2019 මාර්තු 16 වන සෙනසුරාදා

ඇයි අපි මිටි අයගේ සංගමයක් හැදුවේ.... දර්ශනී විස්තර කරයි

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 246

ඔවුහු ජීවිතේ සාමාන්‍ය ලෙසින් ගත කරන්නට ආශා වෙති. කිසිදාක ඔවුහු අන් අයගේ අනුකම්පාවක් බලාපොරොත්තු නොවෙති. අඩු උසකින් (කුරු) බිහිවුණු මේ මිනිසුන් සමාජයේ සාමාන්‍ය මිනිසුන් සේ ජීවත් වන්නට ආශා කළෝය. නමුත් සමාජය විසින් මොවුන් කොන් කෙරිණි. අනිකාට නැති දේ මොවුන්ට නොහැකිය යන්න ඇතැමුන්ගේ මතය විය. අවසානයේදී ඔවුහු සමාජයේ විසිරී සිටිනා අඩු උසකින් යුත් පිරිසක් එක් තැනකට එකතු වන්නට උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ පුංචි ජනතාවගේ සංගමය (Little people association of Sri Lanka) නමින් සංගමයක් ඇරඹීය.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උසින් අඩු මිනිසුන්ගේ හඬ සමාජය වෙත ගෙනයාමේ පුරෝගාමීත්වය සටහන් කරන්නේ එහි සභාපති වූ දර්ශනී නානායක්කාරය.

මේක අවුරුදු දහයකට පහළොවකට පෙර සිටම මම කරන්න හිතාගෙන හිටපු අරමුණක්. එහි මූලාරම්භය තමයි මේ පටන්ගත්තේ. මේක මට තනියම කළ හැකි දෙයක් නෙවේ. අවුරැදු ගාණක් තිස්සේ මම ගත්ත උත්සාහය අවසානයේදී මල්ඵල ගැන්වුණා. ඒ සඳහා මට සමාජ සේවා දෙපාර්තමේන්තුව උදවු කළා. මට ඕන වුණේ මේ සංගමය නීත්‍යානුකූලව පවත්වාගෙන යන්නයි.

යැයි දර්ශනී නානායක්කාර දේශයට පැවසීය.

මෙතෙක් ලංකාව පුරා විසිරී සිටින කුරු ජනතාවගේ සංගණනයක් ලංකාවේ නොමැත. දර්ශනීගේ පළමු වෑයම වූයේ ලංකාව පුරා පුරා විසිරී සිටින උසින් අඩු ජනතාවගේ තොරතුරැ දැනගැනීමය. ඇය මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව යම් දැනුවත්වීමක් කළාය. අවසානයේදී උසින් අඩු පුද්ගලයෝ පනස්පස් දෙනෙක් විස්තර පළකළහ. නමුත් කිහිපදෙනෙක් ඉදිරියට පැමිණීමට මැලිකමක් දැක්වූහ. සමාජය විසින්ම කොන්කර දැමූ ඔවුහු සමාජය ඉදිරියේ තම දෙපයින් නැගී සිටීමට මැලිකමක් දැක්වූහ.

උසින් අඩු පුද්ගලයන්ගෙන් සමහරක් හොඳින් ඉගෙනගෙන, රජයේ, පෞද්ගලික ආයතනවල රැකියාවල් කරන පිරිස ඉන්නවා. ඒ අය සමාජය ඉදිරියට එන්නට මැලිකමක් දැක්වූයේ නැහැ. නමුත් කිහිපදෙනෙක් සමාජයට තමන්ගේ තොරතුරු ඉදිරිපත් කරන්න මැලි වුණා. දර්ශනී නානායක්කාර පැවසීය.

උසින් අඩු පුද්ගලයන්ගෙන් සමහරු විවිධ ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙති. එහෙත් ඇතැම්හු ඉතා හොඳින් ඇවිදිමින් සාමාන්‍ය ජීවිත ගත කරති.

