2019 මාර්තු 09 වන සෙනසුරාදා

පොත් කියවන්නේ නැති අයත් පොත් ලියනවා

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 193

- චූලාභය ශාන්ත කුමාර හේරත්

චූලාභය ශාන්ත කුමාර හේරත් ගුවන් විදුලි සන්නිවේදකයෙකි. කඳුරට සේවයේ සේවය කළ ඔහු පසුව චීන ගුවන් විදුලි සේවයට එක්විය. දැන් ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා උපදේශකවරයකු වන අතර සාහිත්‍යකරණයේ ද නිරතවේ. ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිරරචකයෙකු ද වන ඔහුගේ අලුත්ම නවකතාව මාය. එය මරදාන ෆාස්ට් පබ්ලිෂිං ප්‍රකාශනයකි.

ඔබේ මා නවකතාව මතුපිටින් දිවයන්නේ ප්‍රේම කතාවක් සහ එය බිඳවැටුණු ආකාරයක්. නමුත් එහි යටින් අපට පේන්නේ මෙරට ගිලගත් ජනවාර්ගික ගැටලුව තේමාවී ඇති බවයි?

ඔව්... මෙය 80 දශකයේ මුල් භාගයේ සිට වර්තමානය දක්වා දිවයන කතාවක්. අපට ඉතාමත් ප්‍රබල විදිහට මේ කාලයේ වාර්ගික ගැටලුව දැනෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන තරුණයා සිංහල. තරැණිය දෙමළ. මේ චරිත අතර පෙම් සබඳතාවයක් ගොඩනැඟුණු විට එයට විවිධ ප්‍රතිවිරෝධතා මතු වෙනවා. මට අවශ්‍ය වුණේ මේ චරිත ඇසුරින් යුද්ධයට ඍජුව දායක නොවුණු මිනිසුන් කෙතරම් යුද්ධයෙන් පීඩාවට පත්වෙනවාද යන්න පැවසීමටයි. ඔවුන්ගේ අනාගතයට එය කොතරම් බලපෑවාද යන්න විග්‍රහ කිරීමට මම උත්සාහ කළා.

අපි හැමෝටම වාර්ගික අරගලයේ විපාක විඳගැනීමට දැකගැනීමට ලැබුණත් අපේ සාහිත්‍යකරැවන්ට එය එතරම් විෂය වී නැහැ වගේ?

මම හිතන්නේ තවමත් මේ අත්දැකීම්වල අපට අමු ගතියක් තිබෙනවා. එම කුරිරු අත්දැකීම් දෙස සාහිත්‍ය ඇසකින් බලන්න තරම් අප පරිණතවෙලා නැහැ. අදත් හැමතැනම අලෙවිවෙන්නේ යුද්ධයනේ. අපේ රටේ නිර්මාණය වූ සුළු යුද සාහිත්‍ය කෘති තුළත් නිර්මාණකරැවා කිසියම් පාර්ශවයක් සියුම්ව නියෝජනය කරමින් තමයි එය ලිවීමට උත්සාහ කරන්නේ. එතකොට ඒක සාර්ථක නිර්මාණයක් නොවේ. මේ කෘතිවලින් තමන්ගේ පාර්ශවයට ලකුණු දමාගැනීමට ගන්න උත්සාහයක් පේනවා. ඒක හිතලා කරන දෙයක් නොවේ. ඒකට හේතුව අපි හැමෝම කිසියම් පාර්ශවයකට චියර් කරමින් හිටපු පිරිසක් වීම.

නමුත් අපට පේනවා යුද්ධය පසුබිම් කරගනිමින් ලියූ ඉංග්‍රීසි නවකතා කිහිපයක් උසස් නිර්මාණ ලෙස ඇගැයෙන බව?

ඒක ඇත්ත... සාහිත්‍යකරැවා මැදහත් මිනිසෙක් විය යුතුය. පළපුරැදු ඉංග්‍රීසි සාහිත්‍යකරුවන් අතින් එලෙස මැදහත් නිර්මාණ බිහිවීම නිසා ඒවා ඇගැයීමට ලක්වෙනවා. කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සැමීගේ කතාව, එලිෆන්ට් පාස් එවැනි නවකතා දෙකක්. සිංහල නිර්මාණකරැවන්ට අත්දැකීම් හිඟකමත් ඒකට හේතුවක් වෙන්න ඇති.

