සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි අවධානයක් යොමුකර ඇති බව ලෝක ආර්ථිකය විමර්ශනය කිරීමේදී නිසැකවම පෙනී යන කරුණකි. එමෙන්ම සංචාරය කළ හැකි ලෝකයේ හොඳම රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද මේ වනවිට එක්වී සිටී. රටේ ආදායමෙන් සැලකිය යුතු මුදලක් මෙරටට පැමිණෙන සංචාරකයන් හරහා ලැබෙන බවද නොරහසකි.
තවදුරටත් මෙරටට සංචාරක ආකර්ශනය ලබාගැනීම සඳහා තෝරාගත් රටවල් කිහිපයකට නිදහස් වීසි නිකුත් කිරීමට වූ කැබිනට් යෝජනාවට මේ වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
මෙම වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට පුරා මාස 06ක කාලයක් මෙම නිදහස් වීසා ලබාදෙන අතර එලෙස වීසා ලැබෙන රටවල් වන්නේ තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තයයි.
මින් පෙර යම් සංචාරකයකු මෙරටට පැමිණීමේදී ඩොලර් 20 සිට 40ක් දක්වා වූ වීසා ගාස්තුව මෙලෙස නිදහස් වීසා නිකුත් කිරීම මගින් රටට අහිමිව යනු ඇත. ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම ක්‍රමය යටතේ මෙරටට සංචාරකයන් පැමිණීමේදී ලැබෙන විශාල මුදලක් අහිමි වී රටේ ආර්ථිකයට දැනෙන ආකාරයේ පාඩුවක් සිදුවන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රටක ආරක්ෂාව සඳහා ආගමන විගමන පටිපාටිය ශක්තිමත්ව තිබීම අවශ්‍යය. ලෝකයේ බොහෝ රටවල් තම රටවල ආරක්ෂාව ගැන සිතා ආගමන විගමන නීති රෙගුලාසි දැඩිකර ඇත්තේ එබැවිනි. එවැනි වටපිටාවක් තුළ එම රටට කිසිදු විනය විරෝධී පුද්ගලයකුට ඇතුළු විය නොහැකිය. ඒ ක්‍රමය සාර්ථකය. කෙසේ වෙතත් මෙරට සංචාරකයන් සඳහා නිදහස් වීසා නිකුත් කිරීම මගින් යළිත් මෙරටේ ආරක්ෂාව ගැන පවා දෙවරක් සිතිය යුතු බව මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
එමෙන්ම උදාහරණයක් ලෙසට මෙම කාලසීමාව තුළ අදාළ රටවලින් සංචාරකයන් දස ලක්ෂයක් පමණ අප රටට පැමිණියහොත් (සංචාරක වීසා ගාස්තුව ඩොලර් 30ක් පමණ වූ විට) අප රටට අහිමිවන ආදායම ඩොලර් කෝටි 03ක් පමණ වනු ඇත. එමෙන්ම මෙලෙස සංචාරක වීසා මත පැමිණෙන සියලු දෙනා නිශ්චිත කාලසීමාව ඉක්මවා ගිය පසුද මෙරට රැඳී සිටියහොත් ඒ සඳහා ගනු ලබන නීතිමය පියවරක් පිළිබඳව මේ දක්වා අවධානය යොමුවී නොමැත.
මෙලෙස නිදහස් වීසා ලබාදීම මගින් ඇතැම් රටවල විදේශිකයන් මෙරටට පැමිණ විවිධ රැකියාවල නිරතවීමේ ප්‍රවණතාවයක් උදාවීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිවන අතර එමගින් හඳුනා නොගත් රෝග මෙරට තුළ ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක්ද පවතින බව සෞඛ්‍ය නිලධාරීහු ප්‍රකාශ කරති.
මෙරට තුළ යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපද ආදී රටවල සංචාරකයන් හට නිදහස් විසා ලබාදුන් නමුත් එම රටවල්වලට කිසිදු අයුරකින් හෝ සංචාරයකට යාම ඉතාම අපහසුය. පසුගිය 2018 වර්ෂය වනවිට ලොව පුරා රාජ්‍යයන්හි වලංගු ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ ජාත්‍යන්තරයේ පිළිගත් දර්ශකය වන පාස්පෝට් ඉන්ඩෙක්ස් දර්ශකයට (www.passportindex.org) අනුව ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයට හිමිව තිබුණේ 83 වැනි ස්ථානයයි.
කෙසේ වෙතත් මෙලෙසින් සංචාරකයන් හට නිදහස් වීසා ලබාදීමේදී රටට මුහුණපෑමට සිදුවන බොහෝ ගැටලුවලට මෙන්ම රටේ ආරක්ෂාවටද බරපතළ ගැටලුවක් පැන නැගිය හැකි බව රාජ්‍ය නිලධාරීහු බොහෝ දෙනෙක්ද පෙන්වා දෙති. එහෙත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ රටවල් කිහිපයකට නිදහස් වීසා ලබාදීමෙන් රටට කිසිදු බලපෑමක් නොවන බවත් එය වලංගු වන්නේ මාස 06ක පමණ කාලයක් සඳහා පමණක් බවත්ය.
*කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණු යෝජනාවකට අනුමැතිය හිමිවුණාට පස්සෙ තමයි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපි තීරණය කළේ. මේක මාස 06ක පමණ කාලයක් ක්‍රියාත්මක වන වැඩසටහනක්. මේ කාලසීමාව තුළ මෙරට උත්සව රැසක් පැවැත්වෙන නිසා තමයි මේ වීසා පහසුකම් ලබාදීමට අපි තීරණය කළේ. මේ මගින් යම් අයකු කියනවා නම් රටට මුදලක් අහිමිවෙනවා කියලා ඒක එහෙම වෙන්නෙ නැහැ. මොකද, මේ සංචාරකයන් මෙරටට පැමිණියාම මේ රටේ කර්මාන්ත දියුණු වෙනවා. සංචාරක කලාපයන්ට, එම ක්ෂේත්‍රයේ රැකියා කරන සියලු දෙනාට මේ මගින් වාසියක් අත්කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි මෙම සංචාරකයන් පැමිණ යම් නීති විරෝධී වැඩ කටයුතුවල යෙදෙනවාද කියලා බලන්න අපි පොලීසිය සමඟ වැඩපිළිවෙළක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. රටට ආර්ථිකයට පාඩුවක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙම වැඩසටහන මගින් ඒ ඒ රටවල් සමඟ ඉතා හොඳ සහයෝගීතාවයක් ගොඩනැගෙනවා." ඔහු සඳහන් කරයි.
I හසිත් අංජන