2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මීමැස්සන්ටත් සේනා දළඹු ලෙඩක්...

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

“ඉතා ප්‍රයෝජනවත් සත්ත්ව කොට්ඨාසයක් වූ මීමැස්සෝ තුන් ආකාර වෙති. මෙයින් ප්‍රථම වර්ගය නම් එංගලන්තයේ සිටින මීමැස්සෝය. මේ මීමැස්සෝ රුක් බෙනවලත්, වේයන් විසින් අත්හරින ලද බිම් බීලවලත් මීවද බඳිති.”

විසි වසරක පමණ කාලයක් සිරකරුවකු ලෙස මෙරට විසූ රොබට් නොක්ස් මෙරටදී ලැබූ අත්දැකීම් අළලා රචනා කළ ‘එදා හෙළදිව’ කෘතියෙන් යට කී කොටස උපුටා ගත්තේ ඒ වටිනා සත්ත්ව කොට්ඨාසයට අද සිදුවීගෙන යන ව්‍යසනය අනාවරණය කිරීමට පෙරවදනක් ලෙසිනි.

මළ මිනිසුන්ට පණ දීමටත්, කතා කිරීමට බැරි අයට කතා කරවීමටත් හැකි දිව්‍ය ඖෂධයක් ලෙස අතීත මිනිසා මීපැණි හඳුන්වා තිබිණ. ඒ කතාවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් එහි ඖෂධීය වටිනාකම නම් මැනිය නොහැක. එතරම් ප්‍රයෝජනවත් වන සත්ත්ව කොටසක් වෛරස් රෝගයක් වැළඳීමෙන් එම සතුන් මියයාමේ තර්ජනයක් එල්ල වී ඇතැයි මීමැසි පාලනයේ නිරතවන ගොවීහු කියති.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජාංගණය වම් ඉවුර කොටසේ පැරකුම්පුර පදිංචි අජිත් බණ්ඩාර මහතා කී කතාවයි.

“මීවදවල තියෙන කුඩා සිදුරුවල තමයි පිලවුන් ඉන්නේ. ඒ කුහර සීල් කරලා තමයි තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ ඒ වහලා තිබුණු කුහර ඔක්කොම ඇරලා. කුහරවල හිටපු පිලවුන් ඔක්කොම පෙට්ටිය පතුලට ඇදලා දාලා. මීමැස්සෝ තමයි ඒක කරලා තියෙන්නේ. එළියට ඇදලා දාපු පිලවුන් මැරිලා. මීමැසි පෙට්ටියේ අඩියේ තියෙන ලෑල්ලට වැටුණු පිලවුන් පොල්කුඩු වාගේ වෙලා.

ඔය තත්ත්වය තමයි අපි මුලින් දැක්කේ. මේක වෛරස් රෝගයක් කියල කියනවා. මීමැස්සන්ටලු මුලින් වැළඳෙන්නේ. මැස්සන්ට හැදුණාට පස්සේ පිලවුන්ටත් හැදෙනවා. පිලවුන් මැරුණට පස්සේ මැස්සෝ වදය දාලා යන්න යනවා. දැන් අපේ ව්‍යාපාරයේ මීමැසි පාලනයේ යෙදුණු අයගේ මීමැසි ජනපද නැත්තටම නැතිවෙලා යනවා.

මේ රෝගය මොකක්ද? කොහෙන් ආවාද? ප්‍රතිකාර මොනවාද කියලා ගොවීන් දන්නේ නෑ. උපදේශයක් ලැබෙන්නෙත් නෑ. කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඇහුවාම මේකට බෙහෙත් නෑ කියනවා. රෝගය වැළඳුණු මීමැසි ජනපදවලට ගිනි තියන්න කියනවා. මේකත් අර සේනා දළඹුවා රටට ආපු විදිහට ගෙනත් දාපු වෛරසයක් කියලා තමයි ආරංචිවලින් දැනගන්න ලැබෙන්නේ. ලංකාවට කෘත්‍රීම වද වගයක් ගෙන්වලා තියෙන බවත්, ඒ වද අස්සේ මේ වෛරසය එවලා තියෙනවා කියලා තමයි කියන්නේ.”

බුත්තල, උණවටුන පදිංචි යූ.වී. චන්දන ප්‍රේමලාල් මහතා කීවේ මෙවැන්නකි.

“2001 අවුරුද්දේ සිට තමයි මං මීමැසි පාලනය කරන්නේ. මීමැසි ජනපද පනහක් මගේ ළඟ තියෙනවා. ඉන් ජනපද එකොළහකට මේ වනවිට වෛරස් රෝගය බෝවෙලා ඒවා විනාශ වෙලා. මීට මාස හය හතක සිට තමයි වෛරසය හැදුණේ. එක කිට්ටුව තියෙන මීමැසි ජනපදවලට වෛරසය බෝවීම වැඩියි. ඈතින් ඈත තියෙන ජනපදවලට බෝවීම අඩුයි.

