2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

මොකක්ද මේ එන්න හදන බලු බද්ද

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 377

“ඕකට තව බලු බද්ද, බලල් බද්ද, ජනෙල් බද්ද, වලං බද්ද, හුස්ම බද්ද වගේ ටිකකුත් එකතු කරගන්න තිබ්බ නම් පංකාදුයි අප්පා...” යනුවෙන් උපහාසාත්මක මිනිස්සු කීවේ යහපාලන ආණ්ඩුව 15෴ක වැට් බද්ද පැනවීමෙන් පසුය. මිනිසුන් විහිලුවට නොඉවතලා ආණ්ඩුව බලු බද්දක් සහ බළල් බද්දක් පනවන්න සැලසුම් කරන්නේ ජනතා ඉල්ලීම් ඉෂ්ඨ කිරීමට ආණ්ඩුව තිබෙන වුවමනාව පෙන්වීමටද විය හැකියි.

1848 වසරේ එවක සුදු රජය මෙරට ව්‍යාපාරවලින් ලබන පාඩුව පියවාගැනීමට සාපරාධී ලෙස පැනවූ මරාල බද්ද, සෙරෙප්පු බද්ද, පොල් බද්ද, ස්තෝප්පු බද්ද වැනි බදු පැනවූහ. ඒ කාලයේ කාන්තාවන් සුද්දන්ගේ නෙත නොගැටී සිටින්නට පරිස්සම් වූයේ සුද්දන් තන බද්දක් ද පනවා ඇති බවට පැතිර ගිය ප්‍රචාරයත් සමඟනි.

“ගමේ ගෙදරට සෙනෙහේ පපා සිටි
බලු කුක්කාට මොන බදුද අනේ
තනේ තියෙන කිරි ටිකටත් බද්දක්
ගෙවන්න වේවිද නුදුරු දිනේ”

සුද්දන් පැනවූ බදු අතර බලු බද්ද සුදු රජයට එරෙහි විරෝධතාවය වැඩි කළේය. එය මහා කැරැල්ලක් දක්වා වර්ධනය විය. එදා ලන්දේශීන් මෙසේ සාපරාධි ලෙස බදු පනවන්නේ සුදු ආණ්ඩුව බෝග වගාවෙන් පාඩු පිට පාඩු ලැබීම නිසාය. බදු බර වැඩිවීමට එරෙහිව උඩරට කැරැල්ල ආරම්භ කරමින් ස්වදේශිකයන් සුද්දන් පන්නා දැමීමට උත්සහ කළ අතර ලන්දේසි රජයට කැරුළිකරුවන්ට එරෙහිව දැඩි මර්දනයක් මුදාහරින්නට සිදු විය. කැරැල්ල අවසන් වූයේ ගොංගාලේ ගොඩබණ්ඩා, වීර පුරන් අප්පු වැනි උඩරට නායකයන්ට මරණය අත්කර දෙමිනි. ලන්දේසි රජය මුහුණ දුන් ඒ මූල්‍ය අර්බුදය යහපාලන රජය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදයට සමානය. බලාපොරොත්තු වූ ආදායමක් ලැබීමට රජය අපොහොසත්වීම තුළ බදු පැනවීම රජය ප්‍රධානම ආදායම් මාර්ගයක් බවට පත්ව තිබේ. එබැවින් ලන්දේසි ආණ්ඩුව බලු බද්ද පැනවුවාක් මෙන් යහපාලන ආණ්ඩුවත් බලු බද්දක් පැනවීමේ උත්සහයක් ගන්නවා දැයි සිතීමට ප්‍රමාණවත් වඩා පිටාවක් නිර්මාණය වෙමින් පවති.‍

