2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

අපරාධකාරයා ගැන කේන්ද්‍රයේ ලියැවිලා තියෙනවා

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 228

බුදු දහමට අනුව කෙනකු උපතින් බමුණකු හෝ වසලයකු නොවේ. එවැන්නෙක් බිහිවෙන්නේ ක්‍රියාවෙනි. එසේ නොවේ නම් සමාජයේ වරදින් කෙනකු වසලයකු වන බවට දේශනා කළ යුතුව තිබිණ. ක්‍රියාව සඳහා චේතනාවම මුල් වන්නේය.

එසේ නම් චේතනාව බිහිවන්නේ කෙසේද? කෙනකුගේ සිත තුළ නපුරු චේතනා ඇතිවූ විට නපුරු ක්‍රියා සිදුවෙයි. නපුරු චේතනාවක් ඇතිවිය හැකි අය උපදින මොහොතක් පවතී. එවැනි මොහොතක ඉපදුණු අය බිහිසුණු දේ සිදු කරයි.

සමාජය යනු විශාල පරාසයකි. සමාජය තුළ කී දෙනෙක් නම් ජීවත් වෙනවාද? සමාජය අපරාධකාරයා බිහිකරන්නේ නම් කෝටි දෙකක පමණ ජනතාවක් වෙසෙන ශ්‍රී ලංකාව උදාහරණයට ගතහොත් ඉන් බාගයක්වත් අපරාධකාරයන් විය යුතුය. කෝටි දෙකක ජනතාව අතරින් අතළොස්සක් දෙනකු පමණක් බිහිසුණු අපරාධකාරයන් වන්නේ නම් එම තත්ත්වයට ඔහු පත්කිරීම සඳහා සමාජය වගකිව යුතු නැත.

ඒ නිසා සියල්ල සිදුවී ඇත්තේ ග්‍රහ ශක්තියට අවශ්‍ය විලසට ජීවියාගේ මැවුම්කරැගේ වුවමනාව පරිදිය.

මව්කුස යනු මිනිස් නිෂ්පාදනාගාරය වන්නේය. ඒ තුළ නිෂ්පාදනය වන කළලයේ බාහිර අවයව ගුණාත්මක තත්ත්වයෙන් හෝ දුර්වල තත්ත්වයෙන් නිමවන්නේ ග්‍රහ බලය නමැති විශ්ව මැවුම්කරුය. බාහිර අවයව යහපත් වුවත් චෛතසිකය අයහපත් ලෙස එකී නිෂ්පාදනය සිදුකිරීමට ගන්දබ්බයාගේ පෙර සංසාර ගමන්ද ඉවහල් වෙයි.

ඉපදෙන ජීවියාගේ ස්වභාවය තීරණය වී කටයුතු සිදුකරන ආකාරය කියාපාන මිනුම්දඬුව ජ්‍යොතිෂ ශාස්ත්‍රයයි. පුද්ගල සිත පිළිබඳව නිවේදකයා වන්නේ චන්ද්‍රයාය. එමෙන්ම චිත්ත ස්ථානය වන්නේ සිව්වැන්නය. සමස්ත ජීවිතය පිළිබඳව කියාපාන්නේ ලග්න ස්ථානයෙනි. එමෙන්ම කර්මස්ථානය හෙවත් ක්‍රියා කරන ස්ථානය 10 වැන්නයි. එය දුර්වල නම් අයහපත් ක්‍රියාවලට නැඹුරු වෙයි. නමවැන්න දුර්වල නම් සංසාරගත අකුසලය ක්‍රියා කරයි. විශේෂයෙන් කුජ, ශනි, රාහු, රවි යන පාපීන් මාරක නම් මෙන්ම ගුරු ග්‍රහයා පාපයන්ගේ ගොදුරක් නම් පුද්ගල මනස ප්‍රකෘති ලෙස පිහිටන්නේ නැත.  මේ නිසා ඥානකාරක බුධද, බුද්ධිකාරක ගුරුද, සඳුද, ලග්නයද පාප සම්බන්ධීකරණයෙන් අසම්මත නම් ජීවියා උන්මන්තකයකු ලෙස හැසිරී අපරාධකාරයකු වෙයි.

ප්‍රධානම අපරාධකාරයා කුජය. චන්ද්‍රයාත් දුර්වලව ලග්නයත් දුර්වල වූ කල්හි ජන්මියා සාපරාධී ක්‍රියා සිදුකරවන පුද්ගලයකු වෙයි. ඔහු පැවිදි සමාජයක සිටියත් යම් දිනක අශුභ ග්‍රහ ගෝචරය නිසා උත්පත්ති ජන්ම පත්‍රයේ තිබෙන පිහිටීමේ ප්‍රතිඵලය ලබාදෙයි.

ප්‍රභාකරන්ගේ කේන්ද්‍රය
උපත:- 1954.11.26 දින
ප.ව. 5.40ට පමණ
දෙට නැකත II පාදය
උ.අ. 90.301 තුළදී
වර්ෂ 11 මා. 02 දින බුධට ඉදිරියට

මේ ජන්ම පත්‍රය ශ්‍රී ලංකාවේ ඉතිහාසගත වූ ම්ලේච්ඡ සමාජ පිළිලයක් වූ භයානක අපරාධකාරයා වන ප්‍රභාකරන්ගේය.

1. මෙම ජන්ම පත්‍රයේදී ඥානකාරක බුධ ග්‍රහයා 22 දෙර්: ගුරුගේ නැකතේ ගමන් කළේය. එකී බුධ ලග්නයට දෘෂ්ටි දෙනවා පමණක් නොව ලග්නාධිපතියා වන සිකුරු සමඟ ද සංයෝග වී සිටී. තවද සර්ප දෙර්කානගත වීද සිටී. තවද මෙකී බුධ ග්‍රහයා 64 වැනි නවාංශකාධිපතියාද වෙයි.

2. චිත්තකාරක චන්ද්‍රයා නීච ග්‍රහයා වී නවාංශකයේදී නීච රවි සමඟ සංයෝග වී සිටී. එම දෙදෙනාම කෘෘර ලෙස චිත්ත ස්ථානය දකී.

මේ නිසා ජන්මියා මැරවරයකු වීම වැළැක්විය නොහැකි විය.

උපදින පුද්ගලයා කුමන ආකාරයේ කෙනකු විය හැකිදැයි ජ්‍යොතිෂයෙන් කිව හැක. ඒ නිසා උත්සාහ කළ යුත්තේ උපදින පුද්ගලයන්ට කේන්දර හද හදා සිටීම නොව හදාගත් කේන්දරයට අදාළ මොහොතේදී ජන්මියා උපද්දවා ගැනීමටය.
මේ නිසා සමස්ත සමාජයේ ඇස දැන්වත් ඇරිය යුතුය. ජ්‍යොතිෂය උගත් බමුණා විසින් ප්‍රබල මොහොතක සිදුකළ පිළිසිඳවීම නිසා ශක රජු උපන්නේය. වර්තමාන ජ්‍යොතිෂවේදියාද සිදුකළ යුත්තේ ඒ මඟ යමින් සමාජයට යුග පුරැෂයන් බිහිකර ගැනීම සඳහා සමාජය වෙනස් කිරීමට වෙර දැරීමය.

සමාජශෝධක සමාජධාරීන් විසින් සිදුකළ යුත්තේ සමාජය විසින් ඉල්ලා සිටින දෙය ලබාදීම නොව, සමාජයට අවශ්‍ය දේ බිහිකර ලබාදීමය.

ගාල්ලේ - තලගහ - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා 
පණ්ඩිත ශිරෝමනී