2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

හන්දියේ ක‍ඩේත් තරු පහේ හෝට‍ලෙත් ජනප්‍රිය කෑම කොත්තු

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 350

ඔවුන්ට රැකියාවක් ඇත. අවන්හලට ආහාර පිසිනා අය කෝකිවරුන් වෙද්දී මොවුන් ‘බාස්’ ලෙස හඳුන්වන්නට සමාජය පුරුදුව සිටී. ‘කොත්තු බාස්’ලා නැති අවන්හලක් අද ප්‍රධාන නගරයක හොයාගන්නත් අමාරුය. රිද්මයකට අනුව තැටියක කැපී යන කොත්තු හදන බාස්ලා වන්නට සූපශාස්ත්‍රයේ මහ දැනුමක් අවශ්‍ය වන්නේ නැත. ආහාර පිළිබඳ මහ දැනුමක් අවශ්‍ය වන්නේ ද නැත. ඇතැම් විට මුළුතැන්ගෙයි අත්උදව්වට සිටි ගෝලයා මාස කිහිපයකින් ‘කොත්තු බාස්’ ලෙස උසස්වීමක් ලබයි. එතැන් සිට ඔහු අවන්හලේ ප්‍රධාන කොත්තු බාස්ය.

හතු පිපෙන්නා සේ අද කොත්තු කඩ ඕනෑතරම්ය. ප්ලේන්ටියක රස විඳිමින් ලැබෙනා ඕඩරයට අනුව අහක බලාගෙන බිත්තරයක් කඩා රත් වූ තැටියට දැමීම බොහෝ කොත්තු බාස්ලාගේ පුරුද්දය. බිත්තරය නරක් වූවාට ඔවුන්ට ගාණක් නැත. කැපූ ගෝදම්බ රොටි, එළවළු කැබලි, මිරිස්, ලූණු, රසකාරකත් එක්ක එකු වුණ මස් කැබලි හරි හරියට කැපී යන ලෙස රිද්මයකට අනුව කුඩා තැටි දෙකකින් ගසනා කොත්තු බාස්ලාට අද හොඳ ඉල්ලුමක් ද ඇත. ඒ ඉල්ලුමට අනුව ඔවුන්ට හොඳ වැටුපක් ද ඇත.

වර්තමානය වනවිට ලංකාවේ ජාතික ආහාරය වන තරමට බොහෝ දෙනකු තුළ කොත්තුවට තිබෙන්නේ විශාල ඉල්ලුමකි. කපාපු ගෝදම්බ රොටි කැබැලිවලට ලුණු, මිරිස්, මස්, මාළු, බිත්තර, මස් හොඳි දමා ‘ටක ටක’ ගාමින් හැදෙන කොත්තුව කන්නට ලොකු කුඩා කොයි කවුරුත් කැමැතියි. විශේෂයෙන් රාත්‍රී කාලයේදී නගරය පුරා ඇති සෑම අවන්හලකම අමුත්තන් පිළිගැනීමට සේ කොත්තු ගසනා කොටස වෙන්කර ඇත.

ගෑස් ළිපේ යකඩ තැටිය රත් වුණා
බාස් ඇවිත් වැඩේ දෙන්න සෙට් වුණා
ලූණු මිරිස් බිත්තර මස් කපාපු රොටි කෑලී
තකට තකට රිදම් එකට හැදුණු මේක රොටිය

නිහාල් නෙල්සන් මීට වසර ගණනාවකට උඩදී කොත්තුවට ගීතයකින් එහෙම මුල් තැන දුන්නද එදාටත් වඩා අද කොත්තුවට සුවිශේෂී තැනක් හිමිව ඇත. ඒ නිසාම නිහාල් නෙල්සන්ගේ ‘කොත්තුව’ ගීතය එදාටත් වඩා අද ගැලපේ යැයි සිතන්නෙමු.

රාත්‍රී කාලයේදී දහවලටත් වඩා බොහොමයක් හෝටල්වලට සෙනග ඇදී යන්නේ මේ කොත්තුවේ රසය විඳීමටය. ආදරවන්තයන් පුංචි හෝටලයක අඳුර රජවුණු මේසයකට වී එකම පිඟානකට දැමූ කොත්තුවක් හැඳි දෙකකින් රස විඳින්නට කැමතිය.

