2019 මාර්තු 02 වන සෙනසුරාදා

ජනපති මමයි

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

ඇමැතිවරුන් ටිකයි: විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි‍
ගාමිණී වියන්ගොඩ කැඳවුම්කරු - පුරවැසි බලය සංවිධානය

මම ජනපති වෙනවා නම් සීඝ්‍ර සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය කියන තේමාවන් දෙක තමයි ප්‍රතිපත්තීන් විදිහට පළමුවෙන්ම තෝරගන්නේ. සීඝ්‍ර සංවර්ධන අවශ්‍ය වෙනවා අපට රටක් විදිහට. එහෙත් සංවර්ධන යද්දී අපි අත්දැකලා තියනවා ලෝකේ රටවල විශාල සමාජ අසාධාරණයන් සිද්ධවෙනවා. උදාහරණයක් විදිහට ලංකාව ඇතුළු ලෝකේ සෑම රටකම වගේ දළ දේශීය නිෂ්පාදිත වැඩිවෙලා පසුගිය වසර දහය ඇතුළත. නමුත් ඇතුළතින් බැලුවොත් එම කාලය තුළ ජනතාව අතර ආදායම් බෙදාහැරීමේ විෂමතාවය වැඩිවෙලා තියෙනවා. එනිසා සීඝ්‍ර සංවර්ධන එක්ක සමාජ සාධාරණත්වය කියන එක එකට ගන්න ඕනෑ. සංවර්ධන තුළින් පීඩාවට පත්වෙලා තියෙන ජනතාව තවත් පීඩාවට ලක් නොවෙන්න වග බලාගන්න අවශ්‍යයි.

මම අවංකවම මේ ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙක්. ඒ නිසා මේ ක්‍රමය යටතේ ජනාධිපති වුණොත් මම මුලින්ම කරන දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කටයුතු කරන එක. ලංකාවේ ජනගහණය මිලියන විසි එකයි. මේ කතා කරන මොහොත වෙද්දී අමාත්‍ය මණ්ඩලය තිහයි. අපේ ව්‍යවස්ථාවේ තියන විධිවිධානයක් නිසා ඒක අනිවාර්යයෙන් කරන්න සිද්ධවෙලා තියෙන දෙයක්. එහෙම තියෙද්දීත් මේ ආණ්ඩුව උත්සාහ කරනවා, එක එක ජිල්මාට් දාලා යම් යම් වගන්තිවල හිඩැස්වලින් රිංගලා ගිහිල්ලා මේ ප්‍රමාණය වැඩිකර ගන්න.

දැන් අපි බලමු අපිට වඩා ජනගහනය තියෙන රටවල්. මිලියන එක්දාස් හාරසීයක ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න රට චීනය. ඒ මිලියන එක්දාස් හාරසීයටම ඇමතිවරු ඉන්නේ විසි හත් දෙනයි. ඉන්දියාවේ ජනගහනය මිලියන එක්දහස් දෙසීයයි. ඉන්දියාවේ කැබිනට් ඇමතිවරු ඉන්නේ විසි හයයි. අපි වගේ භූගෝලීය වශයෙන් කුඩා රටකට මොකටද විශාල කැබිනට් මණ්ඩලයක්.

රාජ්‍යකරණයේ කේන්ද්‍රය තමයි කැබිනට් මණ්ඩලය කියන්නේ. අපි 1987දී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියලා. එයින් කළේ මේ කේන්ද්‍රයේ තියෙන බලයෙන් කොටසක් බෙදාහැරීම. පළාත් නමයක් යටතේ අපි බලය බෙදාහැරියා. එතකොට කේන්ද්‍රයේ බලය බෙදාහැරියාම කේන්ද්‍රය කුඩා වෙන්න ඕනනේ. නමුත් මේ වගේ තත්ත්වයක් තුළ අපි කැබිනට් මණ්ඩලය තවත් වැඩිකර ගන්නවා නම් මේක අපභ්‍රංසයක්. මම පිළිගන්නේ නෑ කුමන තත්ත්වයක් යටතේවත් විශාල කැබිනට් මණ්ඩලයක් තිබිය යුතුයි කියලා.

මෙතෙක් කල් හිටපු පාලකයන් කරපු පළවෙනි වරද තමයි ලංකාව ජාතික රාජ්‍යයක් වශයෙන් ගොඩනැගීමට අපොහොසත් වීම. ආගම් වශයෙන් වෙනස්වෙලා ඉන්න, භාෂා වශයෙන් වෙනස්වෙලා ඉන්න, සංස්කෘතිකමය වශයෙන් වෙනස්වෙලා ඉන්න, වාර්ගික වශයෙන් වෙනස්වුන සියලුම ජනකොටස් ඒකරාශී කරගත් ශ්‍රී ලාංකීය රාජ්‍යයක් ගොඩනැගීමට අපි අසමත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා බැලුවොත් අපට පේනවා, නිදහසන් පසු අපේ රටේ රාජතාන්ත්‍රික නායකයෝ බිහිවෙලා නෑ. බිහිවෙලා තියෙන්නේ දේශපාලනඥයෝ විතරයි.

