2019 මාර්තු 23 වන සෙනසුරාදා

කුඩු කූඩු කරන ත්‍රිවිධ හමුදා අකුණු පහර

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 101

තොග පිටින් මත්කුඩු රට තුළට එන්නේ ඒ සඳහා විශාල ඉල්ලුමක් ඇති නිසා බව පැහැදිලිය. මේ වෙනුවෙන් නොයෙක් ආකාරයේ නීතියට වැලි ගැසීම් ආරක්ෂාවට වෙට්ටු දැමීම් ක්‍රියාත්මක වනවා ඇත. මත්කුඩු නිසා ලංකාවේ ජන ජීවිතයට සිදුව ඇත්තේ බරපතළ ව්‍යසනයකි. පොලීසිය හා විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන් මත්කුඩුවලට එරෙහි වැටලීම් සිදු කරයි. ඊට සහාය වෙමින් මත්කුඩු රටින් තුරන් කිරීමේ ජාතික මෙහෙයුමට ත්‍රිවිධ හමුදාව එක්ව සිටියි.

මෙම මෙහෙයුම සඳහා මත්කුඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය සමඟ යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග සුරාබදු දෙපාර්තමේන්තුව ද එක්ව සිටී.

සාගරය හරහා රටට එන මත්ද්‍රව්‍ය වැළැක්වීමට නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන අතර ගුවන් හමුදාව නීති විරෝධී මෙම ජාවාරම් හා වගාවන් පිළිබඳ තොරතුරැ අනාවරණය කරගැනීමේ මෙහෙයුමක නිරතව සිටියි. එමෙන්ම යුද හමුදාව මැදිහත් වී ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු ඇතිකර ඒ සඳහා ස්වෙච්ඡා සාමාජිකයන් බඳවා ගනිමින් ශ්‍රී ලංකා පොලීසියට හා විශේෂ කාර්ය බලකායට සහාය වීමට සූදානම්ය.

මත්කුඩු භාවිතය රටින් තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, නාවික හමුදාපති හා ගුවන් හමුදාපති මෙසේ අදහස් පළකළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න

මෙම වැටලීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය විශාල මෙහෙයුමක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් මම ස්තූතිය පුද කරනවා. වර්තමානයේ පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ජනාධිපතිවරයා යටතේ සහ එකම ලේකම්වරයකු යටතේ පැවතීම නිසා මේ වැඩපිළිවෙල සාර්ථකව සිදු කිරීමට හැකි වෙලා තිබෙනවා. ලංකාව දූපත් රාජ්‍යයක් නිසා මුහුදෙන් රටට එන දේ විශාලයි. ඒත් පවතින නීතිය අනුව ලංකාවේ වෙරළේ සිට මුහුදු සැතපුම් 12ක් යනතෙක් පමණයි නාවික හමුදාවට අත්අඩංගුවට ගැනීම කළහැකි වන්නේ. ඊට එහා ප්‍රදේශයේදී හඳුනාගත්තොත් විනාශ කිරීම ඇරෙන්න අත්අඩංගුවට ගැනීම කරන්න බෑ. මෙය ඕනම රටකට පවතින නීතියක්. තොරතුරැවල විදිහට ඇෆ්ගනිස්ථානය තුළ නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය ඉරානය, පකිස්ථානය හරහා විශාල යාත්‍රා මගින් එනවා. ඒවායෙන් වැඩි ප්‍රමාණයක් අප්‍රිකානු මහද්වීපයට යනවා.