සමහරුන්ගේ මනස වන්නේ කොත්තුවක් කෑ විට ඉක්මනින් බඩ රුදාව හැදෙන බවය. මේ හේතුවෙන් සමහරු කොත්තු කන්නට අකමැත්තක් දක්වති. ඇතැම් හෝටල් කොත්තුවට යොදාගන්නා පිටි මෝලිය දින කිහිපයක්ම පාවිච්චි කරන බවට ද චෝදනාවකි. ඔවුන් දින ගණනාවක්ම අධි ශීතකරණයේ දැමූ පිටි මෝලිය කොත්තුව සඳහා යොදා ගන්නා බව කියති. නමුත් බොහෝ හෝටල් කොත්තු සඳහා අවශ්‍ය පිටි මෝලිය දිනපතාම සාදාගන්නා බවද සඳහන් කළ යුතුය.

කොත්තුවලට යොදනු ලබන පිටි හේතුවෙන් ඉක්මනින් කුස පිරෙනා අතර එය සාමාන්‍ය කොත්තුවක් දෙදෙනකුට වුවද සෑහෙන බව සමහරුන්ගේ මතයයි.

බොහෝ විට රාත්‍රී කාලයේදී සෑම හන්දියක් ගානේ ඇසෙන්නේ එකම සද්දයකි. ඒ කොත්තු තැටියේ සද්දයයි. බොහෝ කොත්තු බාස්වරුන් කොත්තු ගසන්නේ එක රිද්මයකටය. මේ නිසාම බොහෝ දෙනා කොත්තුවක් සඳහා අයකැමිට මුදල් දී කොත්තුව ගසනා අයුරු බලා සිටීමට කැමැත්ත දක්වති.

කොළඹ නගරයේ කොත්තු කඩ වැහි වැහැලාය. කොත්තු බාස්වරු ද ඕනෑතරම් වෙති. ඉල්ලුම ද අධිකය. විශේෂයෙන් රාත්‍රී කාලයේදී කොත්තුවලට පවතින්නේ විශාල ඉල්ලුමකි. එපමණක් නොව තරු පහේ හෝටල්වලට ද අද කොත්තු නැතුවම බැරි අයිටම් එකකි. බොහොමයක් තරු පහේ සාදවලදී කොත්තු ඇක්ෂන් කෝනර් එකක් වරදින්නේ නැත.

ගාලු මුවදොර පිටියේ ඇති සුප්‍රසිද්ධ නානාගේ කඩය රාත්‍රී කොත්තු කඩ අතරින් විශේෂය. කොත්තු පිඟානකට මස් පීරිසියක් වත්කොට මුහුදේ හුළං වදිමින් කොත්තු හැන්දක් රස විඳීම වෙනමම කලාවකි. ඇතැමුන් ගී නිර්මාණ කළේ ද නවකතා ලීවේද පිටපතක් ලීවේද මෙවැනි කොත්තු පිඟානක රස විඳි මොහොතකය.

කොත්තුවලටම නම් දැරූ ‘Mr. කොත්තු’ අවන්හල කෝට්ටේ පිහිටා ඇත. නමට ගැලපෙන රසවත් කොත්තු පිඟාවක් රස බැලීමට එහිදී ලැබෙන අවස්ථාව විශේෂයක් ගනී. අද වනවිට ‘Mr. කොත්තු’ අවන්හලෙන් විවිධ රසයෙන් විවිධ වර්ගයේ කොත්තුවල රස විඳිය හැක. එළවළු කොත්තු, බිත්තර කොත්තු, මාළු කොත්තු, චිකන් කොත්තු, රෝස්ට් චිකන් කොත්තු, චීස් කොත්තු, චිකන් සහ චීස් කොත්තු, මසාලා චීස් කොත්තු, පාලන්දි චීස් කොත්තු, ප්‍රොන්ස් කොත්තු, කට්ල් ෆිෂ් කොත්තු, සී ෆුඩ් කොත්තු සහ ඉඳි ආප්ප කොත්තු වශයෙන් ඒවා වර්ග කෙරෙයි.