රාජ්‍යතාන්ත්‍රික නායකයන්ට උදාහරණ නම් අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා, සිංගප්පූරුවේ ලී ක්වාන් යූ, මැලේසියාවේ මහතීර් මොහොමඩ් වගේ නායකයෝ. මම ඒ අයව දකින්නේ දේශපාලකයො විදිහට නෙවෙයි රාජ්‍යතාන්ත්‍රික නායකයෝ විදිහට. වෙනස මොකක්ද? දේශපාලනඥයා බලන්නේ තමන් ගන්න තීරණයක් ක්‍රියාමාර්ගයක් නිසා තමන්ගේ පක්ෂයට සිදුවිය හැකි පාඩුව හෝ ලාභය. රාජ්‍යතාන්ත්‍රික නායකයා බලන්නේ තම ගන්න තීරණය හෝ ක්‍රියාමාර්ගක් හේතුවෙන් තමන්ගේ රටට සිදුවිය හැකි ලාභය හෝ අලාභය මොකක්ද කියන එක. දේශපාලනඥයා තීරණයක් ගැනීමේදී කල්පනා කරනවා ඊළඟ මැතිවරණයට මොකක් වෙයිද කියලා. රාජ්‍යතාන්ත්‍රික නායකයා කල්පනා කරන්නේ ඊළඟ පරම්පරාවට මොකක් වෙයිද කියලා.

මේ නිසා රටකට අවශ්‍ය කරන්නේ රාජ්‍යතාන්ත්‍රික නායකයෝ මිසක් දේශපාලනඥයෝ නෙවෙයි. නමුත් අපි නිදහසේ ඉඳලා හදලා තියෙන්නේම, තාමත් හදමින් ඉන්නේම දේශපාලනඥයෝ මිසක් රාජ්‍යතාන්ත්‍රිකයෝ නෙවෙයි.

පැය 24න් බාර් වහනවා:13 සංශෝධනය ඉවත්කරනවා
මහාචාර්ය චන්න ජයසුමන රජරට විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨය

මම පාලනය සඳහා තෝරාගන්නේ දසරාජ ධර්මය. ඓතිහාසිකව මේ රටේ දේශපාලන සංස්කෘතියේ විකාශය බැලුවම ඒක තමයි අපිට ගැලපෙන ක්‍රමය. බෞද්ධ රටක් හැටියට, බටහිර දැනුමෙන් ආකල්ප වලින් අප සතුව තිබෙන ඓතිහාසික දේශපාලන සංස්කෘතිය සාමාජීය අගයන්, උරැමයන් සියල්ල වැහිලා තියෙන්නේ. විශේෂයෙන් අද අධ්‍යාත්මික දියුණුව කියන එක මුළුමනින්ම අමතක කරලා. භෞතික දේවල්වලට විතරක් මුල්තැන දීලා. මේ රටේ ඉතිහාසයේ තියෙනවා ‘නොබෝසත්හු නොරජ්හ’ කියලා. ඒ කියන්නේ රජ වෙන කෙනා, පාලකයා බෝසත් කෙනෙක් වෙන්න ඕනා කියන එක. බෝසතාණන්වහන්සේ කෙනෙක් ඉන්නේ බෞද්ධ සංස්කෘතිය හා සමාජීය පසුබිමක් තුළ. ඒ හරහා අපේ සමස්ත ජීවන පැවැත්ම ආධ්‍යාත්මය සමඟ ගමන් කරනවා. අද රටේ ඇතිවෙලා තියන සියලුම ප්‍රශ්නවලට මූලික දේ විදිහට මම දකින්නේ ආධ්‍යාත්මික දියුණුව සම්පූර්ණයෙන් නොසලකා හැරීම.

පළවෙනිම දේ තමයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය වන විදිහට උපදේශක මණ්ඩලයක් පත් කරනවා. ඒ කරලා උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කුල ක්‍රමය මත පදනම් වෙච්ච නිකාය බේදය අවසන් කරලා රටේ එක සංඝ සංස්ථාවක් ඇතිකරන්න කියලා. එම ඉල්ලීම පළවෙනි පැය විසිහතර ඇතුළත කරනවා. දෙවෙනි කාරණාව තමයි ත්‍රිවිධ හමුදාවටත් පොලීසියටත් නියෝග කරනවා සති කිහිපයක් ඇතුළත සියලුම මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කරන්න. තුන්වෙනි කාරණාව පළවෙනි පැය විසිහතරේදීම ලංකාවේ තියෙන සියලුම මත්පැන් අලෙවිසල් වසා දමනවා.

