වෙරළ අද්දර ගම්මානයේ මතක පොතේ තවත් පිටුවක් පෙරලුවෙමු. මෙවර අප සැරසෙන්නේ සොඳුරු අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරන්නටය. එම යුගයේ මුහුදුකරයේ ජීවිත ආත්මීයව සාගරය සමඟ බැඳී පැවතියේය. ඉදින් අද කතාව ඒ ඉතිහාසයේ සිදුවූ වරදක් පිළිබඳවය. එහෙත් එම යුගයේ විසූ ගැමියෝ තමන් කරන්නේ වරදක්දැයි නොදත්තහ.
උදෑසනම මොරගල්ල මාර ගහ අසලින් මරදාන පාරට ගමන්ගන්නා කරත්ත තිහ හතළිහකි. ගැලක අසිරිය ගත් කරත්ත පෙළ මේ ගමන් කරන්නේ වෙරළ වෙතටය. එකදහස් නවසිය පනස් ගණන්වල හැට ගණන්වල ජීවත් වූ ගම්මුන්ට මෙය අරුමයක් නොවීය. ගොඩැල්ල පන්සල අසලින් වෙරළට පිවිසෙන කරත්තකරුවන් උදෑසනම ඇරඹුවේ එක් සුවිශේෂී රාජකාරියකි. සුන්දර වෙරළ තීරයේ මුහුදු වැලි කරත්තවලට පැටවිණි. වෙරළේ ගොඩනැගිලි විරල විය. ඒ නිසාම වෙරළ සීමාව විසල් පරාසයක පැතිරිණ. වෙරළට පැමිණි කරත්තකරුවෝ සිය කරත්තවලට ඇති පදමට වැලි පටවාගත්හ. කිසිදු වාරණයක් මේ කටයුත්තට නොතිබුණි.
මෙකල වෙරළට ආසන්න ගම් දනව්වල, නගරවල නිවාස ගොඩනැගිලි ඉදිකිරීමට භාවිත කරනු ලැබුවේ මුහුදු වැලිය. ලවණ ගතිය නිසාවෙන් වර්තමානයේදී මුහුදු වැල්ල ගොඩනැගිලි කර්මාන්තයට නොසුදුසු යැයි කියවේ. දිගින් දිගටම සේදී ඇති නිසාවෙන් කපරාරුවේදී බිත්ති බොල් වෙන බවට ද මතයක් තිබේ. එහෙත් මෙම යුගයේ මුහුදු වැල්ලෙන් තැනූ නිවාස අදද ගම්මානයේ ඉතිරිව පවතී. මෙම වෙරළ තීරයේ වැලි අලුත්ගම, බේරුවල නගරවලටත් දර්ගා නගරය හා කොටපිටිය ආදී ප්‍රදේශවල නිවාස ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් භාවිතයට ගෙන තිබේ.
වෙරළට පැමිණි වැලි කරත්තයකින් ශත විසිපහක් ගොඩැල්ල පන්සලට ලබාදීම මෙකල සිදු වී තිබේ. ඒ පන්සලේ වැඩකටයුතු වෙනුවෙනි. වෙරළ මායිමේ කඳුගැටයක් මත පිහිටි පන්සලේ පැවැත්ම වෙනුවෙන් ගම්මුන් විසින් මෙම නියමය පනවාගෙන තිබුණි. ඊට විශේෂ පඬුරු පෙට්ටියක් තබා තිබූ බැව් ගම්මු අදද සිහිකරති. කෙසේ නමුත් වැලි කරත්ත ගමට යන එන දසුන අපූර්ව එකකි. ගම්මානයේද කරත්ත දහයක් පමණ තිබී ඇත. ඒවාද මේ කටයුත්තේ නියුතුව තිබේ. අතීත ලංකාවේ සංවර්ධනයේ අරුණළු පීදී ආ යුගය මෙයයි. එනිසාම මුහුදු වැලිවලට හොඳ ඉල්ලුමක් පැවතියේය.
මෙකල වෙරළේ සිදුවූ තවත් කටයුත්තක් වූයේ හුණුගල් කැඩීමයි. එය අද අපූර්වත්වයක් දනවන ලෙස විස්තර කළ හැකි පැරැන්නන්ගේ දෛනික රාජකාරියකි. යාන්තම් අරුණාලෝකය වෙරළ සිඹගනිද්දීම ගම් ගොඩැලිවල ජනයා සිය පවුල් පිටින් වෙරළට පැමිණෙති. උදෑසන සයුර නිසලය. නොගැඹුරු මුහුදේ දිය යට වැලි අතර හුණුගල් තිබිණි. දියට බට පිරිමි බවලතුන් දරුවෝ පයෙන් වලි පාදා හුණුගල් මතුකර ගත්තෝය. දෑතින් වෙර වීරය දරා හුණුගල් කැබලි කඩාගත් ඔවුන් තමන් සතු කූඩවලට ඒවා දමා ගත්තේය. පසුව ඒවා වෙරළේ ගොඩගැසීය. හිමිදිරියේ සීත ජලයේ කරන මෙම රාජකාරිය වෙහෙසකර එකකි. එහෙත් බොහෝදෙනා මෙහි නියුතු වූයෙන් වෙහෙස තුනී වී ගියේය.