ඔබේ සඛී භාර්යා, සූරියකුසුම වගේ නවකතා කියවන විට අපට පේන්නේ ඔබ කතාරසය වර්ධනයට උනන්දුවක් දක්වන කතන්දරකරුවෙක් බවයි?

ආසියාතිකයෝ හැටියට අපි කතා අහපු ජාතියක්. මම නවකතාවක්, කෙටිකතාවක් පමණක් නොවෙයි ගීතයක් ඇහුවත් ඒක ඇතුළේ තිබෙන කතාවට මම ඇල්මක් දක්වනනවා. ජාතක පොත, මහා භාරතය වගේ පුරාණ කෘති හැම එකකම තිබෙන්නේ කතන්දර. ඒ නිසයි පියදාස සිරිසේන, ඩබ්ලිව් ඒ. සිල්වා වැනි මුල්කාලීන ලේඛකයන් පවා කතාවට මුල් තැන දුන්නේ. කතන්දර වෙනුවට සාහිත්‍යයට මුල් ස්ථානයක් දෙන නිර්මාණ අපට එන්නේ බටහිරින්. ඒ වගේම මම ගුවන් විදුලියත් එක්ක බැඳුණු මනුස්සයෙක්. ගුවන් විදුලියේදී අප උත්සාහ කරන්නේ ශ්‍රාවකයන් අවසානය දක්වා බැඳතබා ගැනීමටයි. ඒ අත්දැකීම ද නවකතාවල කතාරසය ඉස්මතුවීමට හේතුවන්න ඇති.

අද ලෝක සාහිත්‍ය නිර්මාණවල ආකෘතියට මුල් තැන දෙන බවයි පේන්නේ?

ඒක හරි... අපේ හුඟදෙනෙක් ඒවා අනුකරණයට යන බව පේනවා. ආකෘතියෙන් හුඟදෙනෙක් මැජික් පෙන්වනවා. ආකෘතිය සමඟ හරඹ කරනවා. නමුත් ආකෘතිය සකස් කරගත යුත්තේ අපේ ආඛ්‍යානයට ගැලපෙන ලෙසයි. මගේ මා නවකතාවෙන් වර්තමානයේ සිට අතීතාවර්ජන ඔස්සේ කතාව ගලායන පරිදි ආකෘතියක් තමා යොදාගෙන තිබෙන්නේ. නමුත් හැමවිටම කතාව ඉස්මතුවීමට මම ඉඩහැර තිබෙනවා. හුඟදෙනෙක් ආකෘතිය ඉස්මතු කිරීමට යාම නිසා ඒ නිර්මාණවලින් කතාවක් කියැවී නැති බවයි පේන්නේ.

ඔබේ නවකතාවල දෘෂ්‍ය රූප මැවීම අධිකයි. මෙලෙස නවකතා ලියන්නේ අනාගතේ චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය බවට පත්කිරීමට ද?

මගේ සූරිය කුසුම නවකතාව මුලින්ම ලියැවෙන්නේ ටෙලිනාට්‍ය තිරපිටපතක් ලෙසයි. නමුත් ඒ ටෙලි නාට්‍යය කෙරෙන්නේ නෑ. ඒ ඇසුරින් නවකතාව ලියූ පසු නැවත ටෙලිනාට්‍යයක් කරනවා ජයලත් මනෝරත්න විසින්. සඛී භාර්යා නවකතාවට පාදක වන තේමාව බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ සැඳෑසක්මන ටෙලිනාට්‍යයට තිර රචනයක් ලෙස මම මුලින්ම ලිව්වා. ඊටපසු එය නවකතාවක් ලෙස වර්ධනය කළා. මා නවකතාවට එවැනි සම්බන්ධයක් නැහැ. නමුත් මම සිතනවා පාඨකයා තුළ චිත්තරෑප මැවීම සාහිත්‍යකරැවාගේ එක් වගකීමක් කියලා.

