පරෙවි ධාවන ක්‍රීඩාව ලෝකයේ බොහෝ රටවල ජනප්‍රියය. එවැනි රටවල ජාතික මට්ටමින් සංවිධානය කොට උත්කර්ෂවත්ව පවත්වන පරෙවි ධාවන තරග අතර ඉන්දියාව, මාලදිවයින, බාසිලෝනා සහ යුරෝපයේ ඇතැම් රටවල් කැපී පෙනෙයි. තවමත් තුන්වැනි පන්තියේ ක්‍රීඩාවක් ලෙස මෙරට ඇතැමුන් සලකන පරෙවි ධාවන ක්‍රීඩාව දැන් ජනප්‍රිය වෙමින් පවතී.
මෙම ක්‍රීඩාව ප්‍රචලිත කරවීම හරහා ආදරය කරුණාව හඳුනන යහපත් පරපුරක් නිර්මාණය කිරීමේ අවකාශය ඇති බවත් එය රටේ කාලීන අවශ්‍යතාවයක් බවද විශ්වාස කරමින් කිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකයේ අනුග්‍රහය යටතේ පරෙවි කුරුල්ලන්ගේ ධාවන තරගයක් පසුගියදා කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය. මේ සඳහා පුහුණු කළ පරෙවියන් 241 දෙනකු යොදවා ගැනිණි. එහිදී එකම මොහොතකදී නිදහස් කළ පරෙවියන් 241 දෙනා කිලෝමීටර් 280ක ගුවන් දුර ප්‍රමාණයක් ගෙවමින් කොළඹ පිහිටි පරෙවි හිමිකරුවන් හෙවත් පරෙවින්ගේ වාස භූමිය වෙත පැමිණ තිබුණි. වෙනස් හා නවමු අත්දැකීමක් වූ පරෙවි ක්‍රීඩාව දැක බලා ගැනීම සඳහා කිලිනොච්චිය ප්‍රදේශයේ විශාල පිරිසක් එහි රැස්ව සිටියහ. එම අවස්ථාව ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිස අතර ක්‍රීඩාව ජනප්‍රිය කරවා ඒ සඳහා යොමු කරවීම අදහසකි. ඒ සඳහා 57 වැනි සේනාංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත 571 වැනි බලසේනාවේ (කිලිනොච්චිය) බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ 572 වැනි බලසේනාවේ (විශ්වමඩු) බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත දසනායක 573 වැනි බලසේනාවේ (ධර්මපුරම්) බලසේනාධිපති කර්නල් ජානක රණසිංහ සහ 574 වැනි බලසේනාවේ (මාන්කුලම්) බලසේනාධිපති කර්නල් බුද්ධික පෙරේරා යන නිලධාරීහු කොළඹ ධාවන පරෙවි සංගමය සමග එක්ව කටයුතු කළෝය.
ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ පිරිස ඉලක්ක කොටගෙන ක්‍රීඩාව හඳුන්වාදීමට යුද හමුදාව පියවර ගැනීම සම්බන්ධයෙන් කොළඹ ධාවන පරෙවි සංගමයේ ලේකම් සුලක්ඛන ලිලිඳු මහතා ස්තූතිය පළකරයි.
“අපේ සංගමයට අමතරව පුත්තලම ඇතුළු ප්‍රදේශ කීපයක ධාවන පරෙවි සංගම් ක්‍රියාත්මකයි. කිලිනොච්චියේ පැවති තරගය සඳහා සාමාජිකයන් 25 දෙනකු සහභාගී වුණා. කොළඹ ධාවන පරෙවි සංගමය 2017 වසරේ ආරම්භ කළේ. මේ සඳහා විදේශවලින් ආනයනය කරපු පරෙවියන් යොදා ගත්තා. කාලයක් පුහුණු කරලා කිලෝමීටර් 5, 10, 20 වගේ ඉසව් පරීක්ෂා කළා. එහි අවස්ථාවක් තමයි යුද හමුදාවේ අනුග්‍රහය මත පැවැත්වූයේ.” ඒ සුලක්ඛන මහතාගේ අදහසය.