උසින් අඩු පුද්ගලයන්ගෙන් සමහරැන්ට ඇවිදීමේ අපහසුතා මතුවෙනවා. ඌරැබොක්ක ප්‍රදේශයෙන් අපට මුණගැසුණ ළමයකුට කතා කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ආඬිඅම්බලමෙන් අපිට මුණගැසුණු ළමයෙක් උපතින්ම එක කකුලක් අහිමි වෙලා තමයි ඉපදිලා තියෙන්නේ.

ඒ එක කකුළෙන් ඒ ළමයා ඇඳුම් මහනවා. අයියලා කවුරුත් මේ ළමයාට උදව් කරන්නේ නැහැ. අම්මා ගෙවල්වල වැඩ කරලා තමයි මේ ළමයව ජීවත් කරවන්නේ. මහන ඇඳුම්වලටත් නියම මුදලක් ලැබෙන්නේ නෑ. ඔය වගේ ප්‍රශ්න ගණනාවක් ඒ උසින් අඩු පුද්ගලයන් එක්ක කතා කරද්දි අපිට දැනුණා. දර්ශනී වැඩිදුරටත් පැවසීය.

සැබැවින්ම උසින් අඩු පුද්ගලයන්ට මේ සමාජයෙන් නිසි තැන ලැබී නැත. සංගමයේ මූලික අරමුණ වන්නේ උසින් අඩු ජනතාවගේ මානසිකත්වය ගොඩනැගීමය. ඔවුන්ගේ සිත් තුළ ඇති වැරදි ආකල්පයන් නැති කිරීම ඔවුන්ගේ අරමුණ වේ. සාමාන්‍ය මිනිසුන් සේ මේ සමාජයේ වැඩ කිරීමට ඔවුන්ද කැමතිය. ඒ සඳහා අනෙකා දිරිමත් කළ යුතුය. උසින් අඩු පුද්ගලයන්ගේ 90%ක් පමණ තවමත් සිටින්නේ කොන් වෙලාය. නමුත් මේ සමාජයේ ආකල්ප නැති කළ යුතුව තිබේ.

මට පුතුන් දෙන්නෙක් ඉන්නවා. ඒ එක පුතෙක් මම වගේ. එයත් උසින් අඩු දරුවෙක්. මම කොහොමහරි මගේ තත්ත්වයට ආවා. මට ඕනේ මගේ පුතාගේ පරම්පරාවේ දරුවන්ට මේ ආකල්පය නැති කරලා සමාජයේ ඉහළට යන්න අනිත් මිනිසුන් වගේ ජීවත් වෙන්න  සුදුසු පරිසරයක් ගොඩනගන්නයි. ඒක ලේසි පහසු ක‍ටයුත්තක් නෙමේ.

ඒ ඇයගේ අධිෂ්ඨානයයි.

උසින් අඩු පුද්ගලයන් යනු ආබාධිත රෝග තත්ත්වයක් නෙවේ. සාමාන්‍ය පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය මෙන් ක්‍රියාකාරීත්වයක් ඔවුන් තුළද පවතී. ඔවුන්ට හොඳින් ඉගෙනගැනීමේ කටයුතු ද කළ හැක. රැකියා ද කළ හැක. නමුත් බොහෝ ආයතන එවැනි පුද්ගලයන්ට රැකියාවල් දීමට මැලිකමක් දක්වයි. බොහෝ දෙනා පෙනුමට මුල් තැනක් දීමට පෙළඹෙති. දක්ෂතාවයට වඩා රෑපයට වහල් වෙති. නමුත් විදෙස් බොහෝ රටවල්වල ජීවත් වන උසින් අඩු බොහෝ දෙනා හරි හරියට සාමාන්‍ය පුද්ගලයන් සමඟ එකතු වී රාජකාරිවල නියැලෙති. අමෙරිකාවේ උසින් අඩු පොලිස් නිලධාරීන් සේවය කළද ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියකු සතු පිළිගත් උසක් තිබිය යුතුමය.

