2019 මාර්තු 23 වන සෙනසුරාදා

පොඩ්ඩෙකුගේ ලොකු වැඩක්

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

චමත්ක කවීන් මහනුවර පාසල් සිසුවෙකි. ඔහු දැන් සිටින්නේ අට වසරේය. චමත්කාර කෘතිය ලියනවිට ඔහු සිටියේ හත වසරේය. බොහෝ පාසල් සිසුන් බාහිර පතපොත කියවීමෙන්ද ලිවීමෙන්ද ඈත්ව යනවිට චමත්ක කවීන් උඩුගං බලා පිහිනුවේය. ඔහු සාහිත්‍යය ඇසුරු කළේය. සාහිත්‍යධරයන් ඇසුරු කළේය. ඒ නිසාම සම වයසේ දරැවන්ට ළඟටවත් පැමිණීමට අපහසු සේ ඔහුගේ ලේඛන හැකියාව ඔපමට්ටම් විය.

චමත්කාර ඔහුගේ හත්වැනි මුද්‍රිත කෘතියයි. එයට පෙර කාව්‍ය සංග්‍රහ, ළමා කතා සහ ළමා නාට්‍ය පිටපත්ද ඔහු පළකර තිබේ. චමත්කාර ඔහු ජාතික පුවත්පතකට ලියූ තීරැ ලිපි එකතුවකි. එම ලිපි එකතුව හඳුන්වා ඇත්තේ සිතුවිලි අතර නතර වූ සිතුවිලි ලෙසිනි. එහි පළමු ලිපිය හෝ ගානා පොකුණ ගැන අනුවේදනීය කතාවකි. රාගල වලපනේ පිහිටි පණ්ඩිතයාකුඹුර විදුහලේ සිසුන් බොහෝ දුෂ්කරතා මැද හෝ ගානා පොකුණ චිත්‍රපටය නැරඹීමට රුගෙන යන්නේ මධූ චීටර්ය. නමුත් ඔවුන්ට එය නැරඹීමට නොලැබේ. යම් නීතිමය කරැණක් නිසා දර්ශන වාරය නොපෙන්වන්න ඔවුන් තීරණය කරලා. හැම බලාපොරොත්තුවක්ම ඉක්මන් අවසානයක්. පුතාලා අපි ආපසු ඉස්කෝලෙට යමු.

ඇයි, ටීචර් අපි හෝ ගානා පොකුණ බලමු.
ඇයි ටීචර් අපි චිත්‍රපටිය බලන්නේ නැද්ද?

නෑ. අපි වෙන දවසක එමුකො මගෙ පුතේ... අද චිත්‍රපටය පෙන්නන්නෙ නැතිලු මේ මාමලා...

හෝ ගානා පොකුණ චිත්‍රපටයේ කතාව මෙන්ම චමත්ක තම තීරැ ලිපියට පාදක කර ගන්නා සැබෑ තේමාවද හැඟීම්බරය. ඔහු එය ඉදිරිපත් කරන්නේ කෙටිකතාවක් පරිදි නිර්මාණාත්මකවය.

කුරුලු ආදරය, උත්සවය, අලුත් ගෙදර වැනි ලිපිවලදීද සැඟවුණු කඳුළු කතාවක් අපූරුවට මතුකිරීමට චමත්ක සමත් වෙයි. ඔහු නිදහස වෙනුවෙන් ලියන්නේ සිතුවිලිවල නිදහස ගැනය. එය ඉතා අපූරැ තේමාවකි. ගොඩක් වෙලාවට අපේ නෙත් දකින සුන්දර දර්ශන අපිට හරියට විඳගන්න බැරිවෙන්නේ ඒ දිහා විඳින්න පුළුවන් ඇහැකින් බලන්නේ නැති නිසා. ගොඩක් වෙලාවට මගේ නෙත් දකින සමහර දේවල් මටත් විඳගන්න බැරිවෙනවා. පුංචි අපේ හිත් හරිම මටසිලිටුයි. ඒත් බාහිර ලෝකයේ වෙන සිදුවීම් එක්ක ඒ හිත් රළුපරළු වෙලා. ඒ හින්දම සොබාදහම විඳින්න අපිට අමතක වෙලා.

කවිය සුන්දරයි යනුවෙන් සඳහන් ලිපිය ලියා ඇත්තේ ඔහු කවිපොත් එළිදැක්වීමට ගිය අත්දැකීමක් විස්තර කිරීමටයි. එහි සඳහන් අදහස් වැඩිහිටියන්ටත් ඉතා ප්‍රයෝජනවත් බව නිසැකය. &මම, මගේ තාත්තාගේ අතේ එල්ලිලා පොත් සල්පිලකට. කලඑළි දක්වන උත්සවයකට ගියේ පුංචිම කාලෙ ඉඳන්. ඉස්සෙල්ලා කිව්වා වගේම ඒ හැම ගමනකදීම එක උරහිසක ගමන් මල්ල එල්ලෙද්දී අනික් උරහිසේ මම එල්ලිලා. තාත්තා මේ වෙනකම්ම හරියටම ඒ වගකීම ඉටුකරනවා. ඒත් ශාලාවේ හිටිය වැඩිහිටියන් කීප දෙනෙකුටවත් ඒ අයගේ දරැවන් එක්ක එන්න හිතුණා නම් මේ වගේ සුන්දර මොහොතක ඔවුනුත් නිදහසේ කවි අහසේ පියඹලා යාවි නේද?

මෙහි සෑම තීරු ලිපියකින්ම ගම්‍යමාන වන්නේ චමත්ක කවීන්ගේ බසෙහි අපූරැ බවයි. ඔහුට දීප්තිමත් අනාගතයක් ඇති බව මෙම කෘතියෙන් පෙනේ.

- පාඨක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00