මත්කුඩු ජාවාරමෙන් උපයන මුදල් අවි ආයුධ මිලට ගන්න යොදවන එක ප්‍රසිද්ධයි. ඇෆ්ගනිස්ථානයේ සිට ලංකාවට එන හොර මුහුදු මාර්ගය අපි සදර්න් රෑට් කියලා හඳුනාගෙන තියෙනවා. ඔවුන් මාලදිවයිනටත් එහායින් මුහුදේ ඇවිත් ලංකාවේ දකුණු මුහුදට එනවා. මේ වැටලීම සඳහා විදේශික නාවික හමුදාවන් සමඟ කටයුතු කරනවා. ලංකාවේ ධීවර කටයුතු කරන ධීවර වරායන් 17ක් සහ බහුදින යාත්‍රා 3200ක් තිබෙනවා. මොවුන් හරහා මුහුද මැදදී මත්ද්‍රව්‍ය හුවමාරැ වෙනවා. උතුරැ මුහුදේ ඉන්දීය යාත්‍රා රාශියක් තිබෙනවා. ඔවුන් හරහාත් රටට මත්ද්‍රව්‍ය එන්න පුළුවන්.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් 
මහේෂ් සේනානායක

මත්ද්‍රව්‍ය භාවිතය ලංකාවට බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේ රටේ අඩු ආදායම් ලාභීන් තමන්ගේ ආදායමෙන් තුනෙන් එකක් මත්ද්‍රව්‍ය, මද්‍යසාර හා දුම්වැටි සඳහා වියදම් කරන බව වාර්තා වෙනවා. ඒ වගේම සමීක්ෂණවලින් තහවුරැ වෙලා තිබෙනවා සෞඛ්‍ය අංශයේ 22%ක මුදලක් වියදම් කරන්නේ මත් භාවිතය නිසා රෝගී වූ ජනතාවට කියලා. ලංකාව වගේ රටකට මේක දරුණු තත්ත්වයක්. ජනාධිපතිතුමාගේ මතින් නිදහස් රටක් කියන සංකල්පයට යුද හමුදාව දායක වෙනවා. 
ඒ සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සමඟ එකට කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය කමිටු සඳහා ස්වෙච්ඡා සාමාජිකයන් බඳවා ගැනීමට අතහිත දෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලැබෙන විටදී පොලීසිය හා සුරාබදු දෙපාර්තමේන්තු එක්ක එකතු වෙලා වැටලීම් කරනවා. නඩු පැවරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. මේ විදිහට ගංජා, හෙරොයින්, කසිප්පු, මත්ගුලි, මත්ද්‍රව්‍ය හා නීති විරෝධී සිගරට්, කෘතිම රා අත්අඩංගුවට ගැනීම් කරනවා. අතුරලියේ රතන හිමියන්ගේ උපදේශනය යටතේ තිබෙනවා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය. ඒ සඳහාත් යුද හමුදා භට පිරිස් අනුයුක්ත කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය භාවිත කළ පිරිස් පුනරැත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. කඳවුරැ දෙකක ඒ සඳහා සක්‍රීයව කටයුතු කෙරෙනවා. යුද හමුදා බුද්ධි අංශවලට ලැබෙන තොරතුරැ පොලීසියට හා විශේෂ කාර්ය බලකායට ලබා දී වැටලීම් මෙහෙයවීම විශේෂිතයි. අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරැ මධ්‍යස්ථානය හරහා හමුදා නිලධාරීන් දැනුම්වත් කිරීම සිදු කෙරෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් 
පියල් ද සිල්වා

රටට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීම නාවික හමුදාවේ ප්‍රමුඛ රාජකාරියක් විදිහට සැලකෙනවා. පසුගිය සමයේ අත්දැකීම් එක්ක පැහැදිලියි මත්ද්‍රව්‍ය තොග ලංකාවට මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙන බව. 2018 වසරේ නාවික හමුදාව මගින් වැටලීම් රාශියක් සිදු කළා. 2018 වර්ෂයේ අවස්ථා 41දී කේරළ ගංජා වැටලීම් සිදුකරලා කිලෝ 2113ක් අත්අඩංගුවට ගත්තා. 2019 වසරේ සති 9කදී කේරල ගංජා කිලෝ 684ක් අවස්ථා 21දී අත්අඩංගුවට ගත්තා. මේවයින් පැහැදිලි වෙනවා සාගරය යොදාගෙන ධීවරයාගේ මුවාවෙන් මත්ද්‍රව්‍ය ලංකාවට එනවා කියලා. සාධාරණ ලෙස ධීවර රුකියාවේ නිරත පිරිසටත් මේක ගැටලුවක් වෙලා තිබෙනවා.