“‘Mr. කොත්තු’ අවන්හල අපි ආරම්භ කරලා අවුරුදු හයක් වෙනවා. අපි හෝටල් කරන්න පටන් අරගෙන දැන් අවුරුදු දහඅටක් වෙනවා. ‘Mr. කොත්තු’ අවන්හල ශාඛා පහක් තිබුණා. ගල්කිස්ස, වැල්ලවත්ත, නුගේගොඩ, ජුබිලි කණුව, කෝට්ටේ පිහිටලා තිබුණා. ඒ අනෙක් අවන්හල් හතරම වසා දමන්න අපිට සිද්ධ වුණා. අද අවන්හලක් පවත්වාගෙන යන්න හරිම අමාරුයි. අපේ අවන්හලේ අනෙකුත් ආහාරපාන තිබුණත් අද වනවිට විශාල ඉල්ලුමක් තියෙන්නේ කොත්තුවට තමයි. අපේ බිත්තර කොත්තුවක මිල රුපියල් එකසිය අසූවයි. ඒක තමයි අපේ අඩුම කොත්තුවක මිල වෙන්නේ. වැඩිම මිල සී ෆුඩ් මසාලා කොත්තුව. ඒකෙ මිල රුපියල් එක්දාස් දෙසීයයි.”

කෝට්ටේ ‘Mr. කොත්තු’ අවන්හලේ හිමිකාරිය වූ කුමාරි වික්‍රමනායක දේශයට පැවසුවාය.

චීස් කොත්තුව සකස් කරන්නේ විශාල තාච්චියක් ආධාරයෙනි. අනෙකුත් කොත්තු සියල්ල තැටියක හැදෙයි. තැටිය ගසද්දී එයින් ඇසෙනා සද්දය මෙන් සද්දයක් චීස් කොත්තුව ගසද්දී ඇසෙන්නේ නැත. නමුත් ‘Mr. කොත්තු’ අවන්හලේ චීස් කොත්තුවට ඇත්තේ විශාල ඉල්ලුමකි. ඕනෑම කෙනෙක්ට තමන් ඇනවුම් කළ කොත්තුව සාදන අයුරු බලා සිටීමේ හැකියාවක් ඇත. එමඟින් චීස් කොත්තුවට යොදන චීස් ප්‍රමාණය සහ එළකිරි ප්‍රමාණය දැකබලා ගත හැක.

“අපි දවස ගානෙම පිටි මෝලිය හදාගන්නවා. දවස අවසානයේදී අපේ එක රොටි කෑල්ලක් ඉතිරි වෙන්නේ නැහැ. අපි දවසකට රෝස්ට් කළ කුකුලන් විසිපස් දෙනකුගෙන් කොත්තු හදනවා. පිටි කිලෝ විසි පහක වැඩ කරනවා. ඒ කිසිම දෙයක් පහුවදාට අපි ඉතිරි කරන්නේ නැහැ. ඒක අපි කියන්නේ ලොකු වගකීමකින්.”කුමාරි වික්‍රමනායක වැඩිදුරටත් කියන්නීය.

සාමාන්‍යයෙන් තැටි කොත්තු බාස්වරයකු සඳහා දෛනික වැටුප රුපියල් දෙදහස් පන්සීයකි. තාච්චි කොත්තු බාස්වරයකු සඳහා දෛනික වැටුප රුපියල් දෙදහසකි. රසය අනුව අවන්හල වෙත ළඟා වෙන පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩිවීම ද සිදුවේ. මේ නිසාම කොත්තු අවන්හලක අනාගතය බොහෝ විට කොත්තු බාස් කර මත පැටවේ. ඩොල්ෆින් කොත්තු, පිට්ටු කොත්තු, නූඩ්ල්ස් කොත්තුවලට ද අද ඉල්ලුමක් ඇත.

අද රාත්‍රී කඩවල කොත්තුව නැතිවම බැරි කෑමකි. රාත්‍රී ප්ලාස්ටික් පුටුවක වාඩි වී දුම් දමන කොත්තුවක් කෑම ද වෙනමම කලාවකි.

නමුත් කොත්තු යනු සෑමවිටම ආහාරයට ගත යුතු ආහාරයක් නොවේ. විශේෂයෙන් එහි ඇති අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, තෙල්, ලූණු, සෝස් ලෙඩ රැසකට අත වැනීමකි. මේ නිසාම කොත්තුව පෝෂ්‍යදායී ආහාරයක් වශයෙන් සැලකෙන්නේ නැත. එහෙත් දිව පිනවන කොත්තුවට ඇති ඉල්ලුම නිසාම අද ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රාත්‍රී ආහාරය බවට පත්වී ඇතැයි කීම බොරුවක් නොවනු ඇත.

►දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00