හුණුගල් යනු ස්වාභාවික සම්පතකි. මේ අයුරින් මහ මුහුදෙන් හුණුගල් ලබාගැනීම ඉතා විරල සිදුවීමක්ය. දිවයිනේ විවිධ දිශාවල මහ පොළොවේ කැනීම් කර හුණුගල් ලබා ගන්නා බව අපි දනිමු. එහෙත් ඉතිහාසයේ මෙම ක්‍රමයට හුණුගල් කැඩීමක් වෙනත් පෙදෙසක සිදුවූවාද යන්න සැකයකි. සමහරුන් යකඩ ඉනි පවා යොදාගෙන මුහුදේ හුණුගල් කැඩීම් සිදුකර තිබේ. වළාල නොවූ මාසවලදී හුණුගල් කැඩීමේ කටයුත්ත පහසු වූ අතර වැලි අතරින් එම ගල්තලාව හොඳින් මතුවී පෙනිණි. ඇතැම් දිනවල හුණුගල් මුහුදේ පාවී වෙරළට ගොඩගසා තිබූ බව පැරැන්නෝ සිහිකරති.
ප්‍රදේශය තුළ හුණු කොටු කිහිපයක්ම අලුතින් නිර්මාණය වූයේය. එක් හුණුගල් කූඩයක මිල ශත හැටක් පමණ විය. හුණුගල් කැඩීමෙන් ගම්මුන්ගේ දෑත් සීරී තුවාල විය. දියෙහි පෙඟී සීතල වූ දෑතටත් අතපයටත් උණුසුමක් අවැසි වූයෙන් වෙරළේ තැන තැන ගිනිමැල දැල්විණි. මිනිස්සු ඒ වටා එක්වී කතාබහ කරමින් හිත්තැපීම හෙවත් ඇඟ උණුසුම් කර ගැනීම සිදුකළහ. එය කා අතරත් සුහදත්වය ගොඩනැගුණු සොඳුරු අවස්ථාවකි. කෙසේ හෝ ගමට පෑදුණු හුණුගල් ඉල්ලමෙන් ආර්ථික දුෂ්කරතා මත දිවි ගෙවූ බොහෝදෙනාට යමක් කමක් උපයා ගන්නට අවස්ථාව උදාවිය. යමක් කමක් ඇති ව්‍යාපාරිකයෝ මෙම හුණුගල් මිලදී ගෙන වෙරළේ ගොඩගසා ඉඩක් ලැබුණු විට හුණුකොටුවලට පැටවූහ. එයද ලාභදායී ව්‍යාපාරයක් වූයේය.
වෙරළේ වැලි කරත්ත පැටවීම හා හුණුගල් කැඩීම කලක් තිස්සේ ජයටම කෙරීගෙන ගියේය. ඒ වටා අපූරු සංස්කෘතියක්ද ගොඩනැගිණි. මේ සිදුවීම සිදුවූයේ පසුකලෙක බේරුවල කොන්පීෆී හෝටලය ඉදිවූ වෙරළ ආශ්‍රිතවය. කිසිදු තහංචියක් මෙම කටයුතුවලට නොවීය. නීති අණ පනත් රැගෙන නිලධාරීන් ඔවුන් වළක්වන්නට මෙහි ආවේ නැත. ජීවිතය ගැටගසා ගැනීම මිසක වෙනත් අයහපත් අරමුණක් මේ කටයුත්ත සිදුකරන අසරණ ගැමියන්ටද නොවිණ. එහෙත් ස්වභාවික ඛේදවාචකයක් සිදුවෙමින් පැවතියේය.
ක්‍රමයෙන් මහ මුහුදු ගොඩබිම ආක්‍රමණය කරන්නට විය. නොගැඹුරු මුහුද ක්‍රමයෙන් ගැඹුරු වූයේය. කෙමෙන් කෙමෙන් කාලයද ගෙවී ගියේය. පෙර දා පයින් ඇවිද යා හැකිව තිබූ ගල් වැටියට පීනා යා යුතු වූයේය. සිදුවී තිබුණේ ඓතිහාසික වරදකි. බොහෝදෙනාට එය වැටහෙනවිට පමාවූවා වැඩිය. හැත්තෑව අසූව දශකයෙන් ඉක්බිති මෙම වෙරළ තීරය සංචාරක කර්මාන්තය විසින් ආක්‍රමණය කරනු ලැබීය. බේරු. කොන්පීෆී ආදී හෝටල් ඉදිවූයේය. පසුකලෙක ක්‍රමයෙන් හුණුගල් කැඩීමට අපහසු වූයෙන් එම කර්මාන්තය ප්‍රදේශයන් සහමුලින්ම වියැකී ගියේය. වැලි කරත්ත පැටවීමට නීතිමය බාධා මතුවිය. අවසානයේ සියල්ල නතර විය.
අතීතයේ සුන්දරත්වයෙන් අනූන වූ මෙම වෙරළ තීරය අද වනවිට ගල් වැටියක් යොදා ආරක්ෂා කිරීමට සිදුව තිබේ. සුනාමි ව්‍යසනය බරපතළ ලෙස මෙහි වූ සංචාර කර්මාන්තයට බලපෑම් කළේය. බොහෝ හෝටල් සැඩපහරින් සුණුවිසුණු වී ගියේය. ගල්වැටිය ඉදිවූයේ ඉතා මෑතකදීය. එහෙත් මේ සියල්ලට හේතූන් අතීතයේ අඳුරු සෙවණැලි අතර ඉතිරිව තිබේ. ඉදින් මේ කතාව අවසානයේ අප ඔබට කිවයුත්තකි. මිනිසුන් කිසිකලෙක ස්වභාව ධර්මයේ කොටස්කරුවන් මිස එය අතික්‍රමණය කරන්නන් නොවිය යුතුය.
►චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය: සෙනේරියා රණසිංහ නන්දසිරි සිල්වා මහතාට