19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ලාංකේය දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික සංධිස්ථානයක් බවත් එය ලාංකික පුරවැසි ජනතාව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයක් බවත් - දේශපාලන විචාරකයින් ඇතුළු බොහෝ දෙනා පසුගිය කාලය පුරා ප්‍රකාශ කර තිබේ. 1978 දී මෙරටට හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙහිලා මෙරට පුරවැසි ජනතාව තුළ වූ දැඩි අධිෂ්ඨානය සහ ඒ සඳහා ඔවුන් වසර 37ක් අත්නොහැර ගෙන ගිය ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස එම තනතුරෙහි බලතල සීමා කිරීම රටේ ව්‍යවස්ථාවට ඇතුළු කරනු ලැබීම හේතුවෙනි.
මේ රටේ විධායක ජනාධිපති ධුරය දැරුවන්ගේ සංඛ්‍යාව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් සමඟ හය දෙනෙකි. ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස සහ ඩී.බී. විජේතුංග යන තිදෙනා හැර සෙසු තිදෙනාම බලයට පත්වූයේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියමිනි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 1978 වසරේ ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් මෙම ව්‍යවස්ථාව බහුබූත ව්‍යවස්ථාවක් ලෙස හැඳින්වූ අතර එය වසරක් ඇතුළත අහෝසි කරන බවට ලිඛිත පෙරොන්දුවක්ද දී තිබිණි. නමුත් ඇය බලයේ සිටි වාර දෙකේදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ක්‍රියා නොකළාය.
ඉන්පසුව බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාද බලයට පැමිණියේ යුද්ධය අවසන් කරන බවට සහ මේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කරන බවට පොරොන්දු වෙමිනි. යුද්ධය අවසන් කිරීමට ඔහු මූලික තැනක් දුන් නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පියවර ගත්තේ නැත. එම කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ජනතාව තුළින්ද විශාල හඬක් නැගුණේ නැත.
ඉන් අනතුරැව යහපාලනයෙන් බලයට ආ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ ප්‍රථම කතාවේදීම සඳහන් කළේ තමන් මේ ධුරය දරන්නේ එක් වාරයක් පමණක් බවය. එසේම විධායක ක්‍රමය අහෝසි කරන බවත් ඊට පෙර මෙම ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රජාතන්ත්‍ර විරෝධී වගන්ති කිහිපයක් ඉවත් කරන බවත් ඔහු පැවසීය. එම වගන්ති කිහිපය ඉවත් කෙරුණත් තවමත් විධායක ජනාධිපති ක්‍රමය එසේමය.
20 වැනි සංශෝධනයෙන් කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතු බවය. එසේ කර යළිත් පාර්ලිමේන්තු මූලික පාලනයට යා යුතු බවය. මෙය මුලසිටම ජනතා විමුක්ති පෙරමුණ දැරූ ස්ථාවරය විය. ඔවුන් දිගින් දිගටම පෙනී සිටියේ ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යන අදහස වෙනුවෙනි. ඒ අනුව ඔවුහු පසුගිය වසරේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව පිළිබඳව සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ගෙන් දේශයේ අපි විමසීමක් කළෙමු.්
දඩිබිඩියේ කරන්න බැරි වැඩක්
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා
