෙනා බාරහාර වන්නේ මෙම ස්ථානයේ බව නාෆීර් පැහැදිලි කළේය.
බේරුවල පරණකඩේ ගම්මානය කෙච්චිමලේ පල්ලිය ආසන්නයේම වන ගම්මානයයි. බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් ජනයා මේ අවට වාසය කරති. පල්ලිය ප්‍රවේශවන මාර්ගය අවට ජීවත් වන්නේ සිංහල පවුල්ය. මේ බොහෝ දෙනාගේ ජීවිකාව ධීවර කර්මාන්තය හා බැඳී තිබේ. ඔවුන් සියල්ලෝම සංහිඳියාව යථාර්ථයක් කොට ජීවත්වන ප්‍රජාවකි.
කෙච්චිමලේ පල්ලිය හා බැඳී තිබෙන අපූරැ විශ්වාස කිහිපයක් පිළිබඳ ද අපි මෙහිදී අසා දැනගතිමු. අප කතාව ආරම්භයේ සඳහන් කළ පරිද්දෙන් අනාදිමත් කාලයක සිට විපතක දී බෞද්ධ කතෝලික සැම කෙච්චිමලේ පල්ලියේ පිහිට පතති. තවද යම් අසාධාරණයක් වූ විට එය සිදුකරන අයට දඬුවම් ඉල්ලා බාරහාර වීමද මෙහි සිදුවේ. අදටත් වඩා මෙම විශ්වාසයන් අතීතයේදී දැඩිව පැවතියේය. බේරුවල අවට සිංහල ගම්මානවල පැරුණ්නන් පළිගැසීම වෙනුවෙන් නිතර මෙහි පැමිණ තිබේ. පල්ලියේ පොකුණෙන් ජලය ගෙන ගොස් තම ධීවර යාත්‍රාවලට ඉසීම අද ද ධීවරයන් විසින් සිදුකරනු ලබන්නකි.
මෙම සියලු විශ්වාසන්ට පදනම් වූ ජනප්‍රවාද පිළිබඳ කිහිපයක් පසුව අප කළ සොයාබැලීමක දී දැනගන්නට ලැබිණි. ලන්දේසි යුගයේ සෙබළුන් පිරිසක් මෙහි ගොඩනැගිල්ලක කණුවක් කඩාදැමීමට උත්සාහ කර තිබේ. එවිට යමකු විසින් ඔවුන්ව බියගන්නා පළවා හැර තිබේ. එම සිදුවීම එම කාලයේ කෙච්චිමලේ කීර්තියට ද හේතු වු බව කියවේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ඉතිහාස කතාවක් අපට දැනගන්නට ලැබිණි. ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් - ගොර්ඩන් (1883 - 1890) කොළඹ සිට ගාලු බලා යන ගමනේ දී බේරුවල නවාතැන් ගෙන තිබේ. එම අවස්ථාවේ දී අශ්වයන් පලාගියෙන් අශ්ව පා ලකුණු අනුව ආණ්ඩුකාරයා ඇතුළු පිරිස කෙච්චිමලේ භූමියට පැමිණ ඇත. ඔවුන් පෙරළා අසුන් රැගෙන යාමට උත්සාහ දැරැව ද එය සාර්ථක නොවීය. අවසානයේ මෙහි ආශ්චර්ය දැනගත් ආණ්ඩුකාරවරයා පල්ලියේ හිමිකරු සමඟ කතාකොට මෙම භූමියේ හිමිකම නීත්‍යානුකූලව ඔවුනට ලබාදී තිබේ. ඉන්පසුව අශ්වයන් ආපසු රැගෙනයාමට බ්‍රිතාන්‍යන්ට හැකිවූ බව ද කියවේ. මේ ආදී වූ ඉතිහාසය ගත ජනප්‍රවාදයන් හා ඉතිහාසය ගත තොරතුරු රැසක් කෙච්චිමලේ පල්ලිය හා බැඳී පවතී.
කෙච්චිමලේ දී අපට හමු වු විශේෂතා කිහිපයක් ද වෙයි. මෙම පල්ලියේ උරුමය පාරම්පරිකව එක පරපුරකට හිමිව තිබේ. ඒ අනුව අද මෙහි ප්‍රධානියා වන්නේ අල්හාජ් ශේක් කලිප් අලවි මව්ලවිතුමාය. පල්ලියේ නිර්මාණය වී ඇත්තේ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. කාන්තාවට ද මෙහි ආගමික කටයුතු සඳහා වෙනම ඉඩකඩක් වෙන්ව තිබේ.