පසුගියදා පළාත් පාලන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් අයාලේ යන සුනඛයන් මර්දනය කරන බව පැවසීය. නමුත් මර්දනය කරන්නේ කෙසේ ද යන්න පැහැදිලිව නොකීවත් එම කාර්යය පිළිබඳව සොයා බැලීමට උපදේශක මණ්ඩලයක් අමාත්‍යවරයා පත් කළේය. එම උපදේශක මණ්ඩලය නිර්දේශ කරන ක්‍රමයට අයාලේ යන සුනඛයන් හා බලලුන් මර්දනය කරන බවත් පොදු ස්ථානවල බල්ලන් බළලුන් දමන්නන්ට එරෙහිව 25000ක දඩ මුදලක් නියම කිරන බවත් අමාත්‍යවරයා පැවසීය. සුනඛයන් ලියාපදිංචි කළ යුතු බවද පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ ලියාපදිංචි නොකරන සුනඛයන් විනාශ කිරීමේ බලය නිත්‍යනුකූලව රජයට ඇතැයි යන්නත් මතක් කළේය. නමුත් එම මාධ්‍ය හමුවේදී කිසිසේත්ම බල්ලන් මැරීම වැනි තීරණයන් නොගන්නවා යැයි කීමටත් අමාත්‍යවරයා පරිස්සම් වූයේ පොදු ජනතාවගෙන් හා රාජ්‍ය නොවන සංවිධානවලින් රජයට එල්ල විය හැකි අනතුරු අවමකරගැනීමටය.

අමාත්‍යවරයා පෙන්වා දෙන බලු ප්‍රශ්නය සැබෑවකි. බල්ලන් නිසා සිදුවන රිය අනතුරු, බල්ලන් නිසා සිදුවන රෝග විශාල සමාජ ගැටලුවක් බවට පත්ව තිබේ. නමුත් රජය මේ බලු ප්‍රශ්නයට විසඳුම දඩයකට හෝ බද්දකට ලගු කිරීම පිළිගත නොහැකිය.

සුනඛයන් සමාජ ගැටලුවක් බවට පත්වීමට සාමාන්‍ය ජනතාවගේ වැරදි ආකල්ප හේතු වී ඇතැයි කිව හැකිය. බෞද්ධයන්, කිතුනුවන්, හින්දුන් සහ මුසල්මානුවන් සිතන්නේ මෙලෙසය. පන්සලට පල්ලියට කෝවිලට දානය ලැබෙන්නේ නොමිලයේය. නොමිලයේ පිස දුන් බත් පතේ නාමයෙන් සියළු කුණු ගොඩක්ම පන්සලේ විහාරාධිපති හිමියන් හෝ අනෙකුත් ආගමික නායකයන් දායකයන්ගෙන් බාරගත යුතුව ඇත. ඒවා රැගෙන එන්නේ ද රාත්‍රීයෙදී හොරෙන්මය. කාටවත් නොපෙනෙන්නට ය. පෝර බෑගයක දමා පන්සලේ පල්ලියේ කෝවිලේ ගේට්ටුව ඉදිරියේ හලා යන්නේ කුණු ගොඩක් දමා යන්නාක් මෙනි. සෑම ලබ්ධිකයෙක්ම තම දර්ශනයට ආගමට සළකන්නේ එ‍ලෙසින් ය. පසුව එම බල්ලන් නගරය පුරා, පාර පුරා යයි. කුණු ගොඩවල් අවුස්සයි. පාර හරහා පනියි. පදිකයන් සපා කයි. සමහරු වාහනයකට යටවී මැරෙති.