මම හිතන්නේ කැබිනට් මණ්ඩලය පහළොවකට පමණ සීමාවීම ප්‍රමාණවත්. රටේ ජන සංයුතිය, ප්‍රාදේශීය විවිධත්වය සොයා බලලා නිශ්චිතව ගැසට් කරන ලද කැබිනට් ඇමතිවරු පහළොස් දෙනෙක් මේ රටට ප්‍රමාණයවත්. එම විෂයන් පාලකයා මාරුවීම මත හෝ ඇමතිවරු මාරුවීම මත වෙනස් නොවිය යුතුයි.

වාර්ගික අර්බුදයක් විදිහට හඳුන්වා දීලා තියෙන්නේ ඉන්දියාවේ හා බටහිර බලපෑම් මත සම්පූර්ණයෙන්ම මවාපු ව්‍යාජයක්. මම මගේ පළවෙනි පාලන කාලය තුළ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධන අයින් කරනවා. පළාත් සභා අහෝසි කරනවා. පළාත් සභා කියන්නේ ජාතිවාදී පදනමකින්‍ යුතු ජනතාව අතර සංහිඳියාව නැතිවෙන විදිහේ ක්‍රියාවලියක්. කිසිම ප්‍රයෝජනයක් නොවෙන සම්පූර්ණයෙන්ම මුදල් නාස්තියක්.

ලංකාවේ දිස්ත්‍රික්ක බෙදීම සිදුකරලා තියෙන්නේ ශතවර්ෂකට ඉස්සෙල්ලා විදේශ පාලනයට අවශ්‍ය විදිහට. ඒ නිසා රටේ නැවත දිස්ත්‍රික් මායිම් පළාත් මායිම් ඇති කරන්න ඕනා. ඊට රටේ භූගෝලීය පසුබිම, දේශගුණය, ගංඟා ද්‍රෝනි, ජනවාර්ගික සංයුතිය ආදීය සලකා බැලිය යුතුයි. රට හරියන පරිපාලන සැකස්මක් ඇතිකරගන්න ඕනෑ. දැනට තියෙන දිස්ත්‍රික් විසිපහ දිස්ත්‍රික් හතළියක් බවට පත්කරලා ඒ දිස්ත්‍රික්කවලට පරිපාලනමය බලතල ලබාදෙන්නත් ඕනෑ.

බටහිර ආර්ථික න්‍යායන් පසුපසයාම නිසා තමයි අද අපි ආර්ථික වර්ධනය වෙන්නේ නෑ කියලා කියන්නේ. බටහිර ආර්ථික දර්ශක පිටුපස හඹායාම නිසා තමයි ඒ ඉලක්කවලට අපිට ළඟාවන්න බැරි. අපි දියුණුව කියලා දකින්නේ බටහිර භෞතික දියුණුව. ගොඩනැගිලි කර්මාන්තය වලින් ඇතිවෙන භෞතික දියුණුව වෙනුවට අධ්‍යාත්මික දියුණුත් අපේ දියුණුව මැනීමේ සාධකයක් හැටියට අපි සලකන්න ගන්න ඕනෑ. බටහිරෙනුත් ගතයුතු දේවල් හොයලා බලලා ගලපා ගන්නත් ඕනෑ. එහෙම නැතුව මේ ක්‍රමවේදට ගියොත් තව අවුරුදු දහාකින්වත් බටහිර දියුණුව අපිට ලබාගන්න බෑ.

මේ රටේ ඉතිහාසය සංස්කෘතිය සදාචාරය සභ්‍යත්වය ගැන දන්නේ නැති අනුවණ පාලකයෝ බිහිවීම නිසා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. අවුරුදු හැත්තෑවක් අපේ රට පරිහානියට පත්වෙන්න මූලිකම හේතුව තමයි, අපි අපට අයිති නොවෙන යුරෝපීය හා ඇමෙරිකානු නිර්ණායක පිටුපස දුවන්නට යාම. ලිබරල්වාදී මාක්ස්වාදී න්‍යායන් අපේ රටට බලෙන් රිංගවන්න ගිහිල්ලා තමයි මේ විපත අපට වුණේ. ඒ නිසා අප අපේ දර්ශනයක් මත කටයුතු කළයුතු වෙනවා.

►චමිඳු ද සිල්වා