මොනාලිසා තවමත් සිනාසෙයි රෝහණ දීපාල්ගේ පළමු කවි පොතයි. දීපාල්ගේ කවි කියවන විට දැනෙන හැඟීම වනුයේ ඔහු ද කලබලයකින් තොරව කවිය උදෙසා වදන්, හැඟුම්, භාවයන්, අත්දැකීම් ගැඹුරින් කණින්නකු බවයි. ඔහු සැලකිලිමත්ය. එලෙසින්ම ඉවසිලිවන්තය. තම කවි, එකතුවක් ලෙස පළකරන්නට දිගු කාලයක් බලා සිටීමම ඒ ඉවසීමට දෙස් දෙයි. ඔහුගේ කවිය සමකාලීන සමාජ ජීවිතයෙහි විවිධ ඉසව් ස්පර්ශ කරමින් සිදුකරනු ලබනා සැරිසැරැමකි. එහෙත් එය මතුපිටින් අතගෑමකට වඩා අවබෝධයෙන් සමාජ දේහය පිරික්සන්නකුගේ ව්‍යායාමයකි. ඔහු තම කවියෙහි මනා රිද්මයක් රඳවාගන්නා අතරම කවියට ඇවැසිම වදන් භාවිත කරන්නට උත්සුක වෙයි.
අන්තඃපුරයට කඳුළක් හා සුසුමක් යන කවිය තුළ ඔහු අන්තඃපුර පැවැත්ම වර්තමානයට කැඳවමින් පිරිමි ලෝකය හමුවේ අසරණ වන ස්ත්‍රියගේ වේදනාව කවියට නංවයි. ඔහුගේ කවියෙහි ඇති විශේෂත්වයක් වනුයේ පෙළින් පෙළ එය සිතුවම් පෙළක් පාඨක සිතෙහි අඳින්නට දක්වන සමත්කමයි. තම කැමැත්තෙන් තොරව බිලිවීමට නියමිතව සිටිනා කන්‍යාවකගේ වේදනාව ඔහු කවියෙන් සිතුවම් කරන්නේ විවිධ සංකේත උපකාරයට කැඳවමිනි.
දහසක් සුභ සිහින නිදන් කළ සොහොන් ගැබ
පහන් සිල එකින් එක නිවී යන
අඩ අඳුර ඉතිරිවෙන සිරියහන් ගැබ
මියෙන්නට ගැහෙන
දියෙන් ගොඩගත් මසෙකු ඇය
තම අභිමතයට පටහැනිව බලවත් පුරැෂයෙකුගේ කාම සංග්‍රාමයක ගොදුරක් වීමට ආසන්න මොහොතේ අසරණ වන තරැණියගේ කම්පිත හදවත චිත්‍රණය කිරීමට ඔහු භාවිත කරනා වදන් අනවැසි බවක් කවිය කියවන පාඨකයාට නොහැඟෙයි. එහෙත් ඉතා හොඳින් ගොඩනගනා කවිය අවසන කවියාගේ නිගමනයන් ඉදිරිපත් කිරීමට යාමෙන් කවියෙහි අගය යම් පමණකින් අඩුකරගන්නා බවක් ද ඒ අතරම හැඟේ.
නිරුවත් ඇගෙ හූල්ලන ලැම
වසාගන්නට දෑත් එක්කොට
විලියක් නැත ඉතිරිව
විදුලියක් මෙන් එළිය වී මොහොතක්
වැසී සදා ආත්මය ගණ අඳුරින්
සංකීර්ණ දෙය වන්නේ මනුෂ්‍ය සබඳතාවන්මය. අප අසමත් වන්නේද එහි සංකීර්ණත්වය වටහා ගැනීමටමය. එහෙයින් බොහෝවිට අපේ ජීවිතවල මඟනොහැරෙන ගමන් සගයා වනුයේද මේ වියවුලමය. ඒකි ඉල්ලන්නෙම හෙණ මැයෙන් රචිත කවිය වර්තමාන ගෘහ ජීවිතයෙහි පදාසයක් අපට දක්වන්නේ තියුණු උපහාසයක්ද මතු කරමිනි. බීමත්ව එන සැමියකුගේ සිතුවිලි ආකාරයට රචිත කවියෙහි ඇතැම් තැනෙක ව්‍යංගාර්ථවත් බස කවිය වඩා සාර්ථක තලයකට ගෙන යන්නේ ප්‍රබල චිත්තරෑප සඳහා අවසර සදමිනි.
දිව ගිලෙන පිපාසෙට නැගිටිනකොට රෑට
කසුකුසුවක් තිබුණ ගේ ඇතුළේ පසුගිය දවස්වල
තනියමත් කියවනව ඇති ඒකි තරහට
ඒකිත් ඉල්ලන්නේ හෙණමනේ මට
සමාජයට එහි සාමාජිකයකු කවර ආකාරයට නාමකරණය කළ හැකි වුවද මවට අදාළ පුද්ගලයා තම පුතු පමණි. ඇය අන් කිසිම දෙයක් නොතකයි. සමාජ අඩයාලම් ඇයගේ අවධානයට ලක් නොවෙයි. ඇය ඉල්ලන්නී තම පුතු, පුතුම පමණි. මේ සත්‍ය ජේසුස් වහන්සේගේ මව් මරියාට මෙන්ම නූතන මාර්තාටද එක සේ පොදුය. මරියතුමිය හමුවේ සිය පුතු පතා වැළපෙන මවක සිය කවියට විෂය කරගනිමින් අප කවියා මව්වත්භාවය හරහා මනුෂ්‍ය හැඟීම සියුම් ලෙස ස්පර්ශ කරන්නේ සමාජ ඛේදයක්ද අනාවරණය කරමිනි. අතුරැදන්වීම් යන්න සාමාන්‍යකරණයට ලක්ව ඇති රටක රෝහණ දීපාල් කවියා මරියතුමී සහ මාර්තා එක්ව ගෙන සමාජ විවරණයක යෙදෙයි.
කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ගත් කල රෝහණ දීපාල් කවියා සිය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයෙන් තමන් අවධානයට ලක්විය යුතු කවියකු බව ඔප්පු කර තිබේ. භාෂාව හැසිරවීම, උපමා රෑපක ඇතුළු නිර්මාණයට අදාළ සියලු අංශ මනාව කළමනාකරණය කරගැනීම සඳහා ඔහු සිය සමත්කම පෙන්වයි. ඇතැම් විටෙක ඔහුගේ වදන් තවත් පිරිපහදු වන්නේ නම් කවියෙහි විචිත්‍රත්වය තවත් වර්ධනය කරගත හැකි බව කිව යුතුය. කවිය යනු අද දවසේ අපේ සාහිත්‍ය තුළ වැඩි අවධානයට මෙන්ම ප්‍රසාදයටද ලක්වන්නකි. දිනෙන් දින ඒ ක්ෂේත්‍රයට ඇතුළුවන නව කවීහු සිය අනන්‍යතාව එහි සටහන් කරති. ඉවසිලිමත් ගමනකින් පැමිණි රෝහණ දීපාල් ද සිංහල කවිය තුළ තම ප්‍රතිභාව සටහන් කර තිබේය යන්න මේ කෙටි සටහන් අවසන් කිරීමට සුදුසු වැකියකැයි මම සිතමි.
මොනාලිසා තවමත් සිනාසෙයි කෘතිය දෙයියන්දර ගමගේ පොත් ප්‍රකාශනයකි.
චූලානන්ද සමරනායක