සුනඛයා සහ මිනිසා අතර දීර්ඝ සම්බන්ධයක් ඉතිහාසය පුරා තිබී ඇත. දඩයම් සහයකයා ලෙසත් පසුව කෘෂකර්මාන්තයේ ආරක්ෂකයා ලෙසත් මිනිසාට සේවය කළ සුනඛයා පසුකාලීනව මිනිසාගේ සුරතලා බවට පත්වෙයි. ඒ වනතුරු සිටියේ හීලෑ සුනඛයා සහ වල් සුනඛයා යනුවෙන් වර්ග දෙකක් පමණි. නමුත් මිනිසා සුරතල් සත්වයෙක් ලෙස සුනඛයා ඇති කිරීමට පටන්ගත් පසු අයාලේ යන සුනඛයා යනුවෙන් කොට්ඨාසයක් බිහිවූයේ ඉහත ආකාරයේ මිනිස් ආකල්ප හා ක්‍රියාකාරකම් නිසාය. සුරතල් සුනඛයා සහ වල් සුනඛයා මිනිස් ජීවිතයට එතරම් හානිකර නොවේ. එහෙත් අයාලේ යන සුනඛයා පොදු ස්ථානවල සැරිසරන බැවින් විවිධ ගැටලු නිර්මාණය වෙයි. ආපනශාල, රෝහල්, පාසල්, පන්සල් වැනි පොදු ස්ථානවල රැඳී සිටිති. මොවුන්ගේ සපා කෑමට පාසල් ළමුන්, රෝගීන්, පදිකයන් නතුවන්නේ අවාසනාවන්ත ලෙසයි. 

අයාලේ යන සුනඛයන්ගෙන් සිදුවන ලොකුම තර්ජනය ජලභීතිකාව බැවින් බල්ලන් මැරීම ලොව පුරා රටවල් ගණනාවකම සිදු වෙයි. ඒ අතර ලංකාව ද එක් රටක් විය. නමුත් බලු සංහාරය තිත තැබීමට පසුගිය කාලයේ සිදු වූයේ ඊට එරෙහිව නැගුණු විරෝධතාව නිසාය. නමුත් තවමත් නගර සභාවන්ට අයත් බලු වෑන් තිබේ. බල්ලන් මරා දමන රජයේ පඩියක් ලබන අලුගෝසු තනතුරුද තවමත් තිබේ. මෙරට නීතිය අනුව දඩාවතේ යන බල්ලන්ගේ හිමිකම පෑමට පැය 24ක් තුළ කිසිවකු නොපැමිණියහොත් එම බල්ලා විෂ වායුවක් යොදා මරා දමනු ලැබේ. එසේත් නැති නම් දඩාවතේ යන බල්ලාට කෑම දෙන මුවාවෙන් ළඟට ගෙන්වාගෙන සයනයිට් ඇමිණූ දිගු රිටකින් ඇණීමෙන් මරයි. ඇතැම් රටවල බල්ලන් මරන්නේ පහර දීමෙනි. මේ ආකාරයෙන් වාර්ෂිකව ලොව පුරා මිනසා විසින් මරා දමනු ලබන බල්ලන් සංඛ්‍යාව මිලියන 10කි.

මිනිසුන්ට ජලභීතිකාව වැළඳෙන්නේ 99෴ක්ම අයාලේ යන බල්ලන්ගෙන් බව සැබෑය. නමුත් ඒ සඳහා තිරසාර විසඳුම බල්ලන් මැරීම නොවේ. සුනඛයන්ට නිසි පරිදි ජලභීතිකා එන්නත් දීම වැදගත් පියවරකි. නමුත් එය අසාර්ථක ක්‍රමයක් යැයි සමහරුන්ගේ අදහස වී ඇත. එබැවින් වඳ සැත්කම් මගින් බලු ගහණය පාලනය කිරීම වැදගත් කාරණයකි. මීට අමතරව මිනිසුන් විසින් බල්ලන් පාරේ සහ පොදු ස්ථානවල දැමීම නැවැත්විය යුතුය. එසේ කරන්නන්ට දඩ ගැසීම සාධාරණය. නමුත් දඩ ගැසීමම විසඳුම් ලෙස රජය සලකන්නේ නම් එය පිළිගත නොහැකි පැලැස්තර විසඳුමක් යැයි කිව යුතුය.

♦ සකීෆ් සාම් තන්වීරි