විදෙස් රටවල කිලෝමීටර් 1000 ඉක්මවන තරග පැවැත්වෙයි. එහෙත් ලංකාවේ භාවිත කළ හැකි උපරිම ගුවන් දුර කිලෝමීටර් 350කි. කොළඹ ධාවන පරෙවි සංවිධානයේ සාමාජිකයන් 40ක් පමණද ජාතික සංවිධානයේ සාමාජිකයන් 350ක් පමණද සිටිති. ලබන මාර්තු මාසයේදී ත්‍රිකුණාමලයේ පැවැත්වීමට නියමිත ජාතික තරගාවලියට පෙර පුහුණුවක් වශයෙන්ද මෙම තරගය යොදා ගනු ලැබීය.
කිලිනොච්චිය ප්‍රදේශයේ ඇතැම් තරැණ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොමුව ඇති බව වාර්තාවේ. ඔවුන් මෙවැනි ක්‍රීඩාවකට යොමුකිරීමෙන් ආදරය කරුණාව ඇතිවීම නිකරුණේ වැයවන හා අකටයුතුකම් සඳහා යොදන ශ්‍රමය හා කාලය මීට යොමුකරවා විනෝදයක් සමඟ පරෙවි පැටවුන් විකුණා ආදායමක් ඉපයීමට අවස්ථාව සැලසේ. එසේම තරග සඳහා ඉදිරිපත් වී ත්‍යාග ලැබීම තවත් අවස්ථාවකි. මෙවැනි වැඩසටහන් මගින් කිලිනොච්චිය අවට තරුණ තරුණියන්ට රටේ ආගම් හා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමට අවස්ථාවක් සැලසී තිබෙන බව මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසීය.
කොමන් පරෙවි සාමාන්‍යයෙන් අප අවට දකින පරෙවියන්ය. හයි ෆ්ලයර්ස් ලෙස හඳුන්වන පරෙවියන් ඉහළ අහසේ සැරිසරන පිරිසකි. රේසින් හෝමර්ස් නැමැති පරෙවියන් මෙසේ තරගවලට දායක කරගනී. අප්‍රසිද්ධියේ වසර 20ට වඩා පැවති ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමට උත්සාහ කළ පිරිස අතර වත්තල ලෝනි ද ලැනරෝල් මහතා සහ ගල්කිස්ස සේරම් ක්රූස් මහතා වෙති. මේ සම්බන්ධයෙන් ඔවුන් සතු අත්දැකීම වසර 60ක් පමණය.
ලංකාවේ පවතින නීතිය අනුව පරෙවියන් ආනයනය කිරීම තහනම්ය. ඊට අවසර ඇත්තේ සීමිත පිරිසකටය. ඒ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවිය යුතුය. එසේම ධාවන පරෙවි කීඩාව ක්‍රීඩා අමාත්‍යංශයේ ලියාපදිංචි කිරීමද අත්‍යවශ්‍යය. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.
කිලිනොච්චිය අවට රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලැබීමට පහසුකම් නැත. එබැවින් ඔවුන් විවිධ අපචාර හා අකටයුතුකම් වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතී. මෙය වටහා ගත් 57 වැනි යුද හමුදා සේනාංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා යම් සුදුසුකමක් සහිත පිරිසට තම නිලධාරීන්ගේ හිතවතුන් මාර්ගයෙන් රුකියා අවස්ථා උදාකර දී ඇත. සෙසු පිරිස සඳහා ස්වයංරැකියා පුහුණුවට යොමුකර පාවහන් නිෂ්පාදනය, ඇන්තූරියම් මල් වගාව, මී මැසි පාලනය, රූපලාවන්‍ය පුහුණුව, පරිගණක පුහුණුව ලබාදීමේ වැඩසටහන් සාර්ථකව පවත්වයි. එසේම ගොවීන්ට ස්වයංජාත වී වගාවට අවශ්‍ය බීජ සැපයීමද සිදුකරයි. මෙවැනි වැඩසටහන් මගින් ප්‍රදේශයේ විශාල පිරිසක් ස්වයංරැකියා වෙත යොමු වී එමගින් ආදායම් උපයති. මේ සඳහා සහාය දක්වන පෞද්ගලික ආයතනවලින් ලැබෙන සහාය සුවිශේෂී බව මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය.
►සමන්ත ප්‍රදීප් විල්තෙර