මේකට කරන්න ඕන ප්‍රතිකාර මොනවාද කියලා මං කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඇහුවා. එයාලා දෙන උපදෙස් කරන්න ගියොත් අපට මහා පාපකර්මයක් කරගන්න වෙනවා. මීමැසි ජනපද පුච්චන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.

මේක සොබාදහම සමඟ යන කටයුත්තක්. මල් පිපෙන කාලයට ගස්වල එදා මීමැස්සෝ පිරිලා හිටියා. දැන් එහෙම නෑ. එක කාලයක් වල්නාශක නිසා මීමැස්සන් වඳවෙලා ගියා. රසායනික ද්‍රව්‍ය ගැහුවාම මීමැස්සෙක් මලකවත් වහන්නේ නෑ. ඒ නිසා උන්ට ආහාර නැතිවෙනවා. මැස්සා දුර්වල වෙනවා. මේ වෛරසය නිසාත් අද එහෙම සිද්ධ වී තිබෙනවා.”

මේ රාජාංගණය, සෝලේපුර පදිංචි ඩබ්ලිව්.එම්. නිශාන්ත මහතා දැක්වූ අදහස්ය.

“මමත් මීමැසි පෙට්ටි හයක ජනපද ඇතිකළා. එකපාරටම පැණි නැතිව ගියා. අපි හිතුවේ ඉටි පණුවන් හැදිලා කියලා. ඉටි පණුවෝ හැදුණාම පණුවා වැඩිලා සලබයෙක් වෙලා වදවලට ගිහින් පිලවුන් කනවා. එතකොට මීමැස්සන් යන්න යනවා. මේක එහෙම එකක් නෙමෙයි. කෘෂිකර්ම නිලධාරීන් කීවේ වෛරසයක් කියලා. වෛරසය පැතිරීම වළක්වන්න වදවලට ගිනි තියන්න කීවා. අපිත් වද පුච්චලා දැම්මා. ඒත් හරිගියේ නෑ. අපේ ප්‍රදේශයේත් මීමැසි පාලනය කරන ඔක්කොගේම ජනපදවලට මේ රෝගය හැදිලා තියෙන්නේ.”

පාදුක්ක, මීපේ පදිංචි චරිත් මධුරංග මහතාද මීමැසි පාලනයේ නිරත අයෙකි. මේ ඔහු දැක්වූ අදහස්ය.

“මගේ මීමැසි ජනපද හයෙන් දැන් ඉතිරිවෙලා තියෙන්නේ ජනපද දෙකයි. ඉතිරි ජනපද ටිකට වෛරස් ඇවිත් පිලව් ටික මැරිලා ගියා. පිලවු ටික මැරැණාට පස්සේ රුජන බිත්තර දාන්නේ නෑ. මේකට ප්‍රතිකාරයක් අහගන්නවත්, රෝගය වළක්වාගන්න ක්‍රමයක් අහගන්නවත් උපදෙස් ගන්න කෙනෙක් නෑ. ඩෙංගු රෝගයටත් අද ප්‍රතිකාර සොයාගෙන තියෙනවා. ඒ වාගේ ඇයි මේ වෛරස් රෝගයට පිළියම් සොයන්න බැරි.”
වාරියපොළ මීමැසි සංවර්ධන ඒකකයේ ස්ථාන භාර නිලධාරී එස්.ජී.එම්. සුසන්ත විමලරත්න මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු මෙලෙස පිළිතුරැ දුන්නේය.

“මීමැස්සන් ජනපදයක් අතහැර යාමට කාරණා තුනක් බලපානවා. ආහාර හිඟවීම, විලෝපිත ජනපදයක් ශුද්ධ නොකිරීම හා වෛරස් පැමිණීම මේ කාරණා තුනයි. මේ වෛරසය යුරෝපීය මීමැස්සන්ට මීට කලින් තිබුණා. අපේ රටේ ඉන්නේ ආසියාතික මීමැස්සන්. ඒත් 2010 අවුරුද්දේ සිට රටේ තැන් තැන්වලින් මේ වෛරස් රෝගය වාර්තා වුණා. දැන් ඒක හැමතැනටම පැතිරිලා. කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල බහුලව පවතිනවා.

