2019 මාර්තු 16 වන සෙනසුරාදා

කබල් වට්ටෝරුවක්! අලුත් කතාවක! තාල

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 245

වියළි කලාපීය පරිසරයක පිහිටි දුෂ්කර පාසලකි. මෙය කනිටු විදුහලක් බව පෙනෙන්නේ එහි සිටින දරුවන්ගේ වයස් මට්ටම අනුවය. මේ දරුවන් කැමති ඉගෙනීමට නොව මැර වැඩ කරමින් කල්ගත කිරීමටය. ගසකට නැගි දරුවෙක් හදිසියේ ගසෙන් බිමට වැටේ. පාසලේ ගුරුවරු හා විදුහල්පතිවරයා ද එක්ව ළමයා ඔසවා ගැනීමට කලබලයෙන් උත්සාහ කරද්දී එතැනට හදිසියේ ප්‍රාදුර්භූත වන්නේ කඩවසම් තරුණයෙකි. ඔහු පාසලට පත්ව ආ අලුත්ම ගුරුවරයාය. ඔහුගේ පළමු පත්වීමය. අලුත් ගුරුවරයා වන අසේල (හේමාල් වර්ණකුල) තම ප්‍රථමාධාර ශිල්ප ක්‍රම යොදමින් දරැවා ඔසවා පරීක්ෂා කරයි. ඔහුට හානියක් වී නැති බව තීරණය කරයි.

ඊට පසු කතාව දිවයන්නේ අසේල සර් තම ආධිපත්‍ය පාසලේ පතුරවමින් නවීන ඉගැන්වීම් ක්‍රම හා බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ ළමුන් ඉදිරියට යොමුකරන සිද්ධි දාමයකිනි.

කලින් කලට විවිධ සිනමා ප්‍රවණතාවන් මේ කොදෙව්වේ ඇරඹේ. ඇගේ වෛරය සමඟ බාල වැඩිහිටි චිත්‍රපට රැල්ලක් ඇතිවී අහෝසි වී ගියේය. අබා සමඟ රජ කතා රැල්ලක් මතු විය. ගෝගානා පොකු සමඟ ගමේ පාසල නගරයේ පාසල් පරදවා ජයගැනීමේ කතා පුවත් මතුවන්නට විය. යම් චිත්‍රපටයක් සාර්ථක වූ පසු නිෂ්පාදකවරු එය අනුකරණය කිරීම එවැනි රැලි මතුවීමට හේතුවකි. බොහෝ අධ්‍යයනය කර ලියූ තිරපිටපතක් මත අධ්‍යක්ෂණය කළ හෝ ගානා පොකුණ ඉතා සාර්ථක විශිෂ්ට චිත්‍රපටයකි. එයට හේතුව හෝගානා පොකුණේ තිබෙන්නේ ලොකු විස්කම් බලාපොරොත්තු නොවීමය. ළමුන්ගේ අහිංසක බලාපොරොත්තුවක් වන මුහුද නැරඹීමට යාම එහි තේමාවයි. නමුත් පහ සමත්, ගෝල්, හීන හොයන සමනල්ලු, ආදී චිත්‍රපට මෙන්ම තාල  චිත්‍රපටයෙන්ද උසස් සිනමාවක් කරායාමට සිංහල සිනමාවට දායකත්වයක් ලැබෙන බවත් නොපෙනේ. කෙසේ වුවත් ගෝල් මෙන්ම තාල චිත්‍රටය ද නැරඹීමට සිනමා රසිකයන් ඇදී එන බව පෙනීම නම් සතුටකි. 