මේ දිනවල දිනපතාම දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජය තුළ නැවත වරක් දැඩි ලෙස කතාබහට ලක්වෙලා තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් විය යුතුයි කියන කාරණාව. ජනාධිපතිවරණයට තියෙන්නේ බොහොම කෙටිකාලයයි. මොන යෝජනා සම්මත වුණත් ගෙනාවත් මම හිතනවා මේ කෙටි කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් වෙයි? කියලා. මොකද ඒකට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් ඕන. ජනමත විචාරණයකට යන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට දානවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා ඊටපස්සේ ඒ ගැන සාකච්ඡා කරලා ඒ ගැන තීන්දුවක් ගන්න පුළුවන්. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට, අගමැතිවරයාට බලතල ලබා දෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා විතරක් ඒක කරන්න බැහැ. මොකද එහෙම කරනවා නම් විද්වත් මණ්ඩලයක් පත් කරලා සාකච්ඡා කරලා කළ යුතුයි. ඒ වගේම මේ 19 සංශෝධනය ඔය විදියට කරන්න ගිහින් අද රට මුහුණපාලා තියෙන තත්ත්වය එක්ක බලපුවාම මට හිතෙන විදියට ඕනෑම දෙයක් කළ යුත්තේ ටිකක් කල් අරගෙන සාකච්ඡාවට වැඩි ඉඩකඩක් දීලා වාසි අවාසි ගැන තීන්දුවක් එහෙම අරගෙන. මම දකින විදියට විධායක ජනාධිපති ක්‍රමය තුළ ඉතා හොඳ ලක්ෂණත් තියෙනවා. ඒ වගේම අඩුපාඩුත් තියෙනවා. ඒ නිසා මෙ ක්‍රමය පිළිබඳව විද්වත් මණ්ඩලයකින් යෝජනා කැඳවලා පාර්ලිමේන්තුව තුළත් සාකච්ඡා කරලා එය කළ යුතුයි. මෙය ඉතාමත් කඩිමුඩියේ කරන එකට මම එකඟ නැහැ.
එහෙමනම් මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න ඕනෑ
(ජාතික හෙළ උරුමය) මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක
විධායක ජනාධිපති ධුරය කියලා එකක් නැහැ. ජනාධිපති ක්‍රමය කියලා එකක් තියෙන්නේ. මේ ජනාධිපති ක්‍රමයේ තියෙන බලතල ඔක්කොම ඉවත් කරන්න ඕන. ජනමත විචාරණයක් තුළින් තොරව ඉවත් කරන්න ඕන. සියලු දේ ඉවත්කරලා ඉවරයි. පසුගිය දින 52ක කාලය තුළ පෙන්වා දුන්නා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව ක්‍රියාකරන්න අත්තනෝමතික බලයක් නැති බව. ඒ නිසා දැන් මෙවැනි අත්තනෝමතික තීරණ ගන්න ජනාධිපති ක්‍රමයක් නැහැ. ඒ වගේම වත්මන් ජනාධිපතිවරයා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කිව්වේ ජනමත විචාරණයකට තුඩු නොදෙන දේවල් පමණයි කියලා කරන්නේ මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන නම් පරණ ක්‍රමයට යන්න ඕන නම් මේ මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ රට අස්ථාවර වීමයි.
විධායක ජනාධිපති ක්‍රමයේ වාසි රැසක් තිබෙනවා
(ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය) ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන්
මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අපි එකඟ නැහැ. නමුත් විධායක ජනාධිපති ධුරයට තියෙන බලතල ටික අඩුවිය යුතුයි. ඒ වගේම තමයි පුද්ගලයන් දිහා බලලා මෙම ක්‍රමය අහෝසි කරන්න බැහැ. ඒ වගේම ඉදිරි ජනාධිපතිවරණය දිහා බලලා විධායකය අහෝසි කරන්න සූදානම් වෙනවා නම් ඒකටත් අපි විරැද්ධයි. ඒ වගේම තමයි මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් විදියට මුළු රටේම කැමැත්තෙන් පත්වන ජනාධිපතිවරයකුම තමයි අපි තෝරාගත යුත්තේ. මේ ක්‍රමය තුළ වාසි වගේම අවාසිත් බොහෝමයක් තියෙනවා. නමුත් අපි නිතරම අවාසි දෙය ගැන විතරක් හිතන්නේ නැතුව විධායකයෙන් ලැබෙන වාසිය ගැනත් සිතිය යුතුයි. මොකද මේ රටට සංහිඳියාවට ඒකීයභාවයක් අවශ්‍යයි. ඒ නිසා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ අපගේ කිසිදු කැමැත්තක් නැහැ.
