2019 මාර්තු 02 වන සෙනසුරාදා

සංචාරකයන්ට දොර ඇරෙන සප්තකන්‍යා කඳුවැටිය

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 207

සප්තකන්‍යා කඳුවැටිය ගැන කියන විටම අපගේ මතකයට පිවිසෙන්නේ 1974 දෙසැම්බර් 4දා එහි හැපී විනාශ වුණු ඉන්දුනීසියානු ඩී.සී.8 ගුවන්යානයයි. ගුවන් අනතුරින් විනාශ වුණු ජීවිත සංඛ්‍යාව 191කි. එය එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලම ගුවන් අනතුරයි. පසුගිය සතියේ යළිත් සමනළ අඩවියට අයත් මේ සුන්දර කඳුවැටිය ගැන කතාබහක් මතුවූයේ එය සොබාදහමට කැමති සංචාරකයන්ට නැරඹීමට විවෘත කිරීමට යන බවට මතුවූ ප්‍රවෘත්තිය නිසායි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව සප්තකන්‍යා කඳුවැටිය තරණයට සහ සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට නියමිතය. දැනටත් සොබාදහම් රසිකයන් සප්තකන්‍යා කඳුවැටිය දුෂ්කර මංපෙත් ඔස්සේ තරණය කරති. එහි සුන්දරත්වය විඳගනිති. එක පෙළට සිටින කන්‍යාවන් සත්දෙනකුගේ ස්වරූපය ගත් නිසා මෙයට සප්තකන්‍යා යන නම ව්‍යවහාර කෙරේ. දෙමළෙන් එයට පවසන්නේ අන්ජිමලෙයි කියාය. මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත්ව පැතිර තිබෙන කඳුවැටිය මීටර් 1400 සිට 1800 දක්වා උසට විහිදෙන මුදුන්වලින් සමන්විතය. කඳුවැටිය ආසන්නයට යනතෙක්ම තේ වගාව පැතිරී තිබෙන අතර කඳු මුදුන අවට උප කඳුකර වනාන්තර සහ කඳුකර වනාන්තර, බටකැලෑ, පතනබිම් ආදිය පිහිටා තිබේ. මෙහි පිහිටි කඳු මුදුන් හතෙන් කඳු හයක් තරණය කිරීමට පහසුකම් ලබාදීමටත්, හත්වැනි කඳු මුදුනේ නැරඹුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් නියමිත බව අඹගමුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා සඳහන් කරයි.

නව සංචාරක ව්‍යාපෘතිය ගැන දැනගැනීමට අපි අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති ජයසංඛ පෙරේරාට කතා කළෙමු. දැනට සප්තකන්‍යා කඳුවැටියේ කඳු හයක් තරණය කිරීමට පුළුවන්. මේ කඳු මුදුන පුරාම පැතිරී තිබෙන්නේ විශාල ගල්තලාවක්. සාමාන්‍යයෙන් කිලෝමීටර් 6-7ක් පමණ පාගමනින් යා යුතුයි. සමනළ අඩවියේ ජීවත්වන අලි විසින් හදපු අඩිපාරක් කඳුවැටිය හරහා ඇදී යනවා. අපටත් ඒ අඩිපාරේ තමයි ගමන් කළ හැකි වන්නේ. අපි පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවේදී අලිබෙටි, අලි විසින් කඩාදැමූ ගස්කොළන් හමුවුණා. අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිම ආකාරයකින් පරිසරයට හානි නොවීමට දැඩි උත්සාහයක් ගන්නවා. මේක ශ්‍රීපාද අභයභූමියට අයත් වනජීවී කලාපයක් නිසා වනජීවී දෙපාර්තමේන්තුව සමඟ බද්ධ වී තමයි ක්‍රියාත්මක කළ යුත්තේ. අපගේ ආණ්ඩුකාරතුමාගේ උපදෙස් මත ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට කඳු නැගීමට භාවිත කරන අඩිපාරම තමයි පාවිච්චි කිරීමට යොදාගන්නේ. නිත්‍යනුකූල අවසරයක් මත වටපිටාව සකස් කර දේශීය, විදේශීය සංචාරකයන් යොමුකිරීමට තමයි, ප්‍රාදේශීය සභාව බලාපොරොත්තු වන්නේ. 