උසින් අඩු පුද්ගලයන්ට සාමාන්‍ය බස්රථවල ගමන් කරද්දී විවිධ බාධාවලට මුහුණ දීමට සිදුවෙයි. හොඳින් උගත්කම තිබුණද රැකියාවක් කරද්දී පොදු රථවාහනවල ගමන් කරද්දී දිනපතා ඔවුහු විවිධ බාධාවලට ජීවිතේ මුහුණ දෙති.

ඇතැම් උසින් අඩු පුද්ගලයන්ට බස් රථයකට, දුම්රියකට යාමේදී අනිවාර්යයෙන්ම තවත් කෙනකුගේ පිහිටක් තිබිය යුතුමය. පාපුවරැව උසට තිබීම හේතුවෙන් නැගීමට, බැසීමට කොහෙත්ම බැරිය. නමුත් විදෙස් රටවල බස්රථවල, දුම්රියවල පාපුවරැව ඇත්තේ වඩාත් පහතිනි. ඒවාට නැගීමට, බැසීමට පහසුය. මේ රටේ බස් රථයේ සීනුව ඉතා ඉහළය. එය කිසිසේත්ම උසින් අඩු පුද්ගලයන්ට නාද කළ නොහැක. මෙවැනි බොහෝ අපහසුතාවයන්ට උසින් අඩු පුද්ගලයෝ මුහුණ දෙති. මගීහු මෙවැනි පුද්ගලයන්ට උදව් කිරීමටද මැලිකමක් දක්වති.

පොදු ප්‍රවාහන සේවාවන්වලදී පමණක් නොව බොහෝ කාර්යාලවලට ගිය විටදී මෙවැනි පුද්ගලයෝ විවිධ අපසුතාවයන්ට මුහුණ දෙති. රාජ්‍ය ආයතනවලදී, බැංකුවලදී මෙවැනි පුද්ගලයන්ට තම අවශ්‍යතාවයන් නිසි පරිදි කරගැනීමේ ක්‍රමවේදයක් නැත. බොහෝ පුද්ගලයන්ගේ උසුළු විසුළුවලට නිරන්තරයෙන් එවැනි පුද්ගලයෝ ලක්වෙති.

අපි වගේ මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙන බොහෝ මිනිස්සු කොන් කරනවා. අපේ සංගමයේ ඉන්න උසින් අඩු කාන්තාවකගේ සහෝදරියකගේ විවාහ මංගල්‍ය කැඩී ඇත්තේ මේ උසින් අඩුකම නිසයි. ඇයගේ සහෝදරියගේ විවාහය තීන්දු කරගන්න ගෙදරට පැමිණ මොහොතේදී මනාලයාගේ නෑදෑ පාර්ශ්වය උසින් අඩු නැගණිය දැක විවාහය නතර කර දමන්නට තීන්දු කරලා. දර්ශනී පැවසුවාය.

මෙලෙස සමාජයෙන් ඔවුන්ව කොන් කිරීම සැබැවින්ම මානසික පීඩනයක් ගෙන දෙන්නකි. දරිද්‍රතාවයෙන් ජීවත් වන බොහෝ උසින් අඩු පුද්ගලයන්ට තම ජීවිතය ගැට ගසා ගැනීමට මේ සමාජය ඉඩ දෙන්නේද නැත. නමුත් දියුණු රටවල එවැනි පිරිසට සිය අයිතිවාසිකම් රැකගැනීමට ඉඩ ලබා දී ඇත.

පාසලට මෙවැනි දරැවකු ඇතුළත් කිරීමේදී මව්පියෝ විශාල ගැටලුවලට මුහුණ දෙති. විශේෂයෙන් බොහෝ රජයේ පාසල් මෙවැනි දරුවන් තම පාසලට ඇතුළත් කර ගැනීමට මැලිකමක් දක්වති. නමුත් ජාත්‍යන්තර පාසල්වල මෙය ගැටලුවක් නොවේ. ඔවුන් මෙවැනි දරැවන් පාසලට ඇතුළත් කර සාමාන්‍ය දරුවන් එදිනෙදා කරන බාහිර ක්‍රියාකාරකම් කිරීමට ඉඩ හසර ලබාදේ.