නෆීර් කියූ පරිද්දෙන් බේරුවල කෙච්චිමලේ පල්ලියේ සහෝදරත්වය මෙන්ම විචිත්‍රත්වයද මනාවට පිළිබිඹු වන්නේ පල්ලියේ උත්සව සමයේ දීය. අරාබි මාස ක්‍රමයට අනුව ජෙමාතුල් අවුවල් මාසය පුරා දානය දීම සිදුකරනු ලබයි. මාසය අවසානයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල මහාදානය දීම සිදුවෙයි. එම දිනය බේරුවල මරදාන පාරේ අධික තදබදයකි. දිවයිනේ නන් දෙසින් පිරිස් මීට සහභාගී වීමට පැමිණෙති. කෙච්චිමලේ පල්ලිය අවට ප්‍රදේශය සල්පිල් අසිරියක් ගනී. තාවකාලික කුඩා වෙළෙඳ සල් ඉදිවෙන අතර එම රාත්‍රීන් විචිත්‍රවත් වෙයි. මෙම දානයට පෙර බාරහාර වූ පරිදි සිංහල, මුස්ලිම් ජනයා සහල්, ලුණු, එළුවන්, කුකුළන් ලබා දී භාර ඔප්පු කරති.
“මහා දානේ එන්නේ සෙනසුරාදා ඉරිදා දවසේ. ඒ දවස්වල මුස්ලිම් කට්ටියට රෑටයි දවල්ටයි කෑම. ඒ කාලේ හිටපු ලොකු පූජකතුමා බැලුවා පිට පළාත්වල ඉදලා එන මුස්ලිම් කට්ටියට විතරයි කෑම ඔක්කොම දෙන්නේ. මේ අසල්වාසී බෞද්ධ ක්‍රිස්තියානි කට්ටිය ඉන්නවා. එයාලට දෙන්න ඕනා කියලා සඳුදා දවස ඒ අයට කෑම දෙන්න තීරණය කළා. ඒ කාලේ ඉදලා අවුරුදු සීයක් විතර එයාලටත් කෑම දෙනවා.”
මෙම දානය සඳහා සිංහල ජනතාව සැළකිය යුතු පිරිසක් ද සහභාගී වෙති. දානයට අවශ්‍ය උපකාර කිරීමට කිසිවෙක් මැළි නොවේ. යම් යම් කලබල ඇතිවූ කාලවලදී පවා අවට සිංහල ජනතාව පල්ලියේ දානයට උපරිම සහයෝගය ලබාදුන් බව නාෆීර් අපට සිහිපත් කළේය. අතීතයේ අවට ගම්මානවල සිංහල තරුණයෝ මෙදිනට කෙච්චිමලේ පල්ලියට යාම පුරුද්දක් කොටගෙන සිටියහ.
ඉර අවරට යමින් තිබේ. කෙච්චිමලේ පල්ලියේ පිහිටීම අපූරුය. පසෙකින් නේක වර්ණ යාත්‍රා සහිත බේරුවල ධීවර වරාය දිස්වේ. අනෙක් පසින් ක්ෂිතිජය දක්වා දිවෙන මහා සාගරයි. බේරුවල වරායේ දිය කඩනය පිහිටා ඇත්තේ ද මේ අද්දරය. හිරු බසින යාමයේ මෙහි රැඳේ නම් එය චමත්කාරජනක දසුනකි. අප මෙහි ගියේ නිවාඩු දිනයක වූයෙන් විශාල ජනකායක් මේ අවට වෙරළට පැමිණි සිටියහ. සංචාරකයන්ට අඹ, වෙරලු ඇඹරැල්ලා අච්චාරු, අයිස්ක්‍රීම්, වඩේ අදී බොහෝ දෑ විකුණන කුඩා කඩ පල්ලියේ පහළ දක්නට ඇත. අද දෙස් විදෙස් සංචාරකයන් කෙච්චිමලේ පල්ලියට නැරඹීමට ඒම බහුලව සිදුවන්නකි. ඉදින් අප ද නික්මයාමට කාලය පැමිණ තිබේ. අවසානයේ මෙසේ ලියා තබමු. කෙච්චිමලේ පල්ලියේ යනු ස්වභාව ධර්මයා විසින් විචිත්‍රවත් කරන ලද මානව වර්ගයා විසින් සුවඳවත් කරන ලද පුදබිමකි.
♦චමිඳු නිසල් ද සිල්වා