තමාට පහසුවෙන් යා හැකි ආගමික වතාවත් ඉටු කරණු ලබන අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් තෝරාගෙන එම ස්ථානය අතුගා පිරිසිදු කොට සුවඳ ධූපයක් අල්ලා සුදුසු පරිදි සකසා ගන්න.
මෙම බෝධි පූජාව සතියේ සඳුදා හා සිකුරාදා දිනවල උදෑසන හෝ සවස 6.00 ත් 8.00 ත් අතර කළ හැක. සවස නම් කිරිබත් වෙනුවට පලතුරු යුෂ පමණක් පිදිය හැකිය. කෙසේ වෙතත් වඩාත් සුදුසු වන්නේ උදෑසන කිරීමය. ඒ සඳහා පිරිසිදුව සාදාගත් කිරිබත් පිඟානක් කිරි කළයක් (යෝගට් කෝප්පයක ප්‍රමාණයේ මැටියෙන් තැනූ කලයක්) සුදු මල් වට්ටියක්, සුදු කොඩියක්, හොඳ ඉදුණු අඹ ගෙඩියක්, ගිතෙල් පහනක්, සුවඳ පැන් කළයක්, වී පොරි ස්වල්පයක්, සුදුහඳුන් ස්වල්පයක්ද බන්දේසියක තබා ගිතෙල් පහනක්ද දල්වා බෝධියෙහි තැම්පත් කරන්න. බෝධි පූජා ගාථා කියමින් පූජාව තබන්න.
වී පොරි ස්වල්පයකට ගිතෙල් දමා අනා ඒවායින් බෝධිය වටා දුම් අල්ලන්න. බෝධිය නෑවීමේදී සුවඳ මිශ්‍ර පැන්වලින් බෝධිය නාවන්න. ඒ සෑම විටකම ඉහත කී අරමුණ සිතට ගන්න. පසුව බෝධි පූජාව තබමින් ඒ සියල්ල බුදුරජාණන් වහන්සේට පූජා කරන්න.
මෙම ශාන්ති කර්ම තුළින් ඔබ උපදවන්නේ අති ප්‍රබල කුසල කර්මයකි. බලගතු පිනකි. ඒ පින් බලයෙන් දරුඵල නැති කළ අකුසල බලය දුරුවේවායි පතමින් අරමුණු කරමින් මෙම බෝධි පූජාව අවසන් කරන්න. එසේ අවසන් කර ඔබ උපදවා ගත් ඒ කුසලයේ අග්‍ර වූ භාගය සත්පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න. එසේ අනුමෝදන් කර තමන්ට නිරෝගී දරු සම්පතක් ලබා ගන්නට අවහිර වන සියලු බලවේග බාධා සිඳ බිඳ දරුඵල ඇති කර දෙන ලෙස ඉල්ලා සිටින්න. පහත සඳහන් ගාථාව කියා පින් අනුමෝදන් කරන්න.
යං අම්මේහි කතං පුඤ්ඤං
සබ්බ සම්පත්ති සාධකං
සත්පත්තිනි දේව මාතානං
ඉමං පුඤ්ඤානු මෝදනං
(මෙම බෝධි පූජාව පවත්වන කාලයේදීවත් සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලක් ගතයුතු අතර කිලිවලට හසු නොවී ධාර්මික දිවි පෙවතක් ගත කළ යුතුය.)
ජ්‍යොතිෂවේදී
බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