මම ගිය පාසලට මාව ඇතුළත් කරගන්න බැහැ කියලා මුලින්ම විදුහල්පතිනිය අපේ මව්පියන්ට කියලා තිබුණා. මගේ පියා මාස හයක් බලන්න. දරුවා යම් දක්ෂතාවයක් පෙන්නුම් කරයි නම් පමණක් දරුවාව දිගටම පාසලේ රඳවා ගන්න යැයි විදුහල්පතිනියගෙන් ඉල්ලා තිබුණා. මාස හයක් ඇතුළත මම කොහොමහරි මගේ දක්ෂතා පෙන්නුම් කළා. එතනින් මම දිගටම ඒ පාසලේ ඉගෙනගත්තා. දර්ශනී පැවසීය.

නමුත් දර්ශනීට බොහෝ දෑ අහිමි විය. දර්ශනීගේ පාසල් දිවිය අධ්‍යාපනයට පමණක් සීමා විය. ඇයට බාහිර ක්‍රියාකාරකම් කිසිවකට සම්බන්ධ වීමට නොහැකි විය. අනෙකුත් ශිෂ්‍යාවන් පාසල් ක්‍රීඩා කටයුතුවල නියැලෙද්දී ඇයට සුසුම් හෙලමින් බලා සිටින්නට සිදුවිය. කිසිමදාක ඇය ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලියකටවත් සහභාගී වී නැත. ක්‍රීඩා උළෙලේදී සෑම දරුවකුම ක්‍රීඩා පිට්ටනියකට එක්රොක් වෙද්දී ඇයට තම නිවාස කුටියේ අසුනකට වී සිටීමට සිදුවිය. ඇය පාසලේ බෞද්ධ සංගමයේ ලේකම් ධූරය වසර ගණනාවක් දැරැවාය. නමුත් ඇයට භක්ති ගී ප්‍රසංගයට සහභාගී කරවීමට බෞද්ධ සංගමය භාර ගුරැතුමිය අකමැති විය. භක්ති ගී කණ්ඩායම් ගී ගයද්දී වේදිකාවේ නොපෙනෙන තැනකට වී තාලම්පට වාදනය කරලීමට දර්ශනීට සිදුවිය. හිතේ ඇති වේදනාව මෙතෙකැයි කිව නොහැකි තරමටම ඇය කොන් වූවාය. 

මම වින්ද දුක මට කවදාවත් අමතක කරන්න බැහැ. ඒ වේදනාව දන්න නිසාම තමයි මම මගේ පුතාව ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කළේ. පුතා ඒ ඉස්කෝලෙ කොන් වුණේ නැහැ. පුතාට හැම බාහිර ක්‍රියාකාරකමක්ම කරන්න ඉඩ ලබා දෙනවා. ඒ වගේම පාසලෙන් පුතාව පුදුම විදිහට දිරිමත් කරනවා. වගකීම් ලබාදෙනවා. ඒ නිසා මට හිතෙන්නේ මගේ ලොකු පුතත් අද සාමාන්‍ය දරැවෙක් කියලයි* දර්ශනී නානායක්කාර පැවසීය.

කිසිදාක මෙවැනි උසින් අඩු පුද්ගලයන් දෙස අනුකම්පාවකින් බැලිය යුතු නැත. දර්ශනී නානායක්කාර ඇතුළු ඔවුහු ඔබෙන් අනුකම්පාව නොපතති. නමුත් ඔවුන් තුළ බොහෝ දක්ෂයෝ ජීවත් වෙති. ඔවුන් තුළ සංවේදී මිනිස්සු ජීවත් වෙති. අවශ්‍ය වන්නේ ඔවුන් හා එකතු වීමය. හෙට දිනයේ සාමාන්‍ය මිනිසුන් සේ මේ සමාජයේ ජීවත් වන්නට ඔවුන්ට ඉඩහසර ලබාදීමට. සංගමයේ දුරකථන අංකය - 0766440440

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයා රූ - සුමුදු හේවාපතිරණ