මුහුදේ ඇතැම් යාත්‍රාවල ගමන් මාර්ග සැක සහිතනම් වෙනත් තොරතුරු ඇත්නම් අපි අනිවාර්යයෙන් සොයා බලනවා. ඒ විදිහට පසුගිය මාස පහක් තුළදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1000 ඉක්මවලා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව අපි සමඟ එකතු වෙලා සිටිනවා. ඒ තුළින් වැටලීම් සාර්ථක වෙලා තිබෙනවා. 

ගිය 2017 වසරේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පිරිස් 168 දෙනෙක් අත්අඩංගුවට ගත්තා නාවික හමුදාව මගින්. 2018 වසරේ 88 දෙනකු අත්අඩංගුවට ගත්තා. ලංකාවට මත්ද්‍රව්‍ය ඉල්ලුමක් තිබෙනවා. ඒකයි රටට මත්ද්‍රව්‍ය එන්නේ. ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ සම්බන්ධ තොරතුරැ ආරක්ෂක අංශවලට ලබාදෙන්න කියලා. පාසල, පන්සල, පල්ලිය, කෝවිල ආශ්‍රය කරගෙන අපි දැනුම්වත් කිරීම් කරනවා. එය ඉතා සාර්ථක වෙලා තිබෙනවා.

ඒකාබද්ධ සාගර මෙහෙයුම් ඒකකය බහරේන්වල ස්ථාපිත කර තිබෙනවා. ඊට රටවල් 33ක් ඇතුළත් වෙනවා. එමගින් ඉන්දීය හා අරාබි මුහුදේ සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැටලීම සිදු කරනවා.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් 
කපිල ජයම්පති

මත්ද්‍රව්‍ය සඳහා තරුණ පරපුර වැඩි වශයෙන් යොමු වෙලා තිබෙනවා. තත්ත්වය රට පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය සමඟ ගුවන් හමුදාවත් මත්ද්‍රව්‍ය වැටලීම්වලට දායක වෙනවා. ගුවන් හමුදාව ක්‍රම දෙකකට මත්ද්‍රව්‍ය නිවාරණයට දායක වෙනවා. ගුවන් ආව්තන මෙහෙයුම් එක ක්‍රමයක්. ගුවනින් ගිහින් භූමිය සෝදිසි කිරීම එමගින් සිදු කරනවා. ඊට අමතරව භූමි මෙහෙයුම් කරනවා. බුද්ධි අංශ තිබෙනවා. ඔවුන් සක්‍රීයව දායක වෙලා සිටිනවා. ගබඩා කිරීම, අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, මිලට ගැනීම කියන සෑම අයෙක් ගැනම ඔවුන් තොරතුරු සොයා විමසිල්ලෙන් ඉන්නවා. ගුවන් යානා මගින් භූමිය පිරික්සීමේදී විශාල ප්‍රමාණයක් පරික්ෂා කළ හැකියි. වනාන්තර තුළ ගංජා හේන් වැටලීම විනාශ කිරීම සිදු කිරීමත් ගොඩ බිමෙන් ළඟා වීමට අපහසු ස්ථාන වෙත ක්ෂණිකව පිවිසීමත් ඒ හරහා සිදු කරනවා. 

ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමත් කරනවා. එමගින් කෙටි දුර ආවේෂණය කිරීම කරනවා. සෑම සතියකම හා සෑම දිනකම ලංකාවේ භූමිය කොටස් කිහිපයකින් ගුවන් ආවේෂණය කිරීම කරනවා. එහිදී කංසා සහ ගංජා හේන් වැටලීම් කරනවා. මේ සඳහා විශේෂ ගුවන් යානා කිහිපයක් යොදාගන්නවා. මේ විදිහට මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා මෙහෙයුම් සිදුකරගෙන යනවා.

 සමන්ත ප්‍රදීප් විල්තෙර