පාලිත පෙරේරා දක්ෂ කැමරා ශිල්පියෙකි. ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය තාලය. තිර රචනය ද ඔහු ලියා ඇත්තේ නදී කම්මැල්ලවීර සමඟය. සුලබ වට්ටෝරු කතා තේමාවක් එයට පාදක කරගෙන තිබේ. ඒ කිසිවිටෙක සිදුවිය නොහැකි ආශ්චර්ය මතුවෙමින් හටන්ගල විද්‍යාලයේ දුප්පත් සිසු පිරිස පළමු උත්සාහයෙන්ම නගරයේ සුපිරි පාසල් පරදවා තූර්යවාදක සංගීත තරගයෙන් ජයගැනීමය. ගිය වර්ෂයේ තිරගත වූ රොහාන් පෙරේරාගේ ගෝල් චිත්‍රපටයේ ද තිබුණේද මෙම තේමාවය. ගමේ කිසි පහසුකමක් නැති පාසලක් ගුරැවරයාගේ මඟපෙන්වීම මත සමස්ත ලංකා පාපන්දු ශූරතාවය දිනා ගනී. තාල චිත්‍රපටය දරුවන්ට නරඹා ප්‍රීතිවිය හැකි බව සැබෑවකි. එහෙත් චිත්‍රපටය නරඹා සිනමාශාලාවෙන් පිටතට පැමිණි පසු හිතේ රුඳෙන්න තරම් ගැඹුරක් එහි නැත.

අකුරට කුසීත ළමයි සිටින හටන්ගල විද්‍යාලය අවට අලි කරදරය ද බහුලය. විදුහල්පතිවරයා (ජයලත් මනෝරත්න) යහපත් වුවද පාසල් දියුණු කරන බවත් නොපෙනේ. අමරාවතී ගුරුතුමිය (කෞශල්‍යා ප්‍රනාන්දු) ළමුන්ට ආදරේ වුවද වැඩිපුර අදහන්නේ ජ්‍යොතිෂයයි, රාහු කාලය බලා පාසල් යන නිසා ඇයට බස් රථය ද වැරදේ, ඔසුකුල නම් ගුරුවරයා කිරිහට්ටි වෙළෙඳාම් කරමින්, දේශපාලනඥයන්ට පන්දම් අල්ලමින් කල්ගත කරයි. ඔහුට අවශ්‍ය පාසල ඉවත් කර එතැන ඇති ගල කඩා එහි ඇතැයි පැවසෙන නිධානය ගැනීමටය. ඒ සඳහා දේශපාලන අනුග්‍රහය ද ඔහුට ලැබේ. අනෙක් තරුණ ගුරුවරයා වැඩිපුර සිටින්නේ ස්මාට්ෆෝනය සමඟ හුරතල් වෙමිනි. මේ විකාරරෑපී සමාජයට පැමිණෙන අසේල එය කනපිට හැරවීමේ ව්‍යාපෘතිය ආරම්භ කරයි. ඔහු ගණිතය ඉගැන්වීමට පැමිණිය ද අපට පෙනෙන්නේ ඉගැන්වීම නොව ළමුන් සමඟ ව්‍යායාම් කරමින්, බෙර ගසමින්, නටමින් ගත කරන බවයි. අසේල තම අධ්‍යාපන ක්‍රමවේදය වන ගණිත හා සංකල්පය ඇසුරින් දරැවන්ට උගන්වන බව පෙන්වීමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වී ඇත. නමුත් ළමුන් අධ්‍යාපනයෙන් වර්ධනයක් ලබන බව අපට නොපෙනේ.

අසේල සර් ගල්තලාවල සංගීත භාණ්ඩ ප්‍රගුණ කරවමින්, සින්දු කියමින් කල්ගත කරයි. ගණිත ගුරුවරයා ලෙස ඔහු අප දකින්නේ පාසලේ ගුරු මේසය මත වාඩිවී උගන්වන ආකාරයකි. ඔහු නිතරම අදින්නේ ගුරුවරයකුට නුසුදුසු ට්‍රැක් බොටම් සහ ටී ෂර්ට්ය. ළමුන් ටිකෙන් ටික සංගීතයට දක්ෂ බවක් දනවන බව පෙනුණද ඉගෙනීමට දක්ෂ බවක් නොපෙනේ. මේ අතර නිදන් ගැනීම හා පාසල ඉවත් කර ගල් පර්වතය කැඩීමේ ව්‍යාපෘතිය හදිසියේම අහෝසි වී යයි. වැව හරහා පිහිනා පාසලට එන ළමයෙකු දියේ ගිලී බේරැණ ද අසේල සර්ට එරෙහිව දේශපාලනඥයන් සමඟ එක්වී ඔසුකුල සර් කටයුතු කරයි. අසේලගේ මාරැවීමේ ලිපිය පැමිණේ. ඔහු හදිසියේම කාටත් නොදන්වා පාසලෙන් අතුරැදන් වෙයි. ඒ වෙනුවට පැමිණෙන සුරූපී ගුරුවරිය වන එරන්දතී (කලණි දොඩන්තැන්න) ළමුන් හා මිතුරු වීමට දුරකතනයෙන් අසේලගේ උපදෙස් පතයි. 