මේ ගැන පරීක්ෂණ පවත්වන විට සොයාගැනීමට ලැබුණේ මේක හැදෙන්නේ ලොකු මැස්සන්ට නෙමෙයි, පිලවුන්ට. පිලවාට හැදුණාට පස්සේ සතා දියවෙලා යනවා. පසුව ඝණ බවට පත්වෙනවා. ඊළඟට වෛරසය අනෙක් සතුන්ට පැතිර යනවා. එවැනි මීමැසි පෙට්ටියක් අතපත ගාලා වෙනත් පෙට්ටියක් අත ගෑවොත් අපේ අත්වලිනුත් වෛරසය පැතිර යනවා. රෝගය හැදුණු මීමැස්සෙක් මලක පැණි අරන් ගිය පසු නිරෝගී මීමැස්සෙක් ඒ මලේ වැහුවොත් ඌටත් රෝගය බෝ වෙනවා.

මේක සම්පූර්ණයෙන් මර්දනය කරන්න බෑ. චීනයේ කළෙත් පාලනය කරන එක විතරයි. අනික පුච්චලා විනාශ කරන්නත් බෑ. අහිංසක සතකු නිසා පුච්චන්න ජනතාව කැමතිත් නෑ. කෘෂිකාර්මික පැත්තෙන් ගත්තාම සේනා දළඹුවාගෙන් බඩඉරිඟු වගාවට විශාල හානියක් වුණා. මේ දළඹුවා බීජ සමඟ විදේශයෙන් එව්වා කියන කතාවක් පැතිරිලා තියෙනවා. ඒ වාගේම මීමැස්සන්ට හැදුණු මේ වෛරසයත් කෘත්‍රීම වද පිටරටින් ගෙන්වීම මත ඒ සමඟ එව්වා කියන කතාවක් පැතිරෙනවා. ලංකාවේ මීපැණි ඉහළ අගයකින් යුතුයි. ඒ තත්ත්වය නැති කරන්න වෙනත් රටකින් වෛරස් සහිත වද ගෙනාවා වෙන්නත් පුළුවන්. ඒත් ඒක අපට සාක්ෂි, තොරතුරු නැතිව හරියටම කියන්න බෑ.”

බණ්ඩාරවෙල, බිදුණුවැව පිහිටි මීමැසි පර් යේෂණ ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජී.ජී.ආර්. විමුක්ති මහතාගෙන් ඒ ගැන විමසූ විට ඔහු කීවේ මෙවැන්නකි.

“මීමැස්සන්ට වෛරස් රෝගයක් පැතිර යන බව මීට අවුරුදු හය හතකට කලින් සොයාගත්තා. ඒ වාගේම බැක්ටීරියා රෝගයකුත් තියෙනවා. ඒ බව එක එක පැතිවලින් වාර්තා වුණා. වෛරසය හැදුණාම මීමැසි ජනපද විනාශ වෙනවා. ඒ වාගේම තමයි ජනපදයේ සිටින පිලවුන්ගෙන් 50%ක් රෝගය වැළඳිලා ඉතිරි පිලවුන්ට බෝ නොවන්නත් පුළුවන්. ජනපද එකකට දෙකකට විතර හැදිලා අනිත් ජනපද ඉතිරි වෙන්නත් පුළුවන්. මේකත් හරියට හෙම්බිරිස්සාව වගේ රෝගයක්. ගෙදරක දහදෙනෙක් ඉන්නවා නම් දෙතුන් දෙනකුට හෙම්බිරිස්සාව හැදෙන්න පුළුවන්. ඉතිරි අයට හැදෙන්නේ නෑනේ. ප්‍රතිරෝධී මීමැසි ජනපදවල වෛරසය එන්නේ නෑ. ඒවා ආරක්ෂා කරගන්න ඕන. ඒ වාගේම කැලේ තියෙන මීවලටත් මේ වෛරසය පැතිර යන්න පුළුවන්.

වෛරසයට ප්‍රතිකාර ලෙස විශේෂිත බෙහෙතක් නෑ. දුර්වල ජනපදවල රැජන මාරුකරලා අලුත් රැජනක් දෙන්න ඕන. මේ ගැන ගොවීන් දැනුවත් කරන්න කියලා අපි කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. වෛරසය ගොඩාක් දුරට වැළඳී ඇති ජනපද ගිනි තැබීම ආදී ක්‍රමවේදයකින් විනාශ කරන්න ඕන. වගාවකට වෛරසයක් ආවාමත් කරන්නේ ඔය වාගේ ක්‍රමයකින් ඒක ඉවත් කිරීමනෙ. යටපත් කරලා පවත්වාගෙන යන්න අමාරුයි.”

►සටහන හා සේයාරූ - ගල්ගමුව නිහාල් ජයවීර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00