2019 මාර්තු 02 වන සෙනසුරාදා

අසිරිමත් ක්‍රිකට් ජයට ලෝකෙන් ලැබූ සුබපැතුම්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

 කුසල් ජනිත්ගෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම - ක්‍රික් ඉන්ෆෝ
 විශිෂ්ට ඉනිමක් - බ්‍රයන් ලාරා
≈ කිසිම ආසියානු කණ්ඩායමකට බැරි වූ දෙයක්  - හර්ෂ බෝග්ලේ
 කුසල් ජනිත්ට - දිමුත්ට අපේ ආචාරයරවිචන්ද්‍රන් අශ්වින්වි
 දේශයකදී විශිෂ්ටම ඉනිම - කුමාර් සංගක්කාර

පෙබරවාරි මාසය මුල් සති දෙක තුනේදී ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් යොමුවූයේ ශ්‍රී ලංකාවත් දකුණු අපි‍්‍රකාවත් අතර පැවැති ටෙස්ට් තරගාවලියටය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වූයේ කණ්ඩායම තුළත් ඉන් පිටතත්, ක්‍රිකට් පිටියේත් ඉන් පිටතත් පැවැති අර්බුද රැසක් මැදය. එහෙත් ඒ සියලු අභියෝග හමුවේ ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිහාසගත ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පැසසුමට ලක්ව තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයග‍්‍රහණය කරන ලද්දේ ආසියානු කණ්ඩායමක් එවැනි දස්කමක් කළ පළමු කණ්ඩායමට බවට පත්වෙමිනි. පළමු තරගයේ වීරයා බවට පත්වූයේ කුසල් ජනිත් පෙරේරාය. ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය ඔහුගේ ඉනිම ටෙස්ට් වංශ කතාවේ හොඳම ඉනිම යනුවෙන් නම් කර තිබිණි.

කුසල් පෙරේරාට ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය ඔස්සේ බොහෝ උණුසුම් ප‍්‍රතිචාර හිමිව තිබිණි. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක‍්‍රීඩකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනද ඒ අතර විය. කුසල් ජනිත් පෙරේරාට සුබපැතුම් එක්කළ අය අතර ලොව බිහිවූ හොඳම වමත් පිතිකරුවා ලෙස බොහෝ දෙනා හඳුන්වන බ‍්‍රයන් ලාරා ද විය.

“විශිෂ්ට ඉනිමක් තරුණ කුසල් ජනිත් පෙරේරා... විශිෂ්ට ක‍්‍රීඩකයකු වීමට අවශ්‍ය දක්ෂතාව, ධෛර්ය හා අධිෂ්ඨානය පෙන්වා තිබෙනවා” යැයි බ‍්‍රයන් ලාරා සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර තිබිණි.

පීඩනය යටතේ ක‍්‍රීඩා කරන ලද හොඳම ඉනිමක් යැයිද කුසල් ජනිත් පෙරේරා බුද්ධියත් මානසික ශක්තියත් පෙන්නුම් කළ බවත් ඔහු ගැන ආඩම්බර වන බවත් කුසල් ජනිත් පෙරේරාගේ ඉනිම ගැන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන සඳහන් කර තිබිණි.

“කුසල්ගේ ඉනිම ශ්‍රී ලංකා පිතිකරැවකු විදේශයකදී ලකුණු හඹායමින් ක‍්‍රීඩාකරන ලද විශිෂ්ටතම ඉනිමයි. මේ ඉනිම දකුණු අප්‍රිකාවට එරෙහිව පී සරා පිටියේදී මහේල ජයවර්ධන ලබාගත් විශිෂ්ට ශතකයේ මතක නැවත අලුත් කරනවා” යැයි කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කීවේය.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික තරගාවලි ජයග‍්‍රහණය සම්බන්ධයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙන ආසියාවේ හිතමිතුරන් ද සතුටට පත්ව සිටියහ. ඉන්දියාවේ මාධ්‍යවේදියකු, ක්‍රිකට් විස්තර විචාරකයකු වන හර්ෂා බෝග්ලේ සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබිණි.

“නියමයි, ශ‍්‍රී ලංකාවට සුබ පැතුම්. කිසිදු ආසියානු කණ්ඩායමක් නොකළ දෙයක් ශ්‍රී ලංකාව කළා. මීටත් වඩා හොඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නොකළ දෙයක් මොවුන් කළා. මෙය ලොකු ජයග‍්‍රහණයක්. ගොඩක් ලොකු ජයග‍්‍රහණයක්.” 

ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කළ අය ඉන්දීය ක්‍රිකට් ක‍්‍රීඩකයෝ ද වූහ.

“ටෙස්ට් ක්‍රිකට් මැරෙමින් ඉන්න බව කවුරු හරි කිව්වද? ශ්‍රී ලංකාව, නියමයි. මේ ඉතිහාසගත ජයග‍්‍රහණයට කුසල් පෙරේරාට සහ දිමුත් කරුණාරත්නට ආචාර කරමු. රසල් ආර්නල්ඩ්ටත් සුබ පැතුම්” යැයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අස්වින් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේය.

ට්විටර් සමාජ මාධ්‍යය තුළ හා ක්‍රිකට් රසිකයන් අතර වඩාත් ජනප්‍රියතම ශ්‍රී ලාංකිකයා බවට පත්ව ඇත්තේ රසල් ආර්නල්ඩ්ය. ඔහුගේ විස්තර විචාරවලට බොහෝදෙනා ඇලුම් කරති. ශ්‍රී ලාංකිකයන් අතර මෙන්ම ලෝ පුරා කි‍්‍රකට් රසිකයන් අතරත් ඔහුගේ ට්විටර් පණිඩුව බොහෝය.

“අපි දින්නා, අපි දින්නා.....” පළමු ටෙස්ට් තරගය අවසානයේදී ට්විටර් පණිවුඩයක් තබමින් රසල් ආර්නල්ඩ් සඳහන් කළේය.

ක්‍රිකට් විචාරයකු වන ඉයන් බිෂොප් මෙසේ ට්විටර් සටහනක් තබා තිබිණි.

“ආයුබෝවන් ශ්‍රී ලංකා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් ගොඩදෙනෙක් නැතුව, දකුණු අපි‍්‍රකාවට එරෙහිව තරගාවලි ජයක් ලැබූ පළමු ආසියානු කණ්ඩායම වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සමත් වුණා. දිනන්න බැරි අමාරු තැනක් දකුණු අප්‍රිකාව. කරන්න බැහැ කියලා දෙයක් නැහැ. මගේ මිත‍්‍රයා රසල් ශ්‍රී ලංකාවේ අනිත් හැමෝම වගේ වීදිවල සතුට සමරමින් නටනවා ඇති” යනුවෙනි.

පාකිස්තානයේ බිහිවූ සුපිරි පිතිකරුවකු වන මොහොමඩ් යූසුෆ් ද ට්විටර් පණිවුඩයක් තබා තිබිණි.

“ශ්‍රී ලංකාවට සුබ පැතුම්. කුසල් පෙරේරා හොඳට සෙල්ලම් කළා. මෙය තමයි ටෙස්ට් ක‍්‍රීඩාවේ අලංකාරය.”

 ►හර්ෂණ තුෂාර ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00