ඒ අනුව ඇය අසේලගේ මිතුරියක බව ප්‍රේක්ෂකයාට පෙනේ. අසේල තර්ජන නිසා පාසලින් ඉවත් වී, ඔහුගේ හොඳම මිතුරියක (මන්ත්‍රීගේ ඥාතියකු ද වන) පාසලට පැමිණීම ගැටලුසහගතය. පසුව මේ ගුරුවරිය දරුවන් සමඟ මිතුරැ වී සංගීත තරගයේ ඉතිරි පුහුණුවීම් කරගෙන යයි. සමස්ත ලංකා ජයග්‍රහණය ලබයි. ඔවුන් තරගය දිහා ආපසු එන ගමන් අසේල සර්ගේ නගරයේ නිවසට ගොස් ඔහු “සර්ප්‍රයිස්* කරයි. මෙය සිදුවීමට අපහසු අහම්බයකි. ළමා චිත්‍රපටයක එවැනි අහම්බවලට ඉඩ තිබුණ ද ප්‍රේක්ෂකයා තුළ විශ්වාසනීයත්වය රැකෙන පරිදි එය ඉදිරිපත් කළ යුතුවේ.

මෙහි රංගනය දෙස බැලුවහොත් කිසිදු රංගන ශිල්පියකුට විශේෂ දක්ෂතාවක් පෙන්වීමට අවස්ථාවක් නොලැබේ. ජයලත් මනෝරත්න සුදුරැදු භූමිකාවට පිවිසුණ ද එම චරිතයේ තවදුරටත් ජීවත් වීමට තරම් තිර රචනයෙන් අවස්ථාවක් ලැබී නැත. කෞශල්‍යා ප්‍රනාන්දු සහ ඔසුකුල ලෙස ප්‍රියන්ත සිරිකුමාර තම භූමිකාවන්ට සුපුරුදු දක්ෂතාවය එක්කරති. ධනුෂ්ක ඩයස් රොෂාන් සර් ලෙස ඉදිරිපත් කරන රංගනයද සාධනීය මට්ටමක පවතී.

පාලිත පෙරේරාට දරුවන් හසුරුවා ගැනීමට ඇති දක්ෂතාවය නම් අගය කළ යුතුය. චින්තක ජයකොඩි ළමුන් දිරිමත් කරන ආකාරයේ සංගීත අධ්‍යක්ෂණයක් සපයා තිබේ. කැමරා අධ්‍යක්ෂණය කරන චින්තක සෝමකීර්ති අපූරු දර්ශන තල ඔස්සේ කැමරාව මෙහෙයවා ඇත. එහෙත් ඩ්‍රෝන කැමරා දර්ශන අනවශ්‍ය පරිදි චිත්‍රපටයට ඇතුළත් කර තිබෙන බව පෙනේ.

පාලිත පෙරේරාගේ පළමු අධ්‍යක්ෂණය අගය කළ යුතු වුවත් චිත්‍රපටයේ අපූර්වත්වයක් නම් නැත. එයට හේතුව අපට මෙය නරඹන විට මතක් වෙන්නේ හෝ ගානා පොකුණේ ගුරැවරියගේ භූමිකාව වෙනුවට ගුරුවරයෙක් රඟපාන චිත්‍රපටක් වශයෙනි. ගමේ දුෂ්කර පාසල් දරුවන්ගේ සිත් තුළට කිඳාබසිමින් ඔවුන්ට ඇති එක් ගැටලුවක් පාදක කර ගනිමින් (අලි ප්‍රශ්නය වැනි) තිර නාටකය ඉදිරිපත් කළා නම් “තාල* මෙයටත් වඩා රිද්මයක් මතුකරන බව අපගේ අදහසයි.

 කුසුම්සිරි