අපි දැනට තීරණය කර තිබෙන්නේ එක් කණ්ඩායමකට සිටිය හැකි උපරිම සංඛ්‍යාව 10ක් ලෙසයි. ප්ලාස්ටික්, පොලිතීන් ගෙන යාම සම්පූර්ණයෙන් තහනම්. කොන්දේසි මාලාවක් සහිතව තමයි සංචාරකයන්ට ඇතුළුවීමට අවසර දෙන්නේ. ඒ වගේම දිනකට කඳුවැටියට ඇතුළුවන පිරිසත් සීමාවකට යටත් කළ යුතුයි. මේක අපි වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරල තමයි තීරණය කරන්නේ.

අඹගමුව ප්‍රාදේශීය සභාව කඳුවැටි, තේවතු, දියඇලි පිරිවරාගත් සංචාරක කලාපයකි. නමුත් බොහෝ දෙනාට සමනළ කඳුවැටිය හැරෙන්නට මෙහි ඇති සංචාරක ස්ථාන ගැන අවධානයක් නැත. සප්තකන්‍යා කඳු තරණ සංචාරයේදී ශ්‍රීපාද රක්ෂිතයේ අලි, ලක්ෂපාන දියඇල්ල, ඇබර්ඩීන් දියඇල්ල, කඳුකරයේ විදුලි බලාගාර ආදිය ද දැකගැනීමේ අවස්ථාව උදාකරගත හැකි බව සභාපතිවරයා පවසයි. ඔහු හා කතාබහ කිරීමේදී අපට පෙනුණේ මෙම අධිසංවේදී කලාපයේ පරිසරය රුකගැනීමේ අවශ්‍යතාවයද ඔහුට තිබෙන බවයි. එය ඉදිරි සංචාරක සැලසුම්වලදී අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවද අපි අවධාරණය කරමු. එසේ නැතහොත් මෙම සංවේදී පරිසර පද්ධතියට කනකොකා හැඬීමට ද අවස්ථාව පවතී.

නෝටන්බ්‍රිජ් සිට නල්ලතන්නියට පිවිසෙන මාර්ගයේ කොත්තැල්ලෙන නමින් හඳුන්වන ගම්මානයකි. එහි සිට ලක්ෂපාන ඇල්ලටත් ළඟය. සප්තකන්‍යා වෙතට පිවිසීමේ අඩිපාරද පිහිටා ඇත්තේ මෙම ගම්මානයෙනි. තේවතුවලින් පසු බටපඳුරැ සහ කඳුකර වනාන්තර අතරින් අඩිපාර වැටී තිබේ.

මෙම කඳුවැටිය සම්පූර්ණයෙන් එක් දිනකදී තරණය කර ආපසු පැමිණීම අසීරුයි. කඳුවැටිය මත කූඩාරම් තැනීමේ ක්‍රමයක් වගේ දෙයක් වනජීවී නිලධාරිනුත් සමඟ කතාබහ කර සකස් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරි මාස දෙක තුන ඇතුළත සප්තකන්‍යා සංචාරය ඉදිරිපත් කිරීමට නියමිතයි. සභාපතිවරයා කීවේය.

සප්තකන්‍යා වෙත පිවිසීම ඉතා දුෂ්කරය. මාර්ගය දැඩි බෑවුම් සහිත නිසා ආරක්ෂාව ගැන ද ලොකු අවධානයක් යොමුකළ යුතු වේ. වර්ෂා සමයේදී කූඩැල්ලන්ගේ කරදරය ද අධිකය. කොටි ද මෙහි ජීවත්වන බව වාර්තා වුණත් උන් දැකගැනීම නම් ලෙහෙසි නැත.

ඉන්දුනීසියානු ගුවන් අනතුරේදී මියගිය පිරිස වෙනුවෙන් තැනූ සොහොන්කොත් ද කඳු තරණය කරන විට දැකගැනීමට ලැබේ. දැන් එම සොහොන් වනයට යටවී ගොසිනි. ගුවන්යානය ගැටී ඇත්තේ පස්වැනි කන්දේ ගල් පර්වතයකය. සොහොන්කොත් තනා ඇත්තේ එයට පහළින් පිහිටි ප්‍රදේශයකය. සමනළ වන්දනා වාරය පවතින දෙසැම්බර් සිට මැයි දක්වා කාලය මේ ප්‍රදේශයටත් වැසි අඩු කාලයකි.