අහෝසි කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බණ්ඩාරිගොඩ
මේ විධායක ජනාධිපති ධුරය සහ එය ඉවත් කිරීමට ගෙන ආ යෝජනා පිළිබඳව ස්ථාවරය තවමත් දන්වලා නැහැ. නමුත් මම පුද්ගලයෙක් විදියට පෞද්ගලිකව දකින දේ තමයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ අනිටු ප්‍රතිවිපාක අපි භුක්ති විඳලා තියෙනවා. ඒ තනතුර වැරදි පුද්ගලයකු හට ගියාම රටට වෙන්නේ මොකද්ද කියන එක අපි අත් විඳලා තියෙනවා. ඒ වගේම රටේ ජනතාවටත් එය පැහැදිලියි. ඒ නිසා මම පෞද්ගලිකව දරන මතය තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතුයි කියන මතය.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි
මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆික්
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි කියන ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට තවමත් අපි අපගේ ස්ථාවරය දැනුම් දීලා නැහැ. මගේ පුද්ගලික මතය තමයි මේ විධායක ජනාධිපති ධුරය වෙනස් විය යුතුයි. පාර්ලිමේන්තුවට, අගමැතිවරයාට බලය පැවරීම මේ රටේ කටයුතු කළ හැකියි. විධායක ජනාධිපති ධුරය තුළින් බිහිවන බොහෝ දෙනෙක් ඒකාධිපතියන් ලෙස තමයි කටයුතු සිදුකරන්නේ. ජනතාවට හිතැති පාලනයක් අවශ්‍යයි නම් රටට සේවයක් වෙනවා නම් වහාම මෙම ක්‍රමය අහෝසි විය යුතුයි කියන එක තමයි මගේ මතය.
ඔය පුටුවේ වාඩිවෙන කවුරුත් ඕක අහෝසි කරන්නේ නෑ
ජනතා විමුක්ති පෙරමුණු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අප පක්ෂය ගෙන ආ යෝජනාව සම්මත කර ගැනීමට අපි උත්සාහ කරනවා. ඒ වගේම මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරළ යුතුයි කියන මතය එය ආරම්භ කළ අවස්ථාවේ පටන්ම ජනතා විමුක්ති පෙරමුණ හිටියා. ඒ වගේම මේ විධායකය අහෝසි කරන්න අපි විවිධ උත්සාහයන් ගන්නා. ඒ උත්සාහයන්වලදී ජනතාවගේ විශ්වාසය කඩකළේ මේ බලය ගත්ත පිරිස. ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ කිහිපයකදීම පොදු අපේක්ෂකයකු ගේන්න උත්සාහ කළේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගන්න. අපිට 2010 පොදු අපේක්ෂකයකු ගේන්න පුළුවන් වුණත් ඔහු ජයග්‍රහණය කළේ නැහැ. 2015දී අපි පොදු අපේක්ෂකයකු ගෙනාවා. ඔහු ජයග්‍රහණය කළා. එයා පොදු අපේක්ෂකයා බවට පත්වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. වෙන කිසිදේකට නෙවෙයි. ඒ නිසා ඒ පත්වුණ කෙනාගේ වගකීම තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙහෙයවාගෙන වැඩකරන එක. නමුත් මේ විධායක පුටුවේ වාඩිවුණු කිසිම කෙනෙක් කිසිම බලයක් අත් හැරීමට සූදානම් නැති බව තමයි පේන්න තියෙන්නේ.
අහෝසි කිරීමෙන් රට අස්ථාවර වෙනවා
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
ලෝකයේ දැනට තියෙන දියුණුම, ජනප්‍රියතම ක්‍රමය තමයි විධායක ජනාධිපති ක්‍රමය. ලෝකයේ අන් රටවල් වෙස්ට් මිනිස්ටර් ක්‍රමය අත්හරිමින් විධායක ජනාධිපති ධුරයට මාරුවීමේදී අපි පමණක් නැවත වෙස්ට් මිනිස්ටර් ක්‍රමයට යනවා නම් අපේ තියෙන යටත් විජිත මානසිකත්වය පිළිබිඹුවීමක් වෙනවා. ඒ වගේම අපේ මැතිවරණ ක්‍රමය සමානුපාතික මැතිවරණ ක්‍රමයට ගැටගැහිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විධායකය බරපතළ ලෙස දුර්වල කරන පද්ධති දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි 13 වෙනි ආණ්ඩුක්‍රමය හඳුන්වා දුන් පළාත් සභා. අනෙක් එක තමයි 19 සංශෝධනයෙන් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සභා. මේ තත්ත්වය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මත රට තවදුරටත් අස්ථාවර වෙනවා. අපි කොහොමත් විරැද්ධයි විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාට. ඒ වගේම මේ ක්‍රමය සිදුකරන්න හදන්නේ එජාප ආණ්ඩුවක් යටතේ නිසා අපි ඒකට විරුද්ධයි. මොකද එජාපය නංගි පෙන්වා අක්කා දීමට ප්‍රකට පක්ෂයක්.
තාම තිබෙන්නේ සාකච්ඡා මට්ටමේ
ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා
විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ විවිධ මත මේ වෙනකොට රට තුළ පවතිනවා. ඒ වගේම 19 සංශෝධනය තුළින් විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩුවීමක් සිදුවෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවාද කියන එක පිළිබඳව තවදුරටත් සාකච්ඡා වෙන්න ඕන. ඒ වගේම පළාත් සභා තියෙනවා නම් විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි කියන මතයත් මෙතැනදී පැන නැගිලා තියෙන ප්‍රධාන කාරණයක්. ඒ වගේම මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව අපේ නායකයන් සාකච්ඡා කරමින් පවතිනවා. ඉදිරියේදී මේ පිළිබඳ ස්ථාවරය රටට දැනුම්දීමට අපි බලාපොරොත්තු වෙනවා.
රටේ ප්‍රශ්න මේ තරම් තියෙද්දී විධායක ජනපති ක්‍රමය ලොකුම ප්‍රශ්නය කරගෙන
(ඒකාබද්ධ විපක්ෂය) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕන කියලා සහ මෙහි යම් යම් ප්‍රශ්න තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමත් කිව්වා. ඒ වගේම එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් කිව්වා. නමුත් මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ මේ 20 සංශෝධනය ගේන්නේ එක්සත් ජාතික පක්ෂයේ න්‍යායික කොටසක් වශයෙන්. මොකද මේ ආණ්ඩුව ඡන්දවලට බය ආණ්ඩුවක්. ඒක කොහොමද කියන එක අපි පළාත් පාලන මැතිවරණය තුළින් දුටුවා. ඒ වගේම පළාත් සභා වල කාන්තා නියෝජනය වැඩිකර ගන්න ඕන කියලා ජනතා විමුක්ති පෙරමුණෙත් සහාය ලබාගෙන හෙලිකොප්ටර් ඡන්දවලින් සම්මත කරගෙන දැන් පළාත් සභා කල්දාලා තියෙනවා. දැන් වෙනකොටත් ඒකත් නැහැ. පාර්ලිමේන්තු ඡන්දයටත් මේක කරන්න තමයි මොවුන් මේ නව ව්‍යවස්ථාවක් ගේන්න හැදුවේ.
ඒ වගේම දැන් මේ අය උත්සාහයක යෙදෙනවා බොහොම පැහැදිලිව මේ එක එක දේවල් කරලා මැතිවරණ කල්දාන්න. නමුත් දැන් කල්දාන්න බැරි එකම මැතිවරණය තමයිජනාධිපතිවරණය. මේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ සහයත් ලබාගෙන තමයි මේක දැන් කරන්න එන්නේ. එහෙම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වුවමනාවක් තිබුණා නම් මේ 2015 ජනාධිපතිවරණය ජයගත්ත වෙලාවේ ඒක කරන්න තිබුණා. මොකද මොවුන් සියලුදෙනා එකට හිටියේ ඒ අවස්ථාවේ. මේ රටේ විශාල ප්‍රශ්න තිබෙනවා. එහෙම ප්‍රශ්න තියෙද්දී දැන් විධායක ජනාධිපති ක්‍රමය ලොකුම ප්‍රශ්නය කරගෙන මේ උදවිය.
I සටහන - හසිත් අංජන