සමහර සම්මාන ලැබුණු නවකතා පවා කියවීම දුෂ්කරයි. සමහර විචාරකයන් පවසන්නේත් උසස් සාහිත්‍ය කෘති ලේසියෙන් කියවීමට නොහැකි බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවීම අසීරැයි තමයි. අපේ රටේ බිහිවන බොහෝ නවකතාත් කියවන්න අමාරැයි. මම මිලදී ගත් සමහර සම්මානනීය නවකතාත් කියවීම දුෂ්කර වුණා. මම සිතන හැටියට නම් පාඨකයාට කියවීමට රැචි ආකෘතියක පොත් ලියැවෙන්න ඕනෑ. කියවන්න බැරි පොත් ලියැවෙනවා නම් ඒක අසාර්ථකයිනේ. අද පාඨකයා අතීතයේ වගේ නිදහසේ විවේකයෙන් කියවන කොටසක් නොවෙයි. වැඩකරන ගමන්, දුම්රියේ, බස්රියේ යන ගමන් තමයි කියවන්නේ. අද ලෝකේ හුඟාක් රටවල වී ඇත්තේ එයයි. ඒ නිසා පාඨකයා දැඩි සේ වෙහෙසට පත්කරන ආකාරයට නොලියවිය යුතු බවයි මගේ අදහස. 

සම්මාන උළෙල රාශියක් අද පැවැත්වෙනවා. ඒවා සාහිත්‍යයේ වර්ධනයට රැකුලක් වෙලා තිබෙනවා ද?

කර්මාන්තයක් හැටියට පොත් ප්‍රකාශනය කියන්නේ ව්‍යාපාරයක්. එම ව්‍යාපාරයට සම්මානවලින් ප්‍රචාරයක් ලැබෙනවා. ඒ හැරෙන්නට ලේඛකයන්ටත් උත්තේජන ලැබෙනවා ඇති. සාහිත්‍ය සම්මානවලට කෘති තෝරාගැනීම ගැන යම් යම් ගැටලු පවතින බව පාඨකයන්ගේ කතාබහෙන් පේනවා.

ඒ කියන්නේ සම්මානවලට තේරීමේදී ගුරුකුල බලපාන බව ඔබට සිතෙනවාද?

එවැනි වටපිටාවක් තිබෙන බව පෙනෙනවා.

ඔබ සාහිත්‍ය නිර්මාණකරණයට පෙළඹවූ නිර්මාණකරුවන් කවුද?

මම පාසල් යන කාලේ ඉඳන්ම පුවත්පත්වලට ලිව්වා. රේඩියෝ නාට්‍ය ලියා ගුවන්විදුලියට ආවා. මම බහතෝරන වියේ ඉඳන් කියවපු හැම ලේඛකයෙක්ම බලපාලා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් කපිල කුමාර කාලිංග, සුගතපාල ද සිල්වා, සුනේත්‍රා රාජකරුණායක, සයිමන් නවගත්තේගම වගේ අය ලියූ කෘති අපටත් ලිවීමට පෙළඹීමක් ඇති කළා.

අද නවකතා පොත් බහුලව පළවෙනවා. නමුත් ඒ පොත් බහුතරයක සාහිත්‍යය නෑ නේද?

ඔව්... ඒක දකින්න පුළුවන්. අපි සාහිත්‍යය ඉගෙන ගත්තේ පොත්පත් කියවීමෙන්. අද ලියන සමහරු පොත්පත් පරිශීලනය කරන්නේ නැති බව පේනවා. සාහිත්‍ය පොතපත ඇසුරැ නොකර කොහොමද තව සාහිත්‍ය කෘති බිහි කරන්නේ.

අපේ සාහිත්‍යයේ අනාගතය යහපත් බව ඔබට පේනවාද?

අලුත් පිරිසක් හැදෙන බවක් පෙන්වා. විවිධ ප්‍රවණතා ඔස්සේ උනන්දුවෙන් ලියන පිරිසක් අද බිහිවී සිටිනවා. නමුත් වඩාත් විශිෂ්ට විශ්ව සාහිත්‍යයේ කෘති සහ අපේ සම්භාව්‍ය සාහිත්‍ය නවක ලේඛකයන් පරිශීලනය කර තම අත්දැකීම් පුළුල් කරගැනීම අවශ්‍යයි.

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00