කෙසේ වුවත් මේ පරිසර කලාපය ගැන පූර්ණ ගවේෂණයක් මේ දක්වා සිදුවී නැත. ජෛව විවිධත්වයෙන් ඉහළ මෙහි මෙතෙක් හඳුනානොගත් ශාක සහ සත්ත්ව විශේෂ රාශියක්ද තිබෙන්නට ඉඩ තිබේ. මේ නිසා කඳුවැටිය සංචාරකයන්ට විවෘත කිරීමේදී යම්කිසි එක් මාර්ගයක් පමණක් භාවිත කිරීමටත්, ඔවුන්ට එහි නිදැල්ලේ හැසිරීමට ඉඩ නොදීමටත් වගබලාගත යුතුයි. එමෙන්ම සිංහරාජයේ මෙන් විදේශීය ජාන හොරුන්ගේ බලපෑම එල්ලවීමට ඉඩකඩ තිබෙන බවද අමතක නොකළ යුතුය. මේ නිසා පැමිණෙන හා පිටවෙන සංචාරකයන් ගැන නිරතුරැ පරීක්ෂාවෙන් සිටීමද අත්‍යවශ්‍ය කරුණකි.

පරිසර ආරක්ෂාව මුලින්ම සිතිය යුතුයි

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පරිසරවේදී නයනක රන්වැල්ල

දැන් ලෝකය පුරාම සංවේදී පරිසර කලාපවල සංචාරක කර්මාන්තය සිදුවෙනවා. ශ්‍රී ලංකාවත් 2020 වනවිට සංචාරක කර්මාන්තයෙන් ඉදිරියට යාමට සැලසුම් කර තිබෙනවා. මේ නිසා මෙවැනි අධිසංවේදී කලාපවල සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේදී විධිමත් සැලසුම් කිරීමකින් පසු පරිසර හානි අවමවන සේ ඒවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි.

මෙතෙක් හඳුනානොගත් සියුම් ජීවීන්, ශාක විශේෂ සප්තකන්‍යා පරිසර පද්ධතියේ තිබෙනවා. සංචාරකයන්ට විවෘත කරන්නේ කුමන ස්ථාන ද කියලා මුලින්ම සැලසුම් කළ යුතුයි. ඒ සඳහා වනජීවී නිලධාරීන්ගේ අඛණ්ඩ අධීක්ෂණය ලැබිය යුතුයි වගේම, පරිසර විශේෂඥයන්ගේ වාර්තාවක් කැඳවා ඒ අනුව සංචාරක කටයුතු සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. ජලපෝෂක ප්‍රදේශවලට ආපදාවක් නොවන ලෙස කඳවුරැබිම් ස්ථානගත කිරීම, සංචාරකයන්ගේ කසළ ඉවත් කිරීම, ගිනි දැල්වීමෙන්, දුම්වැටි ඉවත් කිරීමෙන් වන හානි ගැන විද්‍යාත්මකව සැලසුම් කළ යුතු වෙනවා. ඒ වගේම කඳුවැටියට දරාගත හැකි සංචාරක ධාරිතාව ගැනද හැදෑරීමක් කළ යුතුයි. වෙනත් රටවල නම් එවැනි හැදෑරීමකින් පසුව තමයි සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ.
මෙම සංචාරය ක්‍රියාත්මක කිරීම ස්ථිරවම රාජ්‍ය ව්‍යුහය තුළ පමණක් පැවතිය යුතු දෙයක්. ඒ වගේම මින් ප්‍රාදේශීය සභාව උපයන මුදල්වලින් යම් සැලකිය යුතු කොටසක් ප්‍රදේශයේ වනපෙත සුපෝෂණය සඳහා ද යෙදවිය යුතුයි. ඒ වගේම මෙහි කඳු මුදුන් පිහිටා තිබෙන්නේ දැඩි බෑවුම් සහිතව නිසා කඳු තරණය කරන්නන්ගේ ආරක්ෂාව ගැනත් පියවර ගත යුතු